• චීනය මෙය කලින්ම දුටුවේය. ඉන්දියාවත් දුටුවේය. මුළු ලෝකයම දැන් අප්‍රිකාව දෙසට හැරෙමින් සිටී. ශ්‍රී ලංකාවට කිසිසේත්ම පමා විය නො හැකිය. 

ලෝකයේ මීළඟ දැවැන්තම ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වීමේ තරගය මේ වන විටත් ආරම්භ වී තිබේ. දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනා අප්‍රිකාව දෙස බැලු‍වේ දුප්පත්කම, යුද්ධ, ලෙඩ රෝග සහ දේශපාලන අස්ථාවරත්වය පිරුණු තැනක් ලෙසයි. එහෙත් එම පැරණි මතය දැන් වේගයෙන් වෙනස් වෙමින් පවතී. 

අද නිර්මාණය වෙමින් පවතින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අප්‍රිකාවකි. එය තරුණ, ඉහළ බලාපොරොත්තු ඇති, ලෝකය සමග වඩාත් හොඳින් සම්බන්ධ වූ මහද්වීපයකි. එමෙන්ම, තමන් සතු අතිවිශාල ස්වාභාවික හා මානව සම්පත් ආර්ථික බලයක් බවට පත් කර ගැනීමට ඔවුහු දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. 

අප්‍රිකාව තවදුරටත් ගෝලීය ආර්ථිකයේ කොනකට වී සිටින කලාපයක් නොවේ. එය මුළු ලෝක ආර්ථිකයම ඉදිරියට ගෙන යන ප්‍රධානතම එන්ජිමක් බවට පත් වීමට සූදානම් වෙමින් සිටී.

2050 වසර වන විට අප්‍රිකාවේ ජනගහනය බිලියන 2.5 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අදහස් වන්නේ ලෝකයේ ජීවත් වන සෑම සිව්දෙනකුගෙන් එක් අයකුටත් වඩා වැඩි පිරිසක් අප්‍රිකානුවන් වන බවයි. අප්‍රිකාවේ විශාලත්වය ගැන ද සිතා බැලීමෙන් එහි ඇති අවස්ථා කොතරම් ද යන්න තේරුම් ගැනීමට හැකිය. වර්ග කිලෝමීටර මිලියන 30 ක් පමණ වන අප්‍රිකානු මහද්වීපය, චීනය, ඉන්දියාව සහ ජපානය යන රටවල් තුනම එකට එකතු කළ විට හැදෙන භූමි ප්‍රමාණයටත් වඩා විශාලය.

මේවා නිකම්ම නිකම් සංඛ්‍යා ලේඛන නොවේ. ඉන් නියෝජනය වන්නේ අතිවිශාල අනාගත පාරිභෝගික වෙළෙඳපොළක්, ශ්‍රම බළකායක් මෙන්ම කදිම ආයෝජන අවස්ථාවකි. අනාගත ලෝක ආර්ථිකයට අවශ්‍ය කරන මිනිසුන්, වෙළෙඳපොළවල්, ඛනිජ සම්පත්, කෘෂිකාර්මික ඉඩම්, පුනර්ජනනීය බලශක්ති හැකියාව මෙන්ම නව අවස්ථා සොයන තරුණ ජනගහනය යන මේ සියල්ලෙන්ම වැඩි කොටසක් ඇත්තේ අප්‍රිකාව සතුවය. 

පරම්පරා ගණනාවක් තිස්සේ අප්‍රිකාව කළේ තම ඛනිජ, තෙල් සහ කෘෂිකාර්මික සම්පත් වෙනත් රටවලට යැවීමයි. එම සම්පත්වලින් සැබෑ වටිනාකමක් හා ලාබයක් ලැබුවේ වෙනත් රටවල්ය. ලොව පුරා බොහෝ කර්මාන්ත දියුණු වූයේ අප්‍රිකාවෙන් ගෙන ගිය රන්, දියමන්ති, තඹ, කොබෝල්ට්, ලිතියම්, මැංගනීස්, යකඩ, බොක්සයිට්, තෙල් සහ ගෑස් වැනි සම්පත්වලිනි. 

