ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවැනි අදියර, පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ සඳහා සුදුසු ලෙස පරිවර්තනය කිරීම සඳහා මෙම ජාතික වැඩසටහනෙන් අපනයනකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME), ශිල්පීන්, නිර්මාණකරුවන් සහ විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එකම වේදිකාවකට එක්කර ඇත.

පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය ශිල්පීන් මැටි, ලී, කෙඳි, ලෝහ, රෙදිපිළි සහ අනෙකුත් දේශීය ද්‍රව්‍ය භාවිතයෙන් ශ්‍රි ලාංකික සංස්කෘතිය සහ අනන්‍යතාව පිළිබිඹු කරන භාණ්ඩ නිර්මාණය කර ඇත. එහෙත් මෙම නිර්මාණාත්මක හැකියාව ප්‍රධාන වාණිජ වෙළෙඳපොළවල් සමග සම්බන්ධ නොවී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමග රැදී තිබුණි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙරට සාම්ප්‍රදායික ශිල්පීය උරුමය ගෝලීය වශයෙන් තරගකාරී, වාණිජමය වශයෙන් සාර්ථක සහ ජාත්‍යන්තරව හඳුනාගත හැකි සන්නාම බවට පත් කිරීම සඳහා ‘Creative Sri Lanka 2030 නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී අපනයනකරුවන් විශේෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs), ශිල්පීන්, සැලසුම්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සම්බන්ධ කරමින්, ශක්තිමත් පුද්ගලික අංශයක් විසින් මෙහෙයවනු ලබන ආකෘතියක්  (Umbrella Model) හරහා වැඩසටහන තවදුරටත් පුළුල් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030 මඟින් අපනයන විවිධාංගීකරණය, අගය එකතු කිරීම සහ ගෝලීය අගය දාම සමග ශක්තිමත් කර ගනිමින්, 2030 වන විට සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 36 ක ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි. මෙම ජාතික අපනයන ඉලක්කයේ කොටසක් බවට මෙරට නිර්මාණාත්මක සහ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම  ‘Creative Sri Lanka 2030’ හි අරමුණ වන අතර, අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පසුගියදා  මෙම ජාතික මුලපිරීම සාර්ථකව ආරම්භ කරන ලදී. 

දේශීය ත්‍යාග භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ ජීවන රටා ආශ්‍රිත නිෂ්පාදන  (lifestyle products)  ක්ෂේත්‍ර නියෝජනය කරන මෙම වැඩසටහන, අලු‍තින් තෝරාගත් ප්‍රමුඛ පෙළේ සන්නාම”‍ (Umbrella Brands)  10ක් යටතේ ඉදිරි වසර තුන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහයෝගය ඇතිව මෙන්ම, University Arts London සහ The Institute for Future Creations විසින් සපයන ලද උපදේශන සේවා යටතේ ක්‍රියාත්මක වූ පළමු අදියරේදී, ශ්‍රී ලාංකීය සන්නාම පහක් සාර්ථකව ජාත්‍යන්තර නිර්මාණකරුවන් සමග සම්බන්ධ කරනු ලැබීය.

මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළවලින් අපනයන ඇණවුම් ලබා ගැනීමට ද හැකි විය. මෙම සාර්ථකත්වය මත පදනම් වෙමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, මොරටුව විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල ඇතුළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා රජය විසින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

රජයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මෝස්තර සංවර්ධනය  (design development), ව්‍යුහගත පුහුණුව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සබඳතා ගොඩනැඟීමෙන් තෝරාගත් ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක කර්මාන්ත සන්නාමවල ගෝලීය තරගකාරිත්වය ඉහළ නැංවීමයි.

‘Creative Sri Lanka 2030’  වැඩසටහනේ ඉදිරි මාවත පැහැදිලි කරමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්මික නිෂ්පාදන අධ්‍යක්ෂ මනෝජා දිසානායක මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශිල්පීය හැකියාව, සංස්කෘතික විවිධත්වය සහ ස්වාභාවික සම්පත් කලාව, අත්කම්, සැලසුම්කරණය, විලාසිතා, සිනමාව, රංග කලාව, පාරම්පරික උරුමය, ගෘහ නිර්මාණ ශිල්පය සහ සූපශාස්ත්‍රය වැනි ක්ෂේත්‍ර සඳහා ශක්තිමත් පදනමක් සපයන බවයි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, නිර්මාණාත්මක කර්මාන්ත මගින් වඩාත් ඔරොත්තු දෙන සහ සමෘද්ධිමත් ආර්ථිකයන් ගොඩනැගීමට, සමාජීය සහ ආදායම් අසමානතා අවම කිරීමට සහ නවෝත්පාදනය දිරිගැන්වීමට උපකාරී වේ. මෙම අංශය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2ක ගෝලීය ආර්ථිකයක් නියෝජනය කරන අතර ලොව පුරා මිලියන 50කට ආසන්න රැකියා උත්පාදනය කරයි . ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් සතු වන අතර එහි ශ්‍රම බළකාය අනෙකුත් සියලු‍ම කර්මාන්තවලට වඩා තරුණයන්ගෙන් සමන්විත වේ. මෙම මුලපිරීම හරහා අපනයන සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වන්නේ 2028-2029 වන විට නිර්මාණාත්මක කර්මාන්තයෙන් අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීමට සහ අදාළ ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා බිහි කිරීමටයි.