(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාස කිහිපයක සිට පොල් මිල පහත වැටීමෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව වගාකරුවෝ පවසති.
පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක තුන අතරින් පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති මුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පොල් ගෙඩියක මිල රුපියල් 20ත් 25ත් අතර මිලකට පහත වැටී ඇතැයි ඔවුහු කියති.
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත පොල් වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පැවතුණද මාස කිහිපයක් පොල් මිල පහත වැටී තිබීම හේතුවෙන් තම වගාබිම් නඩත්තු කිරීම්ට අපහසු වී ඇති බවද ඔවුහු කියති.
ලෝකයේ පොල් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව ඉහළ තැනක් ගන්නා අතර, වසරකට ශ්‍රී ලාංකිකයකු පොල් ගෙඩි 87 ක් ආහාරයට ගන්නා බවත්, සමස්ත පරිභෝජනයට වසරකට පොල් ගෙඩි මිලියන 1887 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ.
පොල් කර්මාන්තය කඩා වැටීම ගැන අදහස් දක්වමින් සිටි පොල් වගාකරුවකු වන ආර්. එම්. කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මිනිස්සු පොල් වගාවක් නඩත්තු කරන්න එතරම් වියදමක් යන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන වියදම් එක්ක දවස් කුලියකට කම්කරුවෙකු ගත්තොත් වැඩට රුපියල් 1500 යනවා. පොහොර දමන්න, එළි පෙහෙළි කරන්න, අනිත් වියදම් ගත්තාම හරි අමාරුයි පොල් වගාව පවත්වාගෙන යන්න. අනිත් එක පුත්තලම දිස්ත්‍රික්කයට වසරේ මැයි මාසයෙන් පසු වර්ෂාව නැති නිසා වතුර දමන්නත් විශාල වියදමක් දරනවා. අඩුම තරමින් පොල් ගෙඩියකට රුපියල් 30 කින් එහා මිලක් තිබිය යුතුමයි. මෙය පාරිභෝගිකයාටත් දරා ගන්න පුළුවන්” යැයි ඔහු පැවසීය.
පොල් ව්‍යාපාරිකයකු වන අතුල කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි ලක්ෂ ගනණින් පොල්වලට මුදල් යට කරලා. මාස ගනණක් බලා ඉන්නවා ඒවා මුදල් කර ගන්න. නමුත් පසුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ පොල් මිල අස්ථාවර වුණා. මෙය බරපතල දෙයක්. මොකද මේ තරම් මිල අඩුවීමත් එක්ක ව්‍යාපාරිකයින් ගැටලු රැසකට මුහුණ දෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල විනාශයි. මේ කර්මාන්තය අනාගතයේ බරපතල අර්බුදයකට ලක්වන එක වළක්වන්න බැහැ” යැයි ඔහු කීය.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ මහතාගෙන් කළ විමසිමේදී ඔහු මෙසේ කීය.
“ මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල පොල් අස්වැන්නක් ලැබී තිබෙනවා. එයත් මේ පොල් මිල පහත වැටීමට බලපෑ එක් කරුණක්. ලංකාවේ සමස්ත පොල් පාරිභෝජනය වසරකට මිලියන 1887 ක් විතර වෙනවා. නමුත් පසුගිය වසර කිපයකදි 2016 වසරේදී මිලියන 3057 ක්, 2017 දි මිලියන 3100 ක් ඒ වාගේම 2018 දී මිලියන 2457ක් ලෙස පොල් පලදාවක් ලැබී තිබුණා. ඒ වාගේම 2018 අවසානයේ සිට මේ වසරේ මුල් මාස 6ට ආසන්න වන විට මිලියන 2850 ට ආසන්න පොල් අස්වැන්නක් ලැබිලා. මේ නිසා රට තුළ විශාල පොල් අතිරික්තයක් තිබෙන බවට අපිට වාර්තා වෙනවා. පොල් මිල පහත වැටීමට එය බලපා තිබෙන බවයි අපි අනුමාන කරන්නේ.
ඒ වාගේම පිටි කළ පොල් කිරි කර්මාන්ත ආයතන 8ක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එයත් මේ මිලට බලපාන්න ඇති. මොකද ඇතැම් පිරිස් පිටි කළ පොල් කිරිවලට යොමුවෙලා. විදේශීය වෙළඳපොලට පොල් යවන්නත් අපි අවස්ථාව දුන්නා. ඒ නිසා පොල් මිල ඉදිරියෙදී යම් හොඳ මට්ටමකට එන්න පුළුවන්. පොල් මිල අඩුවෙන කොට වගාකරුවන් කර්මාන්ත කරුවන් කෑගසනවා වාගේම තමා පොල් මිල වැඩි වෙද්දි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නත් විවිධ දේවල් අපිට කරන්න සිද්ද වෙනවා” යැයි හෙතෙම පැවසීය.




COMMENTS
පසුගිය අවුරුදු කිහිපයේ පොල් මිල ඉහළ යනකොට ඔබතුමාලා ඔහොම කතා කරන්නේ නැහැ. එතකොට ලාභය හිමින් සීරුවේ බැංකුවට දමාගන්නවා. ඉස්සර බැංකුවේ දාගත්ත මුදල් එළියට අරන් වගාකටයුතු සඳහා වියදම් කරන්න. ඉහළ යන සෑම දෙයක්ම පහළ යන බව ඔබතුමාලා දන්නේ නැද්ද?
පොල්, ගණන් යනකොට පාරිභෝගිකයා අර්බුදයට ලක්වෙනවා.. පොල් ලාභ වෙනකොට.. පොල්වතුකාරයෝ අර්බුදයකට ලක්වෙනවා.. ඇයි පොල්වලට ස්ථාවර මිලක් නියම කරන්න බැරි?
ලංකාවේ පොල්මිල වැටුණා. යන්නේ අධික ලාභයක් ලැබෙන්නේ නෑ කියන එකටද? කෘෂි නිෂ්පාදන සියල්ලක්ම ඔය වගේ තමයි. කලකදී ඵලදාව වැඩිවෙනවා.. සමහර වසරවල නිෂ්පාදනය අඩුවෙනවා. ලංකාවේ නිෂ්පාදිත ටින්වල ඇසුරු පොල්කිරි ඇමෙරිකාවේ අලෙවියට තිබෙනවා. අපි ආහාර පිසීමට ගන්නේ ලංකාවේ පොල්කිරි තමයි. ලංකාවෙන් පොල්කිරි වගේ දේ පිටරට යවනවා නම් පොල් මිල වැටෙන්නේ කොහොමද?
ඒ කොහොම වුණත් කොළඹ පොල් ගෙඩියක් රුපියල් 45 ක් 50ක් වෙනවා. පොල්තෙල් මිල වුනත් එහෙම අඩුවෙලා නැහැ. පාරිභෝගිකයා මෙන්ම වගාකරුවත් රැකගත යුතුයි.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කියනවා අස්වැන්න වැඩි නිසා මිල බැස්සා කියල. තේ කොමසාරිස් කියනවා දළු වැඩිවෙලා මිල බැස්සා කියලා. තේ නිපදවන වෙනත් රටක කුමන්ත්‍රණයක් නිසා තේ මිල බැස්සා කියල ජනමාධ්‍ය වාර්ථා කරනවා ආරංචියක් තියෙනවා කුරුඳු මිළත් ඉතාම බැහැල කියලා. ප්‍රති අපනයනය නිසා ගම්මිරිස් මිල බැහැල තියෙනවා. තේ පොල් රබර් අපේ ප්‍රධාන ආදායම් මාර්ග වුනානම් කොහොම හිටීද. දැන්වත් මෙම අස්ථාවර ආදායම් මාර්ග වෙනුවට විකල්ප සැකසීමට කටයුතු කලොත් නරකද එසේ නොහැකිනම් මේවා නිමි භාණ්ඩ ලෙසට අපනයනය කිරීමට කටයුතු කලොත් නරකද
අනේ පොල් ගෙඩියටත් මිල සූත්‍රයක් දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයිනේ
අපේ ලංකාවේ මිනිස්සු ඇපල් ගෙඩියක් රුපියල් 30 ඉඳන් 100 විතර වෙනකම් අරන් කනවා. හැබැයි අපි පොල් ගෙඩියකට රුපියල් 30ක් ඉල්ලුවහම ඒක තමයි දරාගන්න බැරි. මේ වගේ වහල් මිනිස්සු ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන සංවර්ධනය කරගන්න බැරි. මේ රට ගොඩ ගන්න බැහැ.
ලංකාවේ පරිභෝජනයට පොල් ගෙඩි වර්ෂයකට මිලියන 1887ක් පමණ අවශ්‍ය බව මෙම පුවතේ සඳහන් වනවා. 2016 වර්ෂයේදී මිලියන 3057, 2017 වර්ෂයේදී මිලියන 3100, 2018 වසරේ මිලියන 2800ක් ලැබී ඇති බව සඳහන් වෙනවා. එම දත්ත අනුව වසරකට පොල්ගෙඩි මිලියන 1000කට වැඩි අතිරික්තයක් රටේ තිබිල තියෙනවා. නමුත් පහුගිය කාලේ පොල්ගෙඩියක් රුපියල් 100කට වැඩි මිලකට අලෙවි වුණා. මෙම පොල් හිඟය මහාපරිමාණ පොල් ව්‍යාපාරිකයන් කළ මවාපෑමක්ද?
ඇයි අනේ ඩේසිකේටඩ් කොකනට් හදල