අතීතයේදී අප්‍රිකාව සම්පත් සැපයූ අතර, අනෙක් රටවල් ඒවා යොදාගෙන නිමි භාණ්ඩ නිෂ්පාදනය කළේය. ලාබයෙන් වැඩි කොටසක් ගත්තේ ද එම රටවල්ය. එහෙත් අද වන විට මෙම පැරණි ආර්ථික ක්‍රමයට අභියෝග එල්ල වී ඇත. නිකම්ම අමුද්‍රව්‍ය සපයන්නන් ලෙස පමණක් සිටීමෙන් කිසිදා සැබෑ දියුණුවක් ලබා ගත නො හැකි බව අප්‍රිකානු මහද්වීපයේ බොහෝ ආණ්ඩු දැන් හොඳින් තේරුම් ගෙන තිබේ. 

ඔවුන්ගේ නව චින්තනය ඉතා සරලය. එනම්, අප්‍රිකාව තුළම කැණීම් කිරීම, අප්‍රිකාව තුළම අමුද්‍රව්‍ය සැකසීම, අප්‍රිකාව තුළම නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ අප්‍රිකාව තුළම රැකියා බිහි කිරීම යන්නයි. 

අප්‍රිකාවේ ධනවත්ම පුද්ගලයා වන අලිකෝ ඩැන්ගෝට් (Aliko Dangote) මහතාගේ ව්‍යාපාර හරහා නයිජීරියාව මේ වන විටත් අප්‍රිකාවේ කාර්මික දියුණුවේ තරම ලෝකයට පෙන්වා දෙමින් සිටී. ඔහු සතුව දිනකට බැරල් 650,000 ක ධාරිතාවක් ඇති තෙල් පිරිපහදුවක් මෙන්ම, වසරකට යුරියා ටොන් මිලියන 3 ක් පමණ නිෂ්පාදනය කරන දැවැන්ත පොහොර කර්මාන්තශාලාවක් ද වෙයි. වඩාත් වැදගත් කරුණ වන්නේ, ඔහු සිය පොහොර නිෂ්පාදනය වසරකට ටොන් මිලියන 9 ක් දක්වා තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගනිමින් සිටීමයි. මෙයින් අප්‍රිකාවට තම කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනවා පමණක් නොව, ලෝක පොහොර වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවකු වීමට ද අවස්ථාව සැලසේ. 

ඩැන්ගෝට් මහතා සිය කර්මාන්ත දියුණු කිරීමේ දැක්ම නැගෙනහිර අප්‍රිකාව වෙත ද ව්‍යාප්ත කරමින් සිටී. ඒ අනුව, කෙන්යාවේ දිනකට බැරල් 700,000 ක ධාරිතාවකින් යුත් තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට ඔහු යෝජනා කර ඇත. මෙය ආනයනික ඛනිජ තෙල් මත එම කලාපය රඳා පැවතීම විශාල වශයෙන් අඩු කළ හැකි ව්‍යාපෘතියකි. 

මේ අතර, උගන්ඩාව ද අප්‍රිකාවේ තවත් ප්‍රධාන තෙල් නිෂ්පාදකයකු බවට පත් වීමට සූදානම් වෙයි. පසුගිය සතියේ “පර්ල් ස්වීට්”‍ (Pearl Sweet) ලෙස නම් කරන ලද ඔවුන්ගේ බොරතෙල් නිෂ්පාදනය, ටිලෙන්ගා (Tilenga) සහ කිංෆිෂර් (Kingfisher) යන ප්‍රදේශවලින් දිනකට බැරල් 230,000 ක පමණ උපරිම අගයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙවැනි වෙනස්කම් අප්‍රිකාවේ වෙනත් රටවලින් ද දැක ගත හැකිය. ඝානාව තම රටේ හැදෙන කොකෝවා වැඩි වශයෙන් රට තුළම සැකසීමට පියවර ගනිමින් සිටී. සිම්බාබ්වේ රාජ්‍යය අමු ඛනිජ අපනයනය කිරීම සීමා කර ඇත. උගන්ඩාව තම නිෂ්පාදනවලට රට තුළදීම අගය එකතු කිරීම (value addition) දිරිමත් කරයි. එසේම කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සැම්බියාව, මාලි, ටැන්සානියාව, බුර්කිනා ෆාසෝ සහ නයිජර් වැනි රටවල් සිය ස්වාභාවික සම්පත්වලින් ලැබෙන ලාබයෙන් වැඩි කොටසක් තම රටටම ලබා ගැනීමට දැන් ක්‍රියා කරමින් සිටී.

චීනය මෙය කල්තියාම හඳුනා ගත්තේය 

අප්‍රිකාවේ ඇති මෙම දිගුකාලීන ආර්ථික හැකියාව චීනය තරම් කලින් හඳුනාගත් සහ ඒ වෙනුවෙන් මෙතරම් කැපවීමෙන් කටයුතු කළ වෙනත් කිසිදු ප්‍රධාන රටක් ලොව නැති තරම්ය. 

අද වන විට චීනය අප්‍රිකාව තුළ සිදු කරන ආයෝජන කැණීම් කටයුතුවලට පමණක් සීමා වී නැත. මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, විදුලි සංදේශ, නිෂ්පාදන කර්මාන්ත, බලශක්තිය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහන හා බෙදාහැරීම් (logistics), තාක්ෂණය, කාර්මික කලාප මෙන්ම මූල්‍ය සේවා යන සෑම ක්ෂේත්‍රයකම චීන සමාගම් සම්බන්ධ වී සිටී. 

චීනය අප්‍රිකාවේ ආයෝජනය කළේ අප්‍රිකාව දියුණු වන තුරු බලා සිටීමෙන් පසුව නොවේ. ඔවුන් එහි ආයෝජනය කළේ අනාගතයේදී අප්‍රිකාව අනිවාර්යයෙන්ම දියුණු වන බවට දැඩිව විශ්වාස කළ නිසාවෙනි. මෙම වෙනස ඉතා වැදගත්ය. අන් අය අප්‍රිකාව තුළ අවදානමක් දකිද්දී, චීනය දුටුවේ එහි ඇති විශාලත්වයයි. අන් අය එහි දුප්පත්කම දකිද්දී, චීනය ඔවුන්ව අනාගත පාරිභෝගිකයන් ලෙස දුටුවේය. අන් අය හුදෙක් අමුද්‍රව්‍ය පමණක් දකිද්දී, චීනය දුටුවේ අනාගත සැපයුම් ජාල, යටිතල පහසුකම් සහ දැවැන්ත කාර්මික වෙළෙඳපොළවල්ය.

ඉන්දියාවත් මෙය දැක අප්‍රිකාව තුළ තදින් මුල් බැස ගත්තේය. 

අද වන විට ලෝකයේ ආර්ථික තරගය අප්‍රිකාව වෙත යොමු වී ඇතත්, ඊට බොහෝ කලකට පෙර ඉන්දියාව ද අප්‍රිකාවේ ඇති හැකියාව හඳුනා ගෙන සිටියේය. 

ඉන්දීය ව්‍යාපාරිකයෝ පරම්පරා ගණනාවක් පුරා අප්‍රිකාව තුළ ව්‍යාපාර ගොඩනගමින් සිටිති. ඒ හරහා ඔවුහු අප්‍රිකාවේ ඉතා ශක්තිමත් වාණිජ ජාලයක් නිර්මාණය කරගෙන සිටිති. නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ සිට බටහිර සහ මධ්‍යම අප්‍රිකාව දක්වාම ඉන්දීය ව්‍යාපාරිකයෝ නිෂ්පාදන, ඖෂධ, කෘෂිකර්මාන්තය, රෙදිපිළි, වානේ, ප්ලාස්ටික්, පාරිභෝගික භාණ්ඩ, ඉදිකිරීම්, තාක්ෂණය සහ මූල්‍ය සේවා යන සෑම ක්ෂේත්‍රයකම සිය ප්‍රබලත්වය තහවුරු කරගෙන සිටිති. 

බොහෝ අප්‍රිකානු රටවල ප්‍රධාන කර්මාන්තකරුවන් සහ රැකියා සපයන්නන් බවට පත් ව ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති ව්‍යාපාරිකයෝය. විශේෂයෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙය බෙහෙවින් දැකිය හැකිය.

චීනය අප්‍රිකාවට පැමිණියේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති සහ මූල්‍ය බලය සමගින් නම්, ඉන්දියාව අප්‍රිකාව තුළ සිය බලය ගොඩනගා ගත්තේ වෙළෙඳාම, කර්මාන්තශාලා, ව්‍යවසායකත්වය සහ දිගුකාලීන ව්‍යාපාරික සබඳතා හරහාය. 

අද වන විට චීනයට අමතරව අප්‍රිකාව පුරා වඩාත්ම ස්ථාවර වී ඇති අනෙක් ආසියානු ආර්ථික බලවේගය වන්නේ ඉන්දියාවයි. 

කෙසේ වෙතත්, දැන් එහි සිටින්නේ චීනය සහ ඉන්දියාව පමණක් නො වේ. ගල්ෆ් කලාපීය රටවල්, තුර්කිය, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් බොහෝ රටවල් අප්‍රිකාව තුළ තම ස්ථානය වෙන් කර ගැනීමට දැන් දැඩි තරගයක නිරත වෙමින් සිටී. ඊට හේතුව ඉතා සරලය. මීළඟ දැවැන්ත වෙළෙඳපොළ බිහි වන්නේ කොතැන ද යන්න මුළු ලෝකයම මේ වන විට තේරුම් ගෙන අවසන්ය.

ශ්‍රී ලංකාව අප්‍රිකාව දෙසට හැරිය යුතුම කාලයයි 

සිදු වෙමින් පවතින මෙම දැවැන්ත පරිවර්තනය දෙස පැත්තකට වී බලා සිටීමට ශ්‍රී ලංකාවට තවදුරටත් නො හැකිය. සාම්ප්‍රදායිකව අපේ ව්‍යාපාරිකයන් ඉලක්ක කළේ ආසියාව, යුරෝපය, මැදපෙරදිග සහ උතුරු ඇමෙරිකාව වැනි වෙළෙඳපොළවල්ය. එම වෙළෙඳපොළවල් ඉදිරියටත් වැදගත් වනු ඇත. එහෙත්, මීළඟ පරම්පරාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අප්‍රිකාව කෙරෙහි ද සිය අවධානය යොමු කළ යුතුමය. 
වාසනාවකට මෙන් අප්‍රිකාව තුළ ශ්‍රී ලංකාවට සියල්ල මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය නොවේ. 

නිවැරදි දෘෂ්ටියක් ඇති අය ලෝක වෙළෙඳපොළ ගමන් කරන්නේ කුමන දිශාවකට ද යන්න මේ වන විටත් දැක හඳුනා ගෙන තිබේ. 

ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන ආයතනයක් වන්නේ LOLC සමූහ ව්‍යාපාරයයි. ඔවුහු අප්‍රිකාවේ ඇති වටිනාකම කල්තියාම හඳුනා ගත්හ. මේ වන විට ඔවුහු උතුරු, නැගෙනහිර, බටහිර, දකුණු සහ මධ්‍යම අප්‍රිකාව පුරාම සිය ව්‍යාපාර ජාලය ඉතා සාර්ථකව ව්‍යාප්ත කරගෙන සිටිති. 

යමෙකුගේ දුරදක්නා නුවණ ඔහුගේ ඇස් කණ්ණාඩියේ පැහැදිලිකමට සමාන කරන්නේ නම්, LOLC සමූහය ඉතාම පැහැදිලි දෘෂ්ටියක් සහිත කණ්ණාඩි යුවළක් පැලඳ සිටි බව පෙනේ. මන්දයත්, ඔවුන් වෙනත් බොහෝ දෙනකුට පෙර අප්‍රිකාවේ දීප්තිමත් අනාගතය දැකීමට සමත් වූ බැවිනි. 

ඔවුන්ගේ මෙම අත්දැකීම අපට පොතපතේ න්‍යායවලට වඩා වටිනා දෙයක් ඔප්පු කර පෙන්වයි. එනම්, ශ්‍රී ලාංකික සමාගම්වලට අප්‍රිකානු වෙළෙඳපොළට සාර්ථකව පිවිසීමටත්, ඒවා තේරුම් ගෙන ඒ සමගින් වර්ධනය වී සාර්ථක වීමටත් හැකියාව ඇති බවට එය කදිම සාක්ෂියකි. තවත් ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක්ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අප්‍රිකානු මහද්වීපයට පිවිස තිබේ. 

මාස් හෝල්ඩිංග්ස් (MAS Holdings) සමාගම අප්‍රිකාව තුළ ඇඟලු‍ම් නිෂ්පාදනය හා අපනයනය සඳහා ආයෝජනය කර ඇත. එමගින් රැකියා උත්පාදනය කරමින් අප්‍රිකාව තුළ ශ්‍රී ලංකාවේ නාමය බබළවයි. සිලෝන් බිස්කට් (Ceylon Biscuits Limited) සමාගම ශ්‍රී ලංකාවේ භාණ්ඩ අප්‍රිකානු වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එසේම වින්ඩ්ෆෝර්ස් (WindForce), විදුල්ලංකා, ඉකෝ පවර් (Eco Power) සහ වී.එස්. හයිඩ්‍රෝ (V S Hydro) වැනි පුනර්ජනනීය බලශක්ති සමාගම් දැවැන්ත බලශක්ති ඉල්ලු‍මක් ඇති අප්‍රිකාව තුළ ඇති අවස්ථා සාර්ථකව ග්‍රහණය කර ගනිමින් සිටී. 

EFL Global  ඇතුළු තවත් ශ්‍රී ලාංකික ව්‍යාපාර මුද්‍රණ කටයුතු, තේ වෙළෙඳාම, මෝටර් රථ වෙළෙඳාම, ප්‍රවාහන හා බෙදාහැරීම් (logistics) ඇතුළු සේවා ක්ෂේත්‍ර රැසකම සක්‍රියව නිරත වේ. මෑතකදී හේමාස් (Hemas Group) සමූහ ව්‍යාපාරය ද අප්‍රිකාවට පිවිසියේය. අප්‍රිකාවේ ශීඝ්‍රයෙන් පුළුල් වන පාරිභෝගික වෙළෙඳපොළෙන් ප්‍රයෝජන ගන්නා ප්‍රධානතම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ඔවුහු ද ඒ සමගින් එක් වූහ. 

මෙම ව්‍යාපාර සියල්ලම එක්වී අපට ලබා දෙන්නේ ඉතා ප්‍රබල පණිවිඩයකි. 

එනම්, අප්‍රිකාව යනු ශ්‍රී ලාංකික සමාගම්වලට තවදුරටත් අත්හදා බැලීමක් පමණක් නො වන බවයි. එය දැනටමත් සාර්ථකත්වය ඔප්පු කර ඇති වෙළෙඳපොළකි. මෙහි ඇති එකම ගැටලු‍ව වන්නේ, ලෝකයේ අනෙකුත් රටවල් පැමිණ මෙම වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට පෙර, ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාව හඳුනා ගනීවි ද යන්නයි.

AGOA හරහා විවර වන තවත් දොරටුවක් 

අප්‍රිකානු වර්ධන සහ අවස්ථා පනත (African Growth and Opportunity Act  හෙවත් AGOA) 2028 වසර දක්වා දීර්ඝ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය මෑතකදී පියවර ගත්තේය. එය හුදෙක් වෙළෙඳ ගිවිසුමක් ඉදිරියට ගෙන යාමක් පමණක් නොවේ. ඉන් පෙන්නුම් කරන්නේ ගෝලීය නිෂ්පාදන, ආයෝජන සහ සැපයුම් ජාලය තුළ අප්‍රිකාවේ වටිනාකම ලෝකය කෙතරම් දුරට විශ්වාස කරනවා ද යන්නයි.

වසර 2000 සිට ඇමෙරිකාව සහ අප්‍රිකාව අතර වෙළෙඳ සබඳතාවල මූලික පදනම වූයේ මෙම AGOA පනතයි. ඇමෙරිකානු වෙළෙඳපොළට විශේෂ වරප්‍රසාද සහිතව ඇතුළු වීමට ලැබීම තමන්ගේ රටවල ආයෝජන, කර්මාන්ත සහ රැකියා වර්ධනයට කෙතරම් වැදගත් ද යන්න අප්‍රිකානු නායකයෝ හොඳින් තේරුම් ගෙන සිටිති. ඔවුන්ගේ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මෙම ගිවිසුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට හේතු වී තිබේ. 

මේ වන විටත් සුදුසුකම් ලත් අප්‍රිකානු රටවල කර්මාන්තශාලා පිහිටුවා ඇති ශ්‍රී ලාංකික ඇඟලු‍ම් සමාගම්වලට මෙමගින් විශාල වාසියක් අත්වේ. ඔවුන්ට තීරුබදු (duty-free) නොමැතිව දැවැන්ත ඇමෙරිකානු වෙළෙඳපොළට ප්‍රවේශ වීමට ලැබීම ලෝක වෙළෙඳපොළේ ඔවුන්ගේ තරගකාරීත්වය ඉහළ නංවයි. 

තවමත් අප්‍රිකාවට යාම ගැන සිතා බලමින් සිටින ව්‍යාපාරිකයන්ට දිය හැකි පැහැදිලිම පණිවිඩය වන්නේ “දැන්ම ක්‍රියාත්මක වන්න”‍ යන්නයි. ලෝක මට්ටමේ ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ පළපුරුද්ද, තාක්ෂණය, උසස් ප්‍රමිති සහ ලෝකයේ ප්‍රධාන ගැනුම්කරුවන් සමග ඇති හොඳ සබඳතා ශ්‍රී ලංකාව සතුව තිබේ. අනෙක් අතට, අප්‍රිකාව විසින් ලාබදායී නිෂ්පාදන අවස්ථා, තරුණ ශ්‍රම බළකායක් සහ ප්‍රධාන වෙළෙඳපොළවල්වලට ඇතුළුවීමේ විශේෂ වරප්‍රසාද ලබා දෙයි. මේ දෙකෙහි එකතුව විශාල ජයග්‍රහණයකි. 

එබැවින්, අප්‍රිකාව තුළ නිෂ්පාදනය කර මුළු ලෝකයටම අපනයනය කළ හැකිය. 

අද දවසේ අප්‍රිකාව තුළ තම ව්‍යාපාර ආරම්භ කරන අය, හෙට දවසේ කලාපයේ ප්‍රධානතම නිෂ්පාදකයන් වනු නිසැකය. මුදල් බලය අතින් පමණක් ගත් විට චීනය, ඉන්දියාව හෝ දැවැන්ත බටහිර සමාගම් සමග තරග කිරීමට ශ්‍රී ලංකාවට නො හැකිය. එබැවින් අප එසේ කළ යුතු නැත. 

අපගේ නිෂ්පාදනවල උසස් ගුණාත්මය, වෙනස්වීම්වලට හැඩගැසීමේ හැකියාව, ව්‍යාපාරික බුද්ධිය, හොඳ සබඳතා පවත්වා ගැනීම සහ නැගී එන වෙළෙඳපොළවල් තුළ සාර්ථකව වැඩ කිරීමේ හැකියාව යන කරුණු ඔස්සේ ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට ලෝකය සමග තරග කළ හැකිය. 

ඇඟලු‍ම්, ආහාර සැකසීම, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහන හා බෙදාහැරීම් සේවා, මූල්‍ය සේවා, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, ඖෂධ, ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණය (ICT) සහ අනෙකුත් වෘත්තීය සේවා වැනි අප්‍රිකාවට මේ මොහොතේ අවශ්‍ය කරන බොහෝ අංශවල නිපුණතා අප සතුව ඇත. 

දශක හතරකට වැඩි කාලයක් අප්‍රිකාවේ ජීවත් වූ කෙනකු ලෙස මගේ පෞද්ගලික අත්දැකීමෙන් මා උගත් එක් ප්‍රධාන පාඩමක් තිබේ. එනම්, අප්‍රිකාව යනු එකම එක වෙළෙඳපොළක් නො වන බවයි. එය එකිනෙකට වෙනස් දේශපාලන ක්‍රම, නීතිරීති, සංස්කෘති, පාරිභෝගිකයන් සහ විවිධ අවස්ථා සහිත වෙනම රටවල් 54 කින් සමන්විත මහද්වීපයකි. එහිදී ඔබේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ තෝරා නිවැරදි රට, නිවැරදි ව්‍යාපාරික අංශය සහ වඩාත්ම වැදගත් ලෙස නිවැරදි දේශීය හවුල්කරුවන් (local partners) තෝරා ගැනීම මතය. 

අප්‍රිකාව යනු ඉවසීම, හොඳ සබඳතා සහ කැපවීම වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ ලබා දෙන තැනකි. එක රැයකින් ලාබ ඉපයීමට බලාපොරොත්තු වන අයට එහිදී කලකිරීමට පත් වීමට සිදු වනු ඇත. එහෙත්, දිගුකාලීන දැක්මක් සහිතව ව්‍යාපාරයක් ගොඩනැගීමට සූදානම් අයට වෙනත් දියුණු වෙළෙඳපොළවල් තුළ කිසිදා සොයා ගත නො හැකි තරමේ අනගි අවස්ථා අප්‍රිකාවෙන් සොයා ගත හැකි වනු ඇත.

අප්‍රිකාවේ සැබෑ රත්‍රන් නම් එරට ජනතාවයි 

අප්‍රිකාවේ වටිනාම සම්පත ඇත්තේ එහි මහපොළොව යට නොව, මහපොළොව මතුපිට ජීවත් වන ජනතාව තුළයි. අප්‍රිකාවේ නගර දියුණු වී මිනිසුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යන විට නිවාස, ආහාර, විදුලිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය, බැංකු සේවා, විදුලි සංදේශ, මෝටර් රථ, තාක්ෂණය, සංචාරක සේවා, විනෝදාස්වාදය මෙන්ම එදිනෙදා පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලු‍ම ද ඉතා වේගයෙන් වර්ධනය වනු ඇත. 

ඊට අමතරව, අප්‍රිකානු මහද්වීපික නිදහස් වෙළෙඳ කලාපය (African Continental Free Trade Area) හරහා වෙන් වෙන්ව පවතින අප්‍රිකානු රටවල ආර්ථික එකට සම්බන්ධ කර මුළු මහාද්වීපයම ආවරණය වන තනි දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටී. 

මෙය ව්‍යාපාරිකයන්ට තවත් සුවිශේෂී අවස්ථාවකි. එබැවින්, අද එක් අප්‍රිකානු රටක් තුළ සාර්ථකව ව්‍යාපාරයක් ආරම්භ කරන සමාගමකට අනාගතයේදී එම රටේ සීමාවලින් ඔබ්බට ගොස් මුළු අප්‍රිකානු කලාපයටම තම සේවා සැපයීමේ අවස්ථාව හිමි වනු ඇත. “අපට අප්‍රිකාවෙන් ලබා ගත හැක්කේ මොනවා ද?”‍ යන පැරණි ප්‍රශ්නය අදට නො ගැළපෙන්නේ මේ නිසාය. අද ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය වන්නේ, “අප්‍රිකාව තුළ අපට එක්ව ගොඩනැගිය හැක්කේ කුමක් ද?”‍ යන්නයි. 

විදේශිකයන් විසින් අප්‍රිකාවේ සම්පත් සූරා කෑමට ලක් කළ යුගය දැන් අවසන් වී ඇත. අප්‍රිකාවේ මීළඟ යුගය වෙන් වන්නේ අප්‍රිකානු කර්මාන්තශාලා, අප්‍රිකානු සැපයුම් ජාල, අප්‍රිකානු තාක්ෂණික සමාගම්, අප්‍රිකානු බැංකු, අප්‍රිකානු ප්‍රවාහන හා බෙදාහැරීමේ ජාල සහ අප්‍රිකානු ව්‍යවසායකයන් වෙනුවෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ අප්‍රිකාව ලෝකයේ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීය. එහෙත් අද ඔවුහු තමන්ගේම කර්මාන්ත ගොඩනගමින් සිටිති. 

එබැවින් මගේ ආදරණීය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් වෙත මා දෙන පණිවිඩය ඉතා සරලය. මුළු ලෝකයම අප්‍රිකාවේ වටිනාකම සොයා ගන්නා තුරු බලා නො සිටින්න. 

වෙළෙඳපොළවල් තවමත් ගොඩනැගෙමින් පවතින මේ මොහොතේම එහි යන්න. ව්‍යාපාරික සබඳතා තවමත් නිර්මාණය වෙමින් පවතින මේ මොහොතේම යන්න. කර්මාන්ත තවමත් හැඩගැසෙමින් පවතින මේ අවස්ථාවේම ඊට එක් වන්න. ලෝකයේ අනාගත වෙළෙඳපොළ වන්නේ අප්‍රිකාවයි. එම අනාගතය මේ වන විටත් ආරම්භ වී අවසන්ය.