• සිලෝන් ටී යනු පානයක් නොවේ ලොව පුරා ප්‍රචලිත සංස්කෘතියක් 

මහනුවර හන්තානෙහි පිහිටි  කුඩාතේවතු සංවර්ධන අධිකාරියට අයත් රත්නසිරි වික්‍රමනායක අන්තර්ජාතික අධ්‍යයන ආයතන පරිශ්‍රයෙහි තේ කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය පහසුකම්වලින් අනූන සුහුරු දේශන ශාලා, සන්නිවේදන මධ්‍යස්ථානයක් සහ කාලගුණික මධ්‍යස්ථානයක්  ලෝක තේ දිනයට සමගාමීව තේ ගොවීන්ගේ පරිශීලනය සඳහා විවෘත කෙරිණි.

මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස නෙදර්ලන්ත වැඩබලන තානාපති අයිවන් රැටිජන් (Iwan Rutjens) සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරතුංග, solidaridad Asia  හී සභාපති ආචාර්ය ශතාදෘ චට්ටෝපාධ්‍ය ඇතුලු‍ පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් නෙදර්ලන්ත තානාපති ⁣අයිවන් රැටිජන් මෙසේ පැවසීය. ”‍සිලෝන් ටී යනු  පානයක් පමණක් නොවේ. එය ලොවපුරා ප්‍රචලිත සංස්කෘතියක්. තේ කර්මාන්තයේ අනාගතය රැදීතිබෙන්නේ හරිත කෘෂිකර්මාන්ත මාවත තුළයි.තිරසර කෘෂිකර්මාන්තය වෙත තේ කර්මාන්තය පිවීසීමට නම් ඩිජිටල් තාක්ෂණය සමග සමීපවීම අත්‍යාවශ්‍ය කාර්යයක්.එවැනි ප්‍රවේශයක් සඳහා දායකවීමට හැකිවීම සතුටට කරුණක්.”‍

මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරතුංග මෙසේ පැවසුවේය. මෙරට ආර්ථිකයේ ප්‍රමුඛ බෝගයක් වන තේ කර්මාන්තයෙන් උපයන ආදායම 2030 වන විට දෙගුණයක් කිරීම ආණ්ඩුවේ දැක්ම බවත් ඒ අනුව අස්වැන්න කිලෝ මිලියන 400ක් බවටත් ඉන් උපයන ආදායම ඩොලර් බිලියන 2.5ක් බවට පත්කිරීමටත් සැලැස්ම දැනටමත් සකසා අවසන්. එය මසක් ඇතුලත එළිදැක්වීමට නියමිතයි.

එවැනි ඉලක්ක ජය ගැනීමට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාව අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ඒ මහතා හන්තානයෙහි ස්ථාපිත කළ තේ ඩිජිටල් මධ්‍යස්ථානය පිහිටුවීමට දායකවූ ⁣ solidaridad Asia සංවීධානය Nucleus පදනම , Regenagri  ආයතන වෙත ස්තූතිය පුදකළේය.

මෙහිදී අදහස් දක්වමින් solidaridad Asia  හී සභාපති ආචාර්ය ශතාදෘ චට්ටෝපාධ්‍ය මෙසේ පැවසුවේය. අතීතයේදී තේ ක්ෂේත්‍රයේ දැඩි තරගකාරිත්වයක් සහ අවිශ්වාසයක් පැවති අතර, වතු වැවිලිකරුවන් සහ කුඩා වතු හිමියන් අතර සබඳතාවක්  තිබුණේ නෑ. ‘තේ දිනය’ සැමරීමේ අරමුණ වූයේ කම්කරුවන් සහ කුඩා වතු හිමියන් ඒකාබද්ධ කර ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ තේ කර්මාන්තයේ තිරසාරභාවය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටයි.කලකට පෙර කුඩා වතු හිමියන්ගේ තේවල තත්වය (ගුණාත්මක බව) පිරිහීමට හේතුවක් ලෙස සැලකුණද, TSHDA ආයතනය ‘තේ ශක්ති’ කර්මාන්තශාලා හරහා කුඩා වතු හිමියන්ගේ තේ සඳහා ඒවාටම සුවිශේෂී  අනන්‍යතාවක් සහ ගුණාත්මකභාවයක් ගොඩනැගීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ කුඩා  තේවතු හිමියන් ලෝකයේ අනෙකුත් රටවලට (කෙන්යාව වැනි) සාපේක්ෂව ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමක සිටින අතර, ආසියානු තේ සන්ධානයේ සභාපතිත්වය ශ්‍රී ලාංකිකයකු වන නිමල් උඩුගම්පොළ  මහතා  දැරීමත් සුවිශේෂී කරුණකි. මෙම දශකයේ ඇති විය හැකි ප්‍රධාන අභියෝගය වන්නේ ඩිජිටල් බැහැර කිරීම (Digital Exclusion) බවත්, තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන සහ නොකරන පිරිස් ලෙස බෙදීමක් ඇති විය හැකි බවත් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම මුලපිරීමේ අරමුණ වන්නේ නවීන තාක්ෂණය ප්‍රායෝගිකව ගොවීන්ට හඳුන්වා දී කෘෂිකර්මාන්තය ස්මාර්ට් බවට පත්කිරීම සහ දේශගුණයට ඔරොත්තු දෙන මට්ටමකට පත් කිරීමයි. ශ්‍රී ලංකාවේ සමස්ත ආහාර නිෂ්පාදනයෙන් සියයට 70 ක්ම සපයනු ලබන්නේ TSHDA යටතේ සිටින 400,000කට අධික කුඩා වතු හිමියන් විසිනි. මෙම ගොවීන් පුනර්ජනනීය කෘෂිකර්මය (Regenerative Agriculture) දෙසට යොමු වීම ලෝකයටම පූර්වාදර්ශයකි. මෙම වැඩසටහන් සඳහා ලන්දේසි රජය ලබා දෙන සහයෝගය අගය කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ මෙම ආකෘතිය ටැන්සානියාව, කෙන්යාව සහ ඉන්දුනීසියාව වැනි රටවලටද ආදර්ශයක් වනු ඇත. ලෝකයේ ප්‍රථම වරට පුනර්ජනනීය කෘෂිකාර්මික සහතිකය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ වතු සහ කුඩා වතු හිමියන් වීම සැබවින්ම ආඩම්බරයට හේතුවකි.