
මෑතකාලීන ආර්ථික කාර්යසාධනය
2022 වසරේ දැඩි විදේශ විනිමය අර්බුදය සහ ණය අර්බුදයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වන විට ප්‍රතිසාධන මාර්ගයකට පිවිස ඇති බව සපුරා දැකගත හැකිය. 2025 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම්වල යළි වැඩි දියුණුවීමක් පැහැදිලිව දක්නට ලැබූ අතර, එය 2026 වසරේ මුල් මාස තුන තුළද යම් පමණකින් දිගටම පවතින බව දත්ත පෙන්වයි. එහෙත් මෙම ප්‍රතිසාධනය සම්පූර්ණයෙන්ම ස්ථාවර එකක් නොව, එය වඩාත් සුළු හා අස්ථාවර මූලික පදනමක් මත පවතින බවත්, ඉදිරියට තවත් ප්‍රතිපත්තිමය සහ බාහිර අභියෝග රැසක් මතුවන වන බවත් පැහැදිලිය.
2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස යළි ඉහළ ගොස් ඇත. 2022 සහ 2023 වසරවල ආර්ථික සංකෝචනයෙන් පසු 2024 වසරේදී ආර්ථිකය යම් ස්ථායීකරණයකට පත්වූ අතර, ශ්‍රි ලංකා මහ බැංකුවට අනුව 2025 වසරේදී මූර්ථ දළ දේශීය නිෂ්පාදනයේ (GDP) වර්ධනය සියයට 5 වාර්තා කරන ලදී. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ සේවා අංශයේ පුළුල් වර්ධනය, විශේෂයෙන් සංචාරක කර්මාන්තය සහ වාණිජ සේවා, තවදුරටත් දේශීය ඉල්ලුම යළි පණ ගැන්වීම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීභාවයයි. කර්මාන්ත අංශයද යම් ප්‍රමාණයකින් යළි සජීවී වී ඇතත්, එය තවමත් පූර්ණ ප්‍රතිසාධනයකට පැමිණ නොමැත. කෘෂිකර්ම අංශය සම්බන්ධයෙන් ගත් විට, කාලගුණික අස්ථාවරතා සහ අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම හේතුවෙන් වර්ධනය අසමානව පවතින බව දක්නට ලැබේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය යළි යථාවත්වීම මූලික වශයෙන්ම බස්නාහිර පළාත සහ ප්‍රධාන නාගරික කලාප ආශ්‍රිතව සිදුව ඇතත් තවමත් ග්‍රාමීය සහ බස්නාහිර පළාතෙන් බැහැර ප්‍රදේශවල ආර්ථික යථාවත්වීම මන්දගාමීව සිදුවන බවයි.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල ආර්ථික කටයුතු යථාවත්වීම ඉතා මන්දගාමී වී පවතින අතර මේ නිසාම එම පළාත්වලින් සමස්ත ආර්ථිකයට කරනු ලබන දායකත්වය ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතී. 2026 වසරේ මුල් මාස තුන තුළ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනය තවදුරටත් පවතින අතර, එහි වේගය 2025 වසරට සාපේක්ෂව යම් පමණකින් මන්දගාමී වී ඇති බව දක්නට ලැබේ. විශේෂයෙන් ගෝලීය වෙළෙඳපොළේ අස්ථාවරතාව, මැදපෙරදිග පවතින යුද්ධය, ඉන්ධන මිලවල ඉහළයාම, සහ ආනයන පිරිවැය ඉහළ යාම වැනි කරුණු ආර්ථික වර්ධනයට සීමා පනවා ඇත. එහෙත්, සේවා අංශය, විශේෂයෙන් සංචාරක හා වාණිජ සේවා, තවදුරටත් වර්ධනයට ප්‍රධාන ආධාරකයක් ලෙස පවතින බව පැහැදිලි වේ.
අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් විට, 2025 වසරේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ වර්ධනයක් (6%-7%) ලබා ගැනීමට සමත් විය. භාණ්ඩ අපනයනවල ප්‍රධාන කොටසක් වන ඇඟලුම්, තේ, සහ රබර් නිෂ්පාදන සම්බන්ධයෙන් ගෝලීය ඉල්ලුමේ වෙනස්වීම් හේතුවෙන් වර්ධනය සීමා වූ අතර, සේවා අපනයනවල වර්ධනය එය සමනය කිරීමට උපකාරී විය. 2026 වසරේ මුල් කාලයේදී අපනයන වර්ධනය තවදුරටත් පවතින නමුත් එය ඉතා අඩු වේගයකින් සිදු වූ බව දත්ත පෙන්වයි. භාණ්ඩ අපනයනවල වර්ධනය සියයට 1-2ක පමණ මට්ටමක පවතින අතර, සේවා අපනයන, විශේෂයෙන් IT සහ වෘත්තීය සේවා, තවදුරටත් ප්‍රගතියක් ලබා ඇත. එහෙත්, ගෝලීය වෙළෙඳපොළේ අඩු ඉල්ලුම, විශේෂයෙන් යුරෝපීය සහ ඇමරිකානු වෙළෙඳපොළවල මන්දගාමී වර්ධනය, ශ්‍රී ලංකා අපනයනවල ප්‍රධාන බාධාවක් ලෙස පවතින බව දක්නට ලැබේ. මැදපෙරදිග යුදගැටුම් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළයාම සහ ගෝලීයව උද්ධමනකාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් අපනයන පිරිවැය ඉහළයාම සහ ඉල්ලුම පහත වැටීම ලාංකික අපනයන කේෂ්ත්‍රයට අහිතකරව බලපා ඇති බව දැකගත හැකි වේ.
එකම කාලයේදී ආනයන වියදම්, විශේෂයෙන් ඉන්ධන සහ මූලික ද්‍රව්‍ය ආනයන, දැඩි ලෙස ඉහළ යාමෙන් සහ අපනයන පහත වැටීමෙන් වෙළෙඳ හිඟය පුළුල් විය හැකිය. ඊට අදාළ තත්ව දැනටමත් දැකගත හැකිය. 2026 වසරේ මුල් මාස තුන තුළ ඉන්ධන ආනයන වියදම් විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් මුළු වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙය විදේශ විනිමය මත පීඩනයක් ඇති කරමින්, රුපියල් අගය මතද බලපෑම් ඇති කරයි. අදවන විට ඇමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීම සඳහා රුපියල් 323 ක් පමණ ගෙවිය යුතු තත්වයකට පත්ව ඇත. සංචාරක කර්මාන්තය 2025 සහ 2026 මුල් කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ශක්තිමත් අංශයක් ලෙස පවතින බව පැහැදිලි වේ. 2025 වසරේදී සංචාරක පැමිණීම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, 2026 වසරේ මුල් මාස තුන තුළද එය තවදුරටත් වර්ධනය වී ඇත. 2026 ජනවාරි මාසයේදී පමණක් සංචාරකයන් 250,000 ඉක්මවූ සංඛ්‍යාවක් පැමිණීම, මෙම අංශයේ ශක්තිමත් ප්‍රතිසාධනයක් පෙන්වයි.
එහෙත්, වැදගත් කරුණක් වන්නේ සංචාරක පැමිණීම් ඉහළ යාමට සාපේක්ෂව සංචාරක ආදායම එම මට්ටමින් ඉහළ නොයෑමයි. එයින් පැහැදිලි වන්නේ එක් සංචාරකයකුගෙන් ලැබෙන සාමාන්‍ය ඉපැයීම් අඩුවී ඇති බවයි. මෙය අඩු ඉපැයීම් සංචාරකයන් වැඩිවීම, කාලය කෙටිවීම, හෝ සංචාරක සේවා ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු වැනි කරුණු සමග සම්බන්ධ විය හැක. විශේෂයෙන්ම මේ වනවිට ප්‍රධාන වශයෙන්ම සංචාරක පැමිණීම් වාර්තා වන්නේ දකුණු ආසියානු රටවල්වලින් වන අතර ගුවන් ගාස්තු ඉහළයාම සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය හේතුවෙන් කලාපයේ ඇති ප්‍රධාන ගුවන් හුවමාරු මධ්‍යස්ථානයක් (Transit Airport) වන ඩුබායි ගුවන්තොටුපොළට අදාළ අවහිරතා යුරෝපය ඇතුළු අනෙකුත් කාලපවලින් මෙරටට පැමිනෙන සංචාරකයන්ගේ ප්‍රමාණය පහත වැටීම කෙරෙහි බලපා ඇති බව පැහැදිලිය.
විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකයේ තවත් වැදගත් විදේශ විනිමය ආදායම් මාර්ගයක් වන අතර, 2025 සහ 2026 මුල් කාලයේදී එය ශක්තිමත් ප්‍රවණතාවක් පෙන්වයි. 2022-2023 කාලයේදී අනියම් මාර්ග හරහා යන ප්‍රේෂණ හේතුවෙන් නිල දත්ත අඩුවී තිබුණද, 2025 වසරේදී නිල මාර්ග හරහා සිදුව ඇති ප්‍රේෂණ වර්ධනය විය. 2026 වසරේ මුල් මාස තුන තුළ මාසිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 700-800ක පමණ ප්‍රේෂණ ලැබීම, මෙම ප්‍රවණතාව තවදුරටත් තහවුරු කරයි. මෙය විදේශ විනිමය සංචිත වැඩි කිරීමට සහ රුපියල් අගය ස්ථායී කිරීමට වැදගත් ලෙස දායක වේ. කෙසේ වෙතත් දැනට මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුදමය වාතාවරණය ලංකේය විදේශ ශ්‍රමිකයන්ට එතරම් යහපත් තත්වයක් නොවන බව පැහැදිලිය. දැනට වාර්තාවන දත්තවලට අනුව රැකියා සඳහා මැදපෙරදිග කලාපයට විදේශගතවන පිරිසේ යම් පහත වැටීමක් සිදුව ඇති අතර රැකියා අහිමි වී යම් පිරිස් යළි මෙරටට පැමනෙමින් සිටින තත්වයක් ද සුළු වශයෙන් වාර්තා වේ. ඊට අමතරව එම කලාපය තුළ දැනට සේවය කරනු ලබන පිරිස්වලට පෙර වැටුපට වඩා අඩු වැටුප් යටතේ සේවය කිරීමට සිදුව ඇති තත්වයක් ද වාර්තා වේ. මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගත්විට ඉදිරියේ දී මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවල යම් පහත වැටීමක් සිදුවීමට වඩා වැඩි ඉඩකඩක් පැවතිය හැකි බව සඳහන් කළ හැකිය.
ඉදිරි ආර්ථික අභියෝග
ඉහත දැක්වූ ආර්ථික ප්‍රගතිය සමගම ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට මුහුණ දෙන අභියෝග රැසක්ද පවතින බව අවධාරණය කළ යුතුය. ඒ අතරින් ප්‍රධානම අභියෝගයක් වන්නේ උද්ධමනය නැවත ඉහළ යාමේ අවදානම සහ විදේශීය අංශයට අදාළව ගොඩනැගෙමින් පවතින අයහපත් තත්වයන්ය. 2024 සහ 2025 වසරවලදී දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය අඩු මට්ටමක පාලනය කර ගැනීමට හැකි වූ අතර, 2026 වසරේදී එය නැවත ඉහළ යාමේ ලකුණු පෙන්වයි. විශේෂයෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, ආනයන පිරිවැය වැඩිවීම, සහ දේශීය ඉල්ලුම යළි ඉහළ යාම මෙයට හේතු වේ.
රුපියලේ අගය සම්බන්ධයෙන් ගත් විටද දිගුකාලීන අවප්‍රමාණ ප්‍රවණතාවක් පවතින අතර, 2026 මුල් කාලයේදීද එය පීඩනයට ලක්වී ඇත. වෙළෙඳ හිඟය වැඩිවීම, විදේශ ණය සේවා, සහ ගෝලීය ඩොලර් ශක්තිමත් වීම වැනි කරුණු රුපියලේ අගය අඩු වීමට බලපායි. රුපියල අවප්‍රමාණය අපනයන සඳහා යම් වාසියක් ලබා දෙන නමුත්, ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් උද්ධමනයට සහ ජීවන වියදම් වැඩිවීමට දායක වේ. ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් මාර්ග තුනම මේ වනවිට යම් පීඩනයකට හසුව පවතී. මැදපෙරදිග යුද්ධය හේතුවෙන් අපනයන, සංචාරක සහ විදේශගත රැකියා අංශවල කාර්යසාධනය අයහපත්ව පවතින අතර විදේශ අයෝජන දිරිගැන්වීම්වලට අදාළව ද පවතින්නේ අයහපත් වටපිටාවකි.
තවත් වැදගත් අභියෝගයක් වන්නේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ප්‍රමාදයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, සහ රාජ්‍ය වියදම් පාලනය වැනි ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු වුවද, ඒවායේ ප්‍රගතිය සීමිත වේගයකින් සිදු වේ. මෙම ප්‍රමාදය ආර්ථික විශ්වාසය අඩු කරමින්, දේශීය හා විදේශ ආයෝජනවලට බාධා කරයි.
ගෝලීය ආර්ථික පරිසරයද ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් බලපෑමක් ඇති කරයි. 2026 වසරේදී ගෝලීය වර්ධනය මන්දගාමී වීම, වෙළෙඳ ප්‍රතිපත්ති අස්ථාවරතා, සහ ජාත්‍යන්තර ගැටුම් හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම වැනි කරුණු ශ්‍රී ලංකා ආර්ථිකයට අභියෝගයක් වේ.
මෙම තත්ත්ව අපනයන, සංචාරක කර්මාන්තය, සහ ආනයන වියදම් මත සෘජුව බලපායි. මෙම සියලු කරුණු සලකා බැලූ විට, 2025 වසර සහ 2026 මුල් මාස තුන තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිසාධන මාර්ගයක පවතින නමුත්, එය තවමත් අවදානම් සහ අභියෝග මධ්‍යයේ පවතින බව පැහැදිලි වේ. ආර්ථික වර්ධනය යළි ආරම්භ වී ඇති අතර සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ වැනි ක්ෂේත්‍ර ශක්තිමත් වී ඇත. එහෙත්, උද්ධමනය, රුපියල අවප්‍රමාණය, වෙළෙඳ හිඟය, සහ ප්‍රතිසංස්කරණ ප්‍රමාදය වැනි ගැටලු ඉදිරියටත් ආර්ථික ස්ථායීභාවයට අභියෝගයක් වනු ඇත. ඉදිරියට සාර්ථක හා ස්ථාවර වර්ධනයක් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය ස්ථායීභාවය, ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, අපනයන විවිධාංගීකරණය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මූල්‍ය හා මූදල් ප්‍රතිපත්ති අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින් දීර්ඝකාලීන වර්ධනය සඳහා අවශ්‍ය ආර්ථික පදනම ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.
සාරාංශය
ආර්ථික අර්බුදයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ යම් ආර්ථික ස්ථායීතාවක් සහ වර්ධනයක් ඇතිකර ගැනීමට මෙරටට ආර්ථිකයට හැකියාව ලැබුණද එසේ අත්කර ගත් කාර්යසාධනය පටු පදනමක පවතින බව කිවයුතුව ඇත. විශේෂයෙන්ම මෑතකාලීනව ඇති වූ අභ්‍යන්තර සහ බාහිර කම්පන හේතුවෙන් භාණ්ඩ මිල ඉහළයාම සහ ආර්ථික කටයුතු බිදවැටීම හේතුවෙන් මෙරට දුගීබව සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර සේවා වියුක්තිය ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. පවතින ගෝලීය තත්වය මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට ඉතා අහිතකර වේ.
මෙවන් පසුබිමක් තුළ දේශීයව ආර්ථිකය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීම අත්‍යවශ්‍ය වන්නකි. එවැන්නකින් තොරව ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගෙන යාම දුෂ්කර වනු ඇත. විශේෂයෙන්ම දැනට අත්කරගෙන ඇති ආර්ථික ස්ථායීතාව පවත්වා ගෙනයාම සඳහා අවම වශයෙන් සියයට 5ක පමණ ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සහතික කළ යුතුය. එසේ නොවන තත්වයක් තුළ දැනට සැලකිය යුතු ඉහළ මට්ටමක පවතින දුප්පත්කම සහ සේවා ව්‍යුක්තිය පහත හෙළීම දුෂ්කර වනු ඇත.
තවදුරටත් රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් රටතුළ උද්ධමනකාරී තත්වයක් ඇතිවිය හැකිය. එම තත්වය වසරකට වැඩි කාලයක් අඛණ්ඩව පැවතීමට ඉඩකඩ පවතී. එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයන් කඩිනමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජන දිරිගැන්විය හැකි ක්‍රියාමර්ග කඩිනමින් ක්‍රියාත්මක් කළ යුතුව ඇත. එමෙන්ම දේශීයව ආර්ථිකයේ ඵලදායීතාව ඉහළනැංවීම මෙන්ම කාන්තා ශ්‍රම සැපයුම දිරිගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ද කළ යුතුව පවතී.
ණය අර්බුදයට මුහුණපෑ බොහොමයක් රටවල් යළි යළිත් ණය අර්බුදවලට ලක්වීමට බලපෑ මූලික හේතුව වුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි කලට නොකිරීම හේතුවෙන් අභ්‍යන්තර සහ බාහිර කම්පනවලට ඔරෝත්තුදීමේ හැකියාව ඇති කර ගැනීමට අපොහොසත්වීම හේතුවෙනි. විශේෂයෙන්ම ඉදිරි ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා වූ ආර්ථික සැලස්මක් ඉදිරිපත්කර ක්‍රියාත්මක කිරිම සඳහා කඩිනමින් පියවර ගැනීම වඩාත් යෝග්‍ය වේ. මේ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd