• වසරේ මේ දක්වා ආදායම රුපියල් බිලියන 2,291 

සැප්තැම්බර් 01 සිට 22 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව වෙත රුපියල් බිලියන 158 ක ආදායමක් හිමිව ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. රේගුව මෙම සැප්තැම්බර් මාසය සඳහා ඇස්තමේන්තු කර තිබූ ආදායම රුපියල් බිලියන 193 කි.  

කෙසේ වෙතත් පෙර මාස හා සැසඳීමේදී මේ මාසයේ රේගු ආදායම් ඉපැයිම් මන්දගාමී වී තිබෙන බවත් දත්ත පෙන්වා දෙයි.  

මේ අතර මෙම ආදායමත් සමගින් වසරේ මේ දක්වා කාලය තුළ රේගුව හිමි කර ගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,291 ක් ලෙස සටහන්ව තිබේ. එය 2026 වසර සඳහා රේගුවේ බදු ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,206 ක ආදායමට වඩා රුපියල් බිලියන 85ක ඉහළ අගයකි.  

ශ්‍රී ලංකා රේගුව එතෙක් මෙතෙක් වාර්තා කළ වැඩිම ආදායම් ඉපැයීම ලෙස 2025 වසරේදී රුපියල් බිලියන 2,557ක් රැස් කිරීමට සමත් විය. එම වාර්තාව සම කිරීම සඳහා තවත් ඇත්තේ රුපියල් බිලියන 266ක ආදායමක් පමණි. ඒ සඳහා තවත් මාස දෙකක කාලයක් ඉතිරිව තිබේ.  

මේ අතර 2026 වසරේ මුල් මාස 09 තුළ රේගු ආදායමේ සාමාන්‍ය රුපියල් බිලියන 235ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව බොහෝ විට මේ වසරේ රේගු දෙපාර්තමේන්තු ආදායම රුපියල් බිලියන 2,900 කට ආසන්න වනු ඇතැයි අදහස වී තිබේ.