ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය දශකය තුළ මුහුණ දී ඇති වඩාත්ම සංවේදී හා නිතර විවාදයට ලක්වන ප්‍රශ්නයක් වන්නේ විනිමය අනුපාතිකය, විශේෂයෙන්ම රුපියල අවප්‍රමාණය වීම රටට වාසිදායකද නැද්ද යන්නයි. මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ මස 9 වැනිදා දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල සියයට 8.3කින් පමණ පිරිහී ඇති (අවප්‍රමාණය) බව ප්‍රකාශිත දත්ත අනුව පෙනීයයි. ඒ අනුව, පසුගිය සඳුදා වන විට ඩොලරයක ගැනුම් මිල රු.331 ක් ලෙසත් එහි විකිණුම් මිල 341 ක් ලෙසත් සටහන්ව පැවතිණි. 2025 වසර තුළ දී රුපියල සියයට 3.8 කින් පමණ අවප්‍රමාණය විය. ඒ අනුව, ආසන්න වශයෙන් 2026 වසරේ මුල් මාස හය තුළ රුපියලේ පිරිහීම නැතහොත් අවප්‍රමාණය සැලකිය යුතු ඉහළ මට්ටක පවතින බව පෙනී යයි.
2022 ආර්ථික අර්බුදයෙන් පසු රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීමත් සමග මෙම විවාදය තවත් උණුසුම් විය. ඇතැම් පාර්ශ්ව මෙය අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීමක් ලෙස දකින අතර, තවත් පාර්ශ්ව එය උද්ධමනය, ජීවන වියදම ඉහළ යාම සහ ණය බර වැඩිවීමේ ප්‍රධාන හේතුවක් ලෙස සලකයි. ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයෙන් බැලූ විට සත්‍යය මේ දෙක අතර මධ්‍යස්ථ ස්ථානයක පවතී. විනිමය අනුපාතිකය යනු කෘත්‍රිමව නිතරම පාලනය කළ යුතු දෙයක් නොව, ආර්ථිකය තුළ ඇති ඩොලර් ඉල්ලු‍ම හා සැපයුම අතර සම්බන්ධතාවට ප්‍රතිචාර දක්වන ස්වාභාවික යාන්ත්‍රණයකි. එය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ආර්ථිකයට කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කළ හැකිය. වැරදි ලෙස පාලනය කළහොත් අර්බුද තවත් තීව්‍ර කළ හැකිය. 
ශ්‍රී ලංකාව වැනි කුඩා හා විවෘත ආර්ථිකයකදී ඩොලර් සඳහා ඉල්ලු‍ම සහ සැපයුම අතර අසමතුලිතතාව නිතරම පවතී. ආනයන සඳහා ගෙවීම්, විදේශ ණය සේවාකරණය, ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය, සහ විදේශ සංචාර වැනි හේතු මත ඩොලර් ඉල්ලු‍ම ස්ථිරවම ඉහළය. අනෙක් අතට අපනයන ආදායම්, සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ සහ සේවා අපනයන මගින් ලැබෙන ඩොලර් ප්‍රමාණය සීමිතය. මෙම අසමතුලිතතාව පුළුල් වූ විට, රුපියල අවප්‍රමාණය වීම ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස සිදුවේ.


2022 දී මුහුණ පෑ තත්වය
2022 වසරේදී ශ්‍රී ලංකාව අත්දුටු තත්වය මෙයට උදාහරණයකි. විදේශ සංචිත වේගයෙන් අඩුවීම, ආනයන සීමා, සහ විදේශ ණය ගෙවීම් අසීරු වීම හමුවේ රුපියල කෘත්‍රිමව රඳවා තබා ගැනීම අවසානයේ අසාර්ථක විය. ඒ අනුව විනිමය අනුපාතිකය වේගයෙන් නිදහස් වීම සිදු වූ අතර, එය ආර්ථිකයේ සැබෑ තත්වය පිළිබිඹු කළ මොහොතක් ලෙස සැලකිය හැකිය. මෙම පසුබිම තුළ විනිමය අනුපාතිකය ‘Shock Absorber’ එකක් ලෙස ක්‍රියා කරන ආකාරය වැදගත් වේ. ඩොලර් හිඟයක් ඇති විට රුපියල අවප්‍රමාණය වීමෙන් ආනයන මිල ඉහළ යයි. එමගින් ආනයන ඉල්ලු‍ම ස්වාභාවිකව අඩුවේ. ඒ සමගම අපනයන නිෂ්පාදන විදේශ වෙළෙඳපොළේ තරගකාරී වීම වැඩිවේ. මෙය විදේශ ගිණුමේ අසමතුලිතතාව ක්‍රමයෙන් සකස් කිරීමට උපකාරී වේ. එම නිසා බොහෝ ආර්ථික විද්‍යාඥයෝ විනිමය අනුපාතිකය පළමු ආරක්ෂක පේළිය (First Line of Defense) ලෙස හඳුන්වති.


අවප්‍රමාණය අපට වාසීදායක ද?
කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීමෙන් අපනයන ස්වයංක්‍රීයව වැඩිවේ යැයි සරලව නිගමනය කළ නොහැක. මෙහිදී ආර්ථික විද්‍යාවේ වැදගත් සංකල්පයක් වන Marshall–Lerner  නියමය අතිශය වැදගත් වේ. මෙම නියමයට අනුව රටක අපනයන සහ ආනයන සඳහා ඇති මිල ප්‍රතිචාරකතාව එකතුව ප්‍රමාණවත් තරම් ඉහළ නම් පමණක්, මුදල් අවප්‍රමාණයවීම වෙළෙඳ ශේෂය වැඩිදියුණු කරයි. එනම්, රුපියල අවප්‍රමාණය වීමෙන් අපනයන ඉහළ යාමත්, ආනයන අඩුවීමත් සිදුවන්නේ පාරිභෝගික හා නිෂ්පාදක ප්‍රතිචාර ශක්තිමත් නම් පමණි. 
මෙම නියමයට අනුව, අපනයන සහ ආනයන සදහා වන මිල ඉල්ලු‍ම් නම්‍යතාවේ එකතුව (නිරපේක්ෂව ගත් කල) එකට වඩා වැඩි වන තත්වයක දී මුදල් ඒකකයක අවප්‍රමාණය වඩාත් වාසි සහගත වේ.  Marshall–Lerner නියමයට අදාළව ලංකාව සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ Marshall–Lerner නියමයට අදාළ අපනයන සහ ආනයන මිල ඉල්ලු‍ම් නම්‍යතාව එකට වඩා අඩු අගයක් ගන්නා බවයි. ඒ අනුව, රුපියල අවප්‍රමාණයෙන් අපනයන වඩා වැඩි වේගයකින් වැඩි වී ආනයන ඊට වඩා වැඩි වේගයකින් පහත වැටීමක් සිදු නොවේ. අප ආනයන කරනු ලබන භාණ්ඩ සහ සේවා දෙස අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ ඒවා බොහොමයක් දෑ එක්කෝ පාරිභෝජනය සඳහා (ඛනිජ තෙල්, ඖෂධ, සහ අනෙකුත් දෑ) අත්‍යවශ්‍ය වන දෑ මෙන්ම නිෂ්පාදන කටයුතු සදහා භාවිත කරුණු ලබන බොහෝ අමුදව්‍ය ද අත්‍යවශ්‍ය වන දෑ බවයි. 
ඒ හේතුවෙන් විනිමය අනුපාතිකය අවප්‍රමාණය වුවද එවැනි දෑ සඳහා වූ ආනයන සැලකිය යුතු ලෙස පහත වැටීමක් සිදු නොවේ. අනෙක් අතට මෙරටින් කරනු ලබන බොහොමයක් අපනයන ශ්‍රම සූක්ෂම ඒවා වන අතර එම භාණ්ඩ සහ සේවා සඳහා වූ ඉල්ලු‍ම සැලකිය යුතු ලෙස කෙටිකාලීනව ඉහළ යාමක් සිදු නොවේ. ඉහළ ගුනණාත්මක බවකින් යුතු කාර්මික භාණ්ඩ අපනයනය කරනු ලබන්නේ නම් සහ අපනයන පැස සැලකිය යුතු ලෙස විවිධාංගීකරණය වී ඇත් නම් තත්වය තරමක් දුරට වෙනස් ස්වරූපයක් ගනු ලබයි. 
මෙහි ප්‍රධාන ගැටලු‍ව වන්නේ මෙම භාණ්ඩ අපනයන බොහොමයක් ඉහළ ආනයන අන්තර්ගතයක් සහිත වීමයි. ඇඟලු‍ම් කර්මාන්තය සඳහා රෙදිපිළි ආනයනය කළ යුතු අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහොමයක් යන්ත්‍රෝපකරණ, ඉන්ධන සහ තාක්ෂණික උපකරණ ආනයනය මත රඳා පවතී. එබැවින් රුපියල අවප්‍රමාණය වීමෙන් අපනයන ආදායම ඉහළ ගියද, ඒ සමගම ආනයන වියදමද ඉහළ යාම නිසා ශුද්ධ වාසිය සීමා වේ. එහෙත් සේවා අපනයන ක්ෂේත්‍රයේ තත්වය වෙනස්ය. ICT සහ BPM සේවා, මෘදුකාංග සංවර්ධනය, ප්‍රවාහන සහ ලොජිස්ටික් සේවා වැනි ක්ෂේත්‍රවල ආනයන අන්තර්ගතය සාපේක්ෂව අඩුය. එම නිසා රුපියල අවප්‍රමාණය වීම මෙම ක්ෂේත්‍රවල තරගකාරීත්වය වැඩි කිරීමට සහ විදේශ ආදායම ඉහළ නැංවීමට වැඩි බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය වැඩි වශයෙන් මෙම සේවා අපනයන මත රඳා පවතින බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.


උද්ධමනයට මගපෑදීම
කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය වීම සම්පූර්ණයෙන්ම ධනාත්මක දෙයක් නොවේ. එහි සෘණාත්මක පැත්තද ඉතා වැදගත්ය. ආනයන මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ඉහළ යයි. ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීම සෘජුවම ජනතාවගේ ජීවන වියදමට බලපායි. එමෙන්ම විදේශ ණය ඩොලර්වලින් ඇති නිසා රුපියල අවප්‍රමාණය වීම රජයේ ණය බර තවත් වැඩි කරයි. ආයෝජකයන් සඳහා විනිමය අවිනිශ්චිතතාව වැඩි වීම ද ආර්ථිකයේ දිගුකාලීන වර්ධනයට අහිතකර විය හැකිය. ඒ නිසා ප්‍රශ්නය වන්නේ රුපියල අවප්‍රමාණය වීම හොඳද නරකද යන්න නොව, එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්නයි. 
ඩොලර් ඉල්ලු‍ම සැපයුම ඉක්මවා යන විට විනිමය අනුපාතිකයට ගැළපීමට ඉඩ දීම, ආර්ථිකයට ස්වයංක්‍රීයව සකස් වීමට අවස්ථාවක් ලබා දීමක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ සමගම දිගුකාලීනව රටේ විදේශ විනිමය උපයන හැකියාව වර්ධනය කළ යුතුය. අනාගතයේදී රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමෙන් වැළකීමට නම් ප්‍රධාන වශයෙන් අපනයන පදනම පුළුල් කළ යුතුය. විශේෂයෙන්ම ඉහළ අගය එකතු කළ භාණ්ඩ සහ සේවා අපනයන දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ICT, මූල්‍ය සේවා සහ වෘත්තීය සේවා වැනි ක්ෂේත්‍රවල වර්ධනය මෙම අර්බුදය අඩු කිරීමට උපකාරී වේ. විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම, සංචාරක කර්මාන්තය ඉහළ ගුණාත්මක මට්ටමකට ගෙන ඒම සහ ආනයන මත යැපීම අඩු කිරීම ද වැදගත් වේ. අවසාන වශයෙන්, රුපියල අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවට එකවර හොඳ හෝ නරක යැයි සරලව නිගමනය කළ නොහැක. එය ආර්ථිකයේ අසමතුලිතතා පිළිබිඹු කරන සංකේතයකි. 
නිසි ආර්ථික ව්‍යුහයක් සහ අපනයන ධාරිතාවක් තිබේ නම් එය තාවකාලික කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කර රටට වාසියක් ලබා දිය හැකිය. එහෙත් නිෂ්පාදන පදනම දුර්වල නම් එය උද්ධමන හා ණය අර්බුද තවදුරටත් තීව්‍ර කරනු ඇත. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විනිමය අනුපාතිකය පාලනය කිරීම නොව, ඩොලර් උපයන ආර්ථිකයක් ගොඩනැගීමයි. එවිට රුපියල ස්වාභාවිකවම ස්ථාවර වන අතර, විනිමය අර්බුද නැවත නැවතත් රටේ ආර්ථික සංවර්ධනය අඩාළ නොකරනු ඇත.


අපනයන ප්‍රවර්ධනයට ඇති අවධානය ප්‍රමාණවත් ද?
අපනයන ප්‍රවර්ධනයට 2000 වසරින් පසු කාලයේ දී අප ලබා දී ඇති අවධානය කොහෙත්ම ප්‍රමාණවත් නොමැති බව කිව යුතුව ඇත. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වාදීමේ ප්‍රධානතම සංවර්ධන පාඨය වූයේ අපනයනාභිමුඛ තරගකාරී අර්ථිකයක් ගොඩනැංවීම වූ අතර ප්‍රතිපත්ති සම්පාදකයන් දැඩිව විශ්වාසය තබන ලද්දක් වුයේ අපනයනය ආර්ථික වර්ධනය තිරසරව ඉහළනැංවීම (Export-led Growth Hypothesis) සඳහා උපකාරී වන බවයි. මෙම විශ්වාසය මත පදනම්ව, දකුණේ සහ උතුරේ අස්ථාවරත්වය හමුවේ වුවද දේශීය සහ විදේශීය ආයෝජන සඳහා විවිධ පහසුකම් සැපයීමෙන් අපනයනය පදනම් කරගත් නිෂ්පාදන දිරි ගන්වන ලදී.  
1990 මුල් කාලයේ දී මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ආයෝජන සහ අපනයන දිරිමත් කිරීම සඳහා ප්‍රබලව යොදාගත් අතර ජනාධිපතිවරයා ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනයේ මූලිකයා ලෙස කටයුතු කරන ලදී. ඒ අනුව, බොහොමයක් රාජ්‍ය ආයෝජන සහ ප්‍රතිපත්ති අපනයන අංශය දිරිමත් කිරීමට යොමු කරන ලදී. එහෙත් 2000 වසරින් පසු කාලපරිච්ඡේදයේදී එම අවධානය වෙනතකට යොමු වූ අතර වෙළෙඳ අංශය  (Tradable Sector) වෙනුවට වෙළෙඳ නොවන අංශය (Non-Tradable Sector) පුළුල් කිරීමට රාජ්‍ය ආයෝජන සහ ප්‍රතිපත්ති යොමු වීමක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම, විදේශ ණය භාවිත කර කරනු ලැබූ බොහොමයක් ආයෝජන වැඩසටන් විදේශ විනිමය ඉපැයීම්වලට කිසිසේත් දායක නොවන ඒවා වීමද විශේෂත්වයකි. 
ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉතා තරගකාරී ලෙස ද්වි-පාර්ෂවික සහ බහු පාර්ෂවික වෙළෙඳ ගිවිසුම් යටතේ වෙළෙඳාම සහ ආයෝජන ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් සිටී. විශේෂයෙන්ම, ඇමරිකා එක්සත් ජනපදයේ නව තිරූබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්වීමත් සමග ඉහත ක්‍රියාමාර්ග තවදුරටත් වේගවත් වීමක් දක්නට ලැබිණ. අසල්වැසි ඉන්දියාව මේ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම් (Free Trade Agreements) නවයක් අත්සන් කර ඇති අතර එමගින් රටවල් 38ක වෙළෙඳපොළ වලට තිරුබදු රහිතව හෝ පහළ තීරු බදු යටතේ පිවිසීමට ඉන්දියානු අපනයනයකරුවන්ට හැකියාව ලැබී ඇත. ඊට අමතරව වරණීය වෙළෙඳ ගිවිසුම් කීපයකට ද ඉන්දියාව ඇතුළත්ව ඇත. ඉන්දියාව මෑතක දී යුරෝපීයානු සංගමය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඹ්ස්ට්‍රලෙියාව, සහ ඹ්මානය සමග වෙළෙඳ ගිවිසුම්වලට පිවිසි අතර ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය සමග නව වෙළෙඳ ගිවිසුමකට එලැබීම සඳහා වූ සාකච්ඡා අවසන් අදියරයේ පවතී.
ඉන්දියාව විසින් අත්සන් කරන ලද බොහොමයක් නිදහස් වෙළෙඳ ගිවිසුම් මෑත කාලීනව අත්සන් කර තිබීම ද සුවිශේෂී වේ. ඉන්දියාව පමණක් නොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ආයෝජන සහ වෙළෙඳාම ප්‍රවර්ධනයට වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීම පසුගිය වසර කීපය තුළ වේගවත් කරන ලදී. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ලෝක වෙළෙඳ සංගමය (WTO)  යටතේ වෙළෙඳාම ලිහිල්කරණයක් ඉදිරියේ දී අපේක්ෂා කළ නොහැකි වීම සහ වෙළෙඳාම සඳහා වූ ලිහිල්කරණ අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගැනීමට රටවල් වැඩි කැමැත්තක් දැක්වීම වේ. එනම් ගෝලීය ආයෝජන සහ වෙළෙඳ පරිසරය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින වතාවරණයක් පසුගිය වසර කීපය තුළ දක්නට පුළුවන. 1990 දශකයෙන් පසුව පැවති නිදහස් ආයෝජන සහ වෙළෙඳ පරිසරයක් වෙනුවට කලාපීය වශයෙන් සහ අනෙකුත් කාණ්ඩගත වීම තුළ සිදුවන වෙළෙඳාමක් ලෙස ගෝලීය වෙළෙඳාම පරිවර්තනය වෙමින් පවතින බව පැහැදිලිව දැකගත හැකිය.
ආයෝජන සහ වෙළෙඳාමට අදාළ පරිසරය වේගයෙන් වෙනස් වන පරිසරයක් තුළ ඊට ප්‍රතිචාරිකව අප කුමක් කර ඇත්දැයි විමසිය යුතුය. විදේශ ආයෝජනවලට සහ වෙළෙඳාමට විරුද්ධවීමේ මෙරට දේශපාලන සංස්කෘතියෙන් අපට අත්කර දී ඇත්තේ විශාල විපතක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඉන්දියාව සමග වට ගණනාවක් පැවති CEPA ​සහ ETCA  ගිවිසුම් අතහැර දැමීමට සිදුව ඇත්තේ මේ නිසාවෙනි. කිසිදු විකල්ප ප්‍රයෝගික විසඳුම් නොමැතිව දේශපාලනික බලය ලබාගැනීමේ වුවමනාවෙන් විරුද්ධවීම මත ජාතියකට අත්කර දී ඇත්තේ මහා විපතකි. සිංග්ගපූරුව සහ තායිලන්තය සමග ඇතිකර ගත් ගිවිසුම්වලටද අද අත්ව ඇත්තේ අවාසනාවත්ත තත්වයකි. ගෙවුම් ශේෂ අර්බුදයත් සමග යළිත් වරක් Regional Comprehensive Economic Partnership (RCEP) ගිවිසුමට ඇතුල්වීමට අපේක්ෂා කරනු ලබන බව මෑතක දී මාධ්‍ය වාර්තා කළේය. මෙම ගිවිසුමට ඇතුල්වීමේ මූලික සාකච්ඡා 2023 සිදු වූ අතර පසුගිය වසර දෙක තුළ සාකච්ඡා ඉදිරියට යන බවක් පෙනෙන්නට නොවිණි. අප බොහෝ දේ කරන්නේ වඳුරන් කූඩු තනන්නා ආකාරයට බව ඉතා පැහැදිලිය. 
2024 ජුලි මස 25 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ විදේශ වෙළෙඳාම සඳහා වූ කාර්යංශයක් (Office of International Trade)  පිහිටුවීමට යෝජනා කළ අතර එම ආයතනය තවමත් පිහිටුවා ඇත්දැයි නොදනී. එසේම, එම ආයතනයේ මූලික කාර්යභාරය වුයේ විදේශ වෙළෙඳ ගිවිසුම් ඇති කිරිමේ හැකියාව සොයා බැලීම සඳහා වෙළෙඳාම ලිහිල්කරණයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම විය. විදේශ වෙළෙඳාමට අදාළ අවස්ථා තරගකාරීව ලබා ගැනීමට අත්‍යඅවශ්‍ය කරුණක් වන්නේ ඒ සඳහා දැනුම ඇති විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමය. මෙම කටයුතු සඳහා දැනට ක්‍රියාත්මක ආයතනවල එකී දැනුම කොතෙක් දුරට පවතී ද යන්න ගැටලු‍ සහගතය. 
එමෙන්ම, ආර්ථික පරිවර්තන පනතෙන් තවත් ආයතන ගණනාවක් පිහිටුවීමට යෝජනා විය. දැනට පවත්නා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවට නව ආර්ථික කොමිසමක් පිහිටුවීමට යෝජනා වූ අතර එම ආයතනය විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම සඳහා වූ තනි ආයතනයක් විය. එසේම, Zone Sri Lanka නමින් ආයතයක් පිහිටුවීමට යෝජනා කළ අතර එමගින් නිදහස් වෙළෙඳ කලාප සහ කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය යටතේ වූ කර්මාන්ත පුර කළමනාකරණය කිරීමට අපේක්ෂා කරන ලදී. වියට්නාමය, කොස්ටරිකා, සිංග්ගපූරුව වැනි රටවල අත්දැකීම් අනුව පෙනීයන කරුණක් වන්නේ ඉතා හොඳින් කළමනාකරණය කරණු ලබන කර්මාන්ත කලාප විදේශ ආයෝජන අද්දවා ගැනීමට උපකාරී වන බවයි. මෙකී ආයතන ව්‍යුහ පිහිටුවීම ප්‍රමාදවීම යහපත් නොවන අතර විදේශ ආයෝජන සහ වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක ආයතන අඩුපාඩුකම් රැසකින් යුක්තය. තිරසර ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය වන්නා වූ ආයෝජන ආකර්ෂණය කිරිම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා එකී ආයතනවලින් කිසිදු සේවාවක් වර්තමානය වනවිට සිදු නොවන තරම්ය.
රුපියල අවප්‍රමණය වීමට අදාළ ගැටලු‍ව විසඳා ගැනීමට ඇති එකම මඟ වන්නේ විදේශ විනිමය ඉපැයීමේ මාර්ග ශක්තිමත් කිරීමය. ඒ සඳහා අපනයන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය අංගයකි. අපනයන ප්‍රවර්ධනය සාර්ථකව කළ රටවල්වල අත්දැකීම්වලින් පෙනීයන මූලික කරුණක් වන්නේ ඉහළ අපනයන වර්ධනයක් ඇකි කිරීමට විදේශ ආයෝජනවල වැදගත්කම යි. විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා එම කේෂ්ත්‍රයේ දැනට ක්‍රියාත්මක ආයතන ව්‍යුහය දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කළ යුතු අතර ඊට අමතරව ව්‍යාපාරික පරිසරය යහපත් කිරීමට රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය සේවාව, ශ්‍රම වෙළෙඳපොළ, ඉඩම් වෙළෙඳපොළ ආදියේ ව්‍යුහත්මක ප්‍රතිසංස්කරණ ඉක්මනින් සිදුවිය යුතුව ඇත. හුදෙක් සංචාරක කර්මාන්තයේ ඉපැයීම් සහ විදේශගත ශ්‍රමිකයන් මෙරටට  කරනු ලබන ප්‍රේෂණ මත පමණක් රඳා පැවැත්ම යහපත් නොවන බව මෙවර ද අපට පෙන්වා දී ඇත.


සාරාංශය
දැනට සිදු වෙමින් යන රුපියේ අගය පිරිහීම නැතහොත් රුපියල අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ලබන බව සිදුකර ඇති පර්යේෂණ මගින් පෙනීයයි. කෙටි කාලීනව ආර්ථිකය තුළ දැඩි උද්ධමන පීඩනයක් ගෙන දීමටත් අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ මිල ඉහළයාම හේතුවෙන් ජීවන වියදම ඉහළයාමටත් රුපියල අවප්‍රමාණය හේතු වී ඇත. ආර්ථික කම්පන හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයේ සිදුවන දැඩි උච්චාවචන අපනයන අංශයට පමණක් නොව නිෂ්පාදන සහ ආයෝජන යන අංශවලට ද අහිතකරව බලපානු ලබයි. එපමණක් නොව විදේශ ණයට අදාළ රුපියල් ප්‍රමාණය ඉහළයාමෙන් ණය බර ඉහළයාම ද අහිතකරව බලපානු ලබයි. 
විදේශ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කිරීමේ හැකියාවක් නොමැති අතර එසේ කිරීමට යාම රෝගය සඟවා බෙහෙත් කිරීමට යාම හා සමාන වේ. ඇති විය හැකි විවිධ කම්පන හේතුවෙන් ආර්ථිකයකට සිදුවන බලපෑම විදේශ විනිමය අනුපාතය උච්චාවචනය වීමෙන් නිරූපණය කරනු ලබන අතර එසේ නිරූපණය වීමට ඉඩහැරීම කළ යුතුව ඇත. විදේශ විනිමයට අදාළ මෙකී බලපෑම ඉහළ මට්ටමක පැවතීමට හේතු වන්නේ අපගේ විදේශ අංශයේ, විශේෂයෙන්ම අපනයන ඉපැයීම් කම්පනවලට පහසුවෙන් ගොදුරු වන අංශ මත රඳ‌ා පැවත්මය. 
ඒ අනුව, විනිමය අනුපාතයේ ඇතිවන දැඩි අවප්‍රමාණයට ඇති මැදි කාලීන සහ දිගු කාලීන විසඳුම වන්නේ ශක්තිමත් අපනයන අංශයක් ඇති කිරීම සහ විදේශ ආයෝජන සඳහා වඩාත් සුදුසු පරිසරයක් රට තුළ ඇති කිරීමය. ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීම කඩිනමින් කළ යුතු අතර විශේෂයෙන් විදේශ ආයෝජන සහ වෙළෙඳාම ලිහිල්කරණයට අදාළ කටයුතු කඩිනමින් කළ යුතුය. මෙකී ආර්ථික අරමුණු ජය ගැනීමේ අරමුණින් 2024 දී ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලදී. අවශ්‍ය වන්නේ නම් ධනාත්මක සංශෝධන ද සහිතව ආර්ථික පරිවර්තන පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමි.