දියුණු ගුවන් සංචලතා (Advanced Air Mobility - AAM) ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය ආරම්භක සමාගමක්  (startup) වන Seashore Air Ceylon  සමාගම මෙරට තුළ VTOL ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ යෝජනාවක් සිය අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව මෙරට තුළ සිරස් අතට ගුවන්ගත වී ගොඩබෑමේ හැකියාව සහිත (VTOL ) ගුවන් යානා නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වන එම සමාගමේ නියෝජිතයන් පිරිසක් සිය යෝජනාවලිය සමගින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ  (CAASL)  අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා හමුවී තිබේ.

මෙම Seashore Air Ceylon  සමාගම දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ලියාපදිංචි වී ඇති බවත්, ව්‍යාපෘතියේ පර් යේෂණ , සංවර්ධන සහ පරීක්ෂණ අදියර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය CAASL වෙතින් ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් නියෝජිතයන් විසින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, ගුවන් සේවා ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ නියාමන අධීක්ෂණය පිළිබඳ ඉහළම ප්‍රමිති සහතික කරන අතරම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා සිය අධිකාරියයේ කැපවීම නැවත තහවුරු කරන බව පවසා තිබේ.