• අබුඩාබි හි ප්‍රථම ඩිජිටල් හුවමාරු ජාලය ‘Tabadul Hub’  හා සම්බන්ධ වීමටත් අවස්ථාව

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව (ADX) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ. 

දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය, වෙළෙඳ තාක්ෂණයන් සහ වෙළෙඳ - පසු ක්‍රියාකාරකම් සඳහා වන යටිතල පහසුකම් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශයක් සඳහා වන අවස්ථා ගවේෂණය මෙම ගිවිසුමේ අරමුණයි.

වසර මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති CSE හි ‘Invest Sri Lanka’ ආයෝජක හමුව අතරතුර, අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ මහත්මියගේ මැදිහත්වීමෙන් CSE සහ ADX අතර මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.
මැද පෙරදිග සහ ගෝලීය වශයෙන් ඊට සම්බන්ධ වන කොටස් හුවමාරු ආයතන අතර අන්‍යෝන්‍ය වෙළෙඳපොළ ප්‍රවේශය සහ වෙළෙඳ සම්බන්ධතාව පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති අබුඩාබි හි ප්‍රථම ඩිජිටල් හුවමාරු ජාලය වන ‘Tabadul Hub’ හා සම්බන්ධ වීම පිළිබඳව ගවේෂණය කිරීමට ද මෙම අවබෝධතා ගිවිසුම මගින් CSE හට අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් වෙයි.