පළාත් පාලන බල ප්‍රදේශ 24ක ව්‍යාපෘති 26 ක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන


නිමල කොඩිතුවක්කු


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-01-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙනු ලැබූ රුපියල් මිලියන 327 ක ප්‍රතිපාදන යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2025 වර්ෂයේදී ව්‍යාපෘති යෝජනා 29 ක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘති 29 අතරින් ව්‍යාපෘති 16ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කරනු ලැබ ඇත.

 ඉතිරි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු ඉදිරි මාසයක පමණ කාලසීමාවක් ඇතුළතදී සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයන් සඳහා සනීපාරක්ෂක පහසුකම වැඩිදියුණු කිරීමට අදාළව මෙම වර්ෂය සඳහා ද දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවල ශක්‍යතාව ඇගයීමෙන් අනතුරුව, 2026 වර්ෂය තුළ ප්‍රමුඛතා පදනම මත පළාත් පාලන බල ප්‍රදේශ 24ක ව්‍යාපෘති 26 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දීමට එකඟතාව පළ කර ඇත.