මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ යන මහත්වරු අදාළ ගිවිසුම හුවමාරු කරගනිමින්


මහජන බැංකුව විසින් පාරිසරික තිරසරභාවය සහ වනජීවී සංරක්ෂණය සඳහා වන සිය කැපවීම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් දුම්රියෙහි ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කරයි.
‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කරන මෙම ව්‍යාපෘතියට මහජන බැංකුව පූර්ණ මූල්‍ය දායකත්වය පිරිනමයි. මේ ඔස්සේ රටේ සංකිර්ණ වනජිවි සංරක්ෂණ අභියෝගයකට විසඳුම් සෙවිමේ අරමුණින් නවීන තාක්ෂණය හා විශේෂඥ දැනුම ඒකාබද්ධව වේ. 
මෙම ව්‍යාපෘතියට අදාළව තෙවසරක කාලයක් සඳහා අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම කොළඹ 01, ජනාධිපති කාර්යාලයේදී පසුගියදා සිදුකෙරුණු අතර, මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ රජයේ නිලධාරීහු සහභාගි වූහ.
දුම්රිය මාර්ගයන්වල අධි අවදානම බවට හඳුනාගත් ස්ථානවල ප්‍රමිතිගත මට්ටමේ අති නවීන පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් (Early Warning System) ස්ථාපනය කිරීම මෙමගින් සිදුකෙරේ.  දුම්රිය මාර්ග ආසන්නයේ අලි-ඇතුන්ගේ චලන හඳුනාගැනීම සඳහා තාප අධෝරක්ත සංවේදක (Thermal Infrared Sensors)” කම්පන සංවේදක, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන LoRa සන්නිවේදන මොඩියුල සහ බහු-අංශ සංඥා ඒකකවලින් (Multi-aspect Signaling Units) මෙම පද්ධතිය සමන්විත වන අතර, අනතුරු ඇඟවීමේ විදුලි පහන් සහ වෙනත් සන්නිවේදන මාධ්‍ය මගින් දුම්රිය රියදුරන්ට අවදානම් අවස්ථා පිළිබඳ දැනුම් දීම් සිදු කරනු ඇත.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ දිගුකාලීන තිරසරභාවය තහවුරු කිරීම සඳහා ඊට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී ව්‍යාපෘතියට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් නවීන තාක්ෂණික යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය උපකරණ මිලදී ගැනීම හා එම උපකරණ ස්ථාපනය කිරීම සඳහා මහජන  බැංකුව මූල්‍ය අනුග්‍රාහකත්වය පිරිනමයි.
මෙම ව්‍යාපෘතියට අදාළව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංවේදක කුලුනු සහ සංඥා කණු සඳහා කොන්ක්‍රීට් වළවල් ඇතුළු අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට සහයෝගය ලබාදීම, දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා LED අනතුරු ඇඟවීමේ විදුලි පහන් සවිකිරීම, වේග පාලන ක්‍රියාමාර්ග සහ බහු-අංශ සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීම මෙන්ම, හඳුනාගත් අධි අවදානම් සහිත ප්‍රදේශවලදී ගත යුතු ආරක්ෂක ක්‍රියා මාර්ග අනුගමනය කිරීම සඳහා දුම්රිය එන්ජින් රියදුරන් පුහුණු කිරීම සිදු කරනු ඇත.
දුම්රිය මාර්ග ආසන්නයේ අලි ඇතුන්ගේ ගැවසීම අවම කිරීම සඳහා කෘත්‍රිම ජල මූලාශ්‍ර නිර්මාණය කිරීම සහ වනාන්තරය තුළම ආහාර ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම ඇතුළු වාසස්ථාන කළමනාකරණ ක්‍රියාමාර්ග කෙරෙහි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ඇත. මධ්‍යගත අධීක්ෂණ මධ්‍යස්ථානයකින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරතුරුව අවධානයෙන් සිටින අතර, දෝෂ හඳුනාගැනීම, නඩත්තු කටයුතු සම්බන්ධීකරණය සහ වාර්තාකරණය හරහා මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණයට ලක් කරයි.
දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 89ක පමණ දුරක් ආවරණය වන පරිදි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ගැටීම් බහුල ස්ථාන (Hotspots) 39ක් මේ වන විට හඳුනාගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රමුඛතාව ලබාදිය යුතු ස්ථාන 13ක මෙම පද්ධති ස්ථාපනය කෙරේ.
මෙම වැඩසටහනේ මීළඟ පියවර ලෙස, මෙරට අලි ඇතුන් දුම්රියේ ගැටීම් සිදුවීමේ ඉහළ අවදානමක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති හබරණ සහ හතරැස්කොටුව අතර කිලෝමීටර් 14ක දුම්රිය මාර්ග කොටසක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පරිසර විද්‍යාත්මක, සංස්කෘතික හා ආර්ථික වශයෙන් ගත් කල අතිශය වැදගත් වන ප්‍රධානතම ජීවී විශේෂයක් වන ආසියානු අලි ඇතුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ වෙසෙයි. කෙසේ වෙතත් ශීඝ්‍රයෙන්  නාගරීකරණය වීම සහ යටිතල පහසුකම් සංවර්ධනය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන ක්‍රමයෙන්  අවම වෙමින් පවතින අතර,  ඒ හේතුවෙන් අලි මිනිස් ගැටුම් උග්‍රවී ඇත.
2011 වසරේදී 5,879ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ මෙරට අලි ඇතුන් ගහනය 2024 වන විට ආසන්න වශයෙන් 4,000ක් දක්වා පහත වැටී ඇත. ඒ අතර 2024 වසර තුළ දී පමණක් අලි ඇතුන්ගේ මරණ 386ක් වාර්තා වී තිබීම අවාසනාවන්ත තත්වයකි. මෙම මරණවලින් බහුතරයකට හේතුව දුම්රියෙහි ගැටීම් නොවුණද, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල අලි වාසස්ථාන හරහා දිවෙන දුම්රිය මාර්ග ප්‍රධාන ගැටීම් කලාප බවට පත්ව ඇති අතර, එවැනි සිදුවීම් බහුලව වාර්තා වන ස්ථාන 39ක් හඳුනාගෙන ඇත.
මෙම පද්ධතිය නිර්මාණය කරන ලද්දේ අලි-ඇතුන් සංරක්ෂණවේදියකු සහ ඉංජිනේරුවරයකු වන ඉරෝෂ් පෙරේරා විසිනි. ඉන් අනතුරුව, ‘Clean Sri Lanka’ වැඩසටහනට අනුබද්ධ නිලධාරීන් විසින් ව්‍යාපෘති රාමුව, ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය සහ ප්‍රධාන සන්ධිස්ථාන තීරණය කිරීම සඳහා වන සාකච්ඡා මාලාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සංවිධානය කරන ලදී. මෙම සාකච්ඡා සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මහජන බැංකුව සහ අදාළ විසඳුම නිර්මාණය කළ ඉංජිනේරුවරයාගේ කණ්ඩායම සහභාගී වූහ.