- 2025 වාර්තා කළ ඩොලර් බිලියන 12.96ට සාපේක්ෂව සියයට 5.04 ක වර්ධනයක්.
- භාණ්ඩ අපනයන ආදායම ඩො.බි. 10.76 ක් දක්වා සියයට 5.35 කින් ඉහළට.
- ඇඟලුම් සියයට 5.68 කින් සහ තේ සියයට 6.86 කින් ආදායම් පහළට
- සේවා අපනයන ආදායම ඩො.බි. 2.85ක් දක්වා සියයට 3.88කින් ඉහළට.
- සැප්තැම්බරයේදී අපනයන ආදායම ඩොලර් බිලියන 1.69ක්
2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මුල් මාස නවය තුළ මෙරට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13.61ක් ලෙස සටහන් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 12.96 ට සාපේක්ෂව සියයට 5.04 ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ.
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන දත්ත අනුව සකස් කළ අපනයන කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඊයේ (26) මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී මෙම අපනයන ආදායම් වර්ධනය සඳහා මූලිකවම වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී තිබෙන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10.76 ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් බිලියන 10.22 ක ආදායම හා සැසඳීමේදී සියයට 5.35 ක වර්ධනයකි.
කෙසේ වෙතත් වසරේ මේ දක්වා ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 5.68 කින්ද, තේ අපනයන ආදායම සියයට 6.86 කින්ද පහත වැටී තිබේ. පොල් ආශ්රිත සහ රබර් ආශ්රිත නිෂ්පාදන පිළිවෙළින් සියයට 6.68 කින් සහ 8.44 කින් ඉහළ ගොස් ඇත.
මේ අතර සැකසූ ආහාරපාන වර්ග සියයට 20.90කින්ද, විදුලි සහ ඉලෙක්ට්රොනික උපාංග අපනයන අදායම සියයට 61.05 කින්ද වර්ධනය වී තිබේ. කුළු බඩු සහ සුගන්ධ තෙල් අපනයනය සියයට 30.53 කින් වර්ධනය වී තිබීම අපනයන ආදායම් වර්ධනයට මූලිකවම දායක වී තිබේ..
2025 වසරේ මුල් මාස නවය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.74ක් ලෙස වාර්තා වූ සේවා අපනයන ආදායමත්, 2026 මුල් මාස නවය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.85ක් දක්වා සියට සියයට 3.88කින් වර්ධනය වී තිබේ.
“වසරේ මේ දක්වා අපනයන ආදායමේ පෙන්නුම් කළ මෙම මෙම සාධනීය වර්ධනය පසුගිය සැප්තැම්බර් මාසයේදීත් ඉතාමත් හොඳින් පැවතුණා. ඒ අනුව එම මාසය තුළ එක්සත් ජනපද ඩොලර් ඩොලර් බිලියන 1.69 ක සමස්ත අපනයන ආදායමක් රැස් කරගැනීමට සමත් වුණා. එය 2025 සැප්තැම්බර් මාසයේ පැවති ඩොලර් බිලියන 1.44 හා සසඳන විට සියයට 17.23 ක කැපී පෙනෙන වර්ධනයක්. “සභාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී එම මාසික අපනයන ආදායම් වර්ධනය සඳහා ප්රධාන වශයෙන් දායක වී ඇත්තේ භාණ්ඩ අපනයන අංශයයි. එය 2025 සැප්තැම්බර් මාසයේ පැවැති ඩොලර් බිලියන 1.14 හා සැසඳීමේදී ඩොලර් බිලියන 1.39 ක් දක්වා සියට 21.66කින් වර්ධනය වී තිබේ.
එසේම සේවා අපනයන අංශය ද ධනාත්මක කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2025 සැප්තැම්බර් වාර්තා කළ ඩොලර් මිලියන 304.14ක ආදායමට සාපේක්ෂව 2026 සැප්තැම්බර් ඩොලර් මිලියන 306.17ක් දක්වා සියයට 0.67කින් වර්ධනය වී තිබේ.
“මෙලෙස වසරේ මුල් මාස නවය තුළ ඩොලර් බිලියන 13 සීමාව පසුකිරීම, ශ්රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීම හා විවිධාංගීකරණය කිරීම, ජාත්යන්තර වෙළෙඳපොළේ පැවැත්ම ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්රයේ දායකත්වය ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් හි සුවිශේෂී ඉදිරි පියවරක්. “යනුවෙන්ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම වසර තුළදී එක්සත් ජනපද ඩොලර් බිලියන 19 ක අපනයන ආදායමක් රැස් කරගැනීම එම මණ්ඩලයේ අරමුණ වී තිබේ. පසුගිය වසරේදී වාර්තාගත ඩොලර් බිලියන 17.2ක ආදායමක් රැස් කරගැනීමට හැකි විය.
එසේම 2030 වසර වන විට වාර්ෂික අපනයන ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සහිත 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ද දැනටමත් එළිදක්වා තිබේ.
“ඉදිරි අභියෝගවලට මුහුණ දීමට, ජාත්යන්තර වෙළෙඳාම සඳහා සුදුසු පරිසරය වැඩිදියුණු කිරීමට සහ ව්යාපාරවල ගෝලීය ව්යාප්තියට සහාය වීමට අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රාජ්ය පාර්ශවකරුවන් සමග අපනයන සංවර්ධන මණ්ඩලය අඛණ්ඩව සමීපව කටයුතු කරනවා. එහිදී තරඟකාරිත්වය සහ විවිධාංගීකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශ්රී ලංකාව එහි දිගුකාලීන අපනයන අභිලාෂ කරා ගෙන යාමටත්, වඩාත් ශක්තිමත්, තරගකාරී සහ අපනයන මූලික ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවෙනවා.“ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd