මෙරට වේගයෙන්ම විකාශනය වන තාක්ෂණික පද්ධතිය සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාව වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, නියාමකයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් එක් කරමින් මෙරට ඩිජිටල් සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂා සපුරාලීමට සහ බැංකු මෙහෙයුම් සරල කිරීමට ඩිජිටල් තාක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති වර්තමානයක, මෙම තාක්ෂණික පද්ධතිය සමග සක්‍රීයව සම්බන්ධ වීමට DFCC බැංකුව ගත් මෙම තීරණය ඉතා වැදගත් පියවරකි.
DFCC බැංකුව සඳහා ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් එක් ව්‍යාපෘතියක් පමණක් නොව, එය බැංකුවේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය තුළටම මුහු කළ අංගයකි. සේවා ලබාගැනීමේ සිට ගනුදෙනු සැකසීම සහ තීරණ ගැනීම දක්වා වූ සියලු අංශ මෙමගින් ආවරණය වේ. බැංකුවේ මූලික ඉලක්කය වන්නේ සේවා සැපයීමේදී ඇති වන බාධා අවම කරමින්, වඩාත් කාර්යක්ෂම සහ ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකු අත්දැකීමක් ලබා දීමයි.
FITIS සමග එක්වීමෙන් නැගී එන තාක්ෂණය, ක්ෂේත්‍රයේ නවතම තොරතුරු සහ සහයෝගීතා වේදිකා වෙත පිවිසීමට DFCC බැංකුවට අවස්ථාව ලැබේ. එමගින් සේවා සැපයීමට ගතවන කාලය අවම කිරීමටත්, වඩාත් සරල මෙන්ම ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හැසිරවිය හැකි සේවා සැපයීමටත් බැංකුව අපේක්ෂා කරයි.
ඩිජිටල් සේවා ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනය දිරිමත් කිරීම සහ ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා FITIS ආයතනයේ 'ඩිජිටල් පරිච්ඡේදය' ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරයි. DFCC බැංකුවේ මෙම සහභාගීත්වය හරහා බැංකු සේවක මණ්ඩලයේ ඩිජිටල් කුසලතා ඔපමට්ටම් කිරීමටත්, අනාගත තාක්ෂණික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි දක්ෂතා සපිරි පද්ධතියක් ගොඩනැගීමටත් හැකි වනු ඇත.
තාක්ෂණික දියුණුව හුදෙක් මෙවලම්වලට පමණක් සීමා නොවී, එය ආයතනික සංස්කෘතිය සහ ක්‍රියාවලීන් සමග මනාව ඒකාබද්ධ කිරීම සාර්ථකත්වයේ රහසයි. FITIS වැනි ප්‍රමුඛ ආයතන සමග අත්වැල් බැඳගනිමින්, නවීන ගනුදෙනුකාර අවශ්‍යතාවලට ගැළපෙන, වඩාත් සරල සහ ප්‍රතිචාරාත්මක බැංකු සේවාවක් ලබා දීමට DFCC බැංකුව නිරන්තරයෙන් කැපවී සිටියි.