• 2026 මෙරට අයවැයෙන් රාජ්‍ය ආදායමෙන් සියයට 49.38 ක් ණය පොලී ගෙවීමට වෙන්කරලා
  • ණය වාරිකයද ආපසු ගෙවන විට රාජ්‍ය ආදායමෙන් සියයට 82.59 ක් ණය ආපසු ගෙවීමට වෙන් කරනවා
  • සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් වන්නේ සියයට 1.9ක්, 2ක් සහ 2.4ක් පමණයි
  • ඉකුත් මැයි මාසය වනවිට මෙරට ජනතාවගෙන් සියයට 22.1ක් දුප්පත්
  • ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අවදානම් මට්ටමක

විමුක්ති එස් රුද්‍රිගු


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 
වෝකර් ටර්ක්

මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දුෂණ, වංචාද ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්වල බලපෑම් එල්ල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරය අද (07) ආරම්භ වීමට නියමිත අතර එම සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව සභාගත කිරීමට නියමිතය.

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට අනුව 2026 මෙරට අයවැයෙන් රාජ්‍ය ආදායමෙන් සියයට 49.38 ක් මෙරට ලබාගෙන ඇති ණය සඳහා පොලී ගෙවීමට වෙන්කර ඇති බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6කට සමාන ප්‍රමාණයක් බවත් එම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ණය වාරිකයද ආපසු ගෙවන විට රාජ්‍ය ආදායමෙන් සියයට 82.59 ක් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන්කරන බවත් එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.7 කට සමාන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් රාජ්‍ය ආදායමෙන් එලෙස විශාල කොටසක් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන්කරන විට සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ප්‍රජාව සඳහා අවශ්‍ය සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් වන්නේ සියයට 1.9ක්, 2ක් සහ 2.4ක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ. මෙම වසරේ මැයි මාසය වනවිට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙරට ජනතාවගෙන් සියයට 22.1 දුප්පත්කමින් පෙළෙන බවත් විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දුප්පත්කම සහ ආර්ථික අවදානම ඉහළ මට්ටමක පවතින බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය වසර අවසානයේ මෙරට ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 භෞතික හානියක් සහ තවත් ඩොලර් බිලියන 1.3 ක ආර්ථික පාඩුවක් සිදුව තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානියෙන් නැවත ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 ක මුදලක් අවශ්‍ය වන බවද එම වාර්තාවේ දැක්වේ.

දිට්වා සුළි කුණාටුවත් සමග පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර අනාරක්ෂිතතාව සියයට 32 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් එය පෙබරවාරි මාසය වන විට සියයට 21 දක්වා අඩුවී තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, බලශක්ති මිල ඉහළ යාම සහ පොහොර හිඟය හේතුවෙන් ආහාර නිෂ්පාදනයට ඇති අවදානම් ඇතුළු කරුණු හේතුවෙන් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අවදානම් මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ. එසේම ඇමෙරිකානු - ඉරාන යුද්ධය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන තත්වයට තවදුරටත් බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හමුවේ බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට අමතර පීඩනයක් එල්ල කළ හැකි බව එහි සඳහන් වේ.

පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ නීති ප්‍රතිසංස්කරණ, ආයතනික ශක්තිමත් කිරීම සහ විමර්ශන හා නඩු පැවරීම් හරහා ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ නමුත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තවමත් ප්‍රායෝගික අභියෝග පවතින බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වර්තමානය වනවිට විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වී තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. එමෙන්ම ගල්අඟු‍රු මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගද ඉදිරියට ගෙන යමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ඇතැම් නඩු සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු සියදිවි නසාගැනීම් ලෙස වාර්තා වූ මරණවලට ලක්වීම හේතුවෙන් වගකීම තහවුරු කිරීම සහ වගවීම සහතික කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.