• පිරිවැය මත පදනම් වූ Power Wheeling විදුලි ගාස්තු ක්‍රමයට JAAF ප්‍රසාදය  
  • ආයෝජන අධෛර්යවත් නොකරන, සරල, විනිවිදභාවයකින් යුත් පිරිවැය මත පදනම් වූ ගාස්තුවක් සකසන ලෙස ඉල්ලයි 
  • Power Wheeling ආයෝජන දිරිමත් කරන ආකාරයේ දැරිය හැකි පිරිවැයක් විය යුතුයි - PUCSL අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ 
  • මේ හරහා සමස්ත විදුලි බලයෙන් සියයට 20ක් දක්වා විවෘත වෙළෙඳපොළ ක්‍රමවේදයක් හරහා අලෙවි කිරීමේ හැකියාවක් 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් යෝජනා කර ඇති Power Wheeling විදුලි ගාස්තු අය කිරීමේ සැලසුම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලු‍ම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටින බව පවසයි.  

ඒ අනුව සරල හා විනිවිදභාවයකින් යුත් පිරිවැය මත පදනම් වූ මෙම ගාස්තුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත වඩාත් තරගකාරී බලශක්ති පිරිවැයක් ලබා ගැනීම උදෙසා තැබූ ඉතා ප්‍රායෝගික පියවරක් වන බවද එම සංගමයේ අදහස වී තිබේ. 

එසේම සමස්ත පුළුල් බලශක්ති ප්‍රතිපත්තියද මෙහිදී එක සේ වැදගත් වන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙයි.  
 “විවෘත ප්‍රවේශය සහ Power Wheeling නියාමනයන් කඩිනම් කිරීම සඳහා මේ වන විට පියවර ගනිමින් පවතින අතර, ඊට සමගාමීව බැටරි බලශක්ති ගබඩා කිරීමේ පද්ධති පිහිටුවීම දිරිගැන්වීමටද නියමිතව ඇත. මෙම පියවර සියල්ල එකතු වූ විට, නිෂ්පාදකයන්ට වඩාත් විශ්වාසදායක සහ වඩාත් තිරසාර බලශක්ති විකල්ප තෝරා ගැනීමට අවස්ථාව උදා වේ.“ 

ඒ අනුව මෙම Power Wheeling ගාස්තු ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසත්, ආයෝජන අධෛර්යවත් නොකරන සරල, විනිවිදභාවයකින් යුත් සහ පිරිවැය මත පදනම් වූ ගාස්තුවක් සකස් කරන ලෙසත් ශ්‍රී ලංකා ඇඟලු‍ම් නිෂ්පාදකයන්ගේ ඒකාබද්ධ සංගමය මෙහිදී ඉල්ලා සිටියි.  

එමෙන්ම, ඔවුන් පවසන්නේ මෙම ගාස්තු ක්‍රමය අවසන් කිරීමට පෙර අපනයනකරුවන් සහ අනෙකුත් බලශක්ති පාරිභෝගිකයන් ඇතුළු සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සමග සාකච්ඡා කරන ලෙසත්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ඇතුළු සියලු‍ම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙයට සමාන හා සාධාරණ අවස්ථාවක් ලබා දෙන ලෙසත්ය. 

Power Wheeling යනු එක් පාර්ශවයක් විසින් නිපදවන විදුලිය නියාමනය කරන ලද ගාස්තුවකට ජාතික විදුලි බල පද්ධතිය හරහා වෙනත් පාරිභෝගිකයකු වෙත රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති ක්‍රමවේදයකි.  

නිෂ්පාදකයන්ට ඔවුන් විදුලිය මිලදී ගන්නා ආකාරය සරල හා පහසු කරන අතරම, විදුලිය නිපදවන්නන් සමග සෘජුවම සැපයුම් කොන්දේසිවලට එකඟ වීමට මෙහිදී හැකි වේ. 

මේ අතර පසුගියදා පැවැත්වුණු 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී දමිත කුමාරසිංහ මහතා පැවසුවේ මෙම Power Wheeling ගාස්තු ක්‍රමවේදය පිරිවැය හා සාධාරණ ලාබයක් ආවරණය වන සාධාරණ අයකිරීමක් විය යුතු බවයි. 

එසේම එය සමාගම්වල ආයෝජන දිරිමත් කරන ආකාරයේ දැරිය හැකි පිරිවැයක් විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.  

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳ සාකච්ඡා තවමත් මූලික අදියරෙහි පවතින බවත්, නීතිමය ප්‍රතිපාදන ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම මත එය රඳා පවතින බවත්ය.  

කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ආයෝජන තීරණයකින් පසුව විදුලි උත්පාදන ධාරිතාව සැකසෙන තෙක් බලා සිටිනවා වෙනුවට, ආයෝජකයන්ට තමන්ගේ මුදල් යෙදවීමට පෙරම අවශ්‍ය විදුලි සැපයුම තහවුරු කර ගැනීමට අවස්ථාව තිබිය යුතු බවයි.  

අවසාන වශයෙන් මෙරට සමස්ත විදුලි බලයෙන් සියයට 15 සිට සියයට 20 දක්වා ප්‍රමාණයක් විවෘත වෙළෙඳපොළ ක්‍රමවේදයක් හරහා අලෙවි කළ හැකි වනු ඇතැයි පෙන්වා දුන් ඒ මහතා Power Wheeling මෙන්ම වෙළෙඳපොළ පදනම් කරගත් බලශක්ති අලෙවිකරණය යන අංශ දෙකම එකසේ දියුණු කළ යුතු බවද සඳහන් කරන ලදී. 

මේ අතර Power Wheeling සහ විදුලි බල වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ මගින් ආයෝජකයන්ට ස්ථාවරත්වයක් සහ අපනයනකරුවන්ට තරගකාරී බලශක්ති පිරිවැයක් ලබා දීම සහතික කිරීම සඳහා PUCSL, අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කිරීමට JAAF සූදානමින් සිටින බවත් පවසයි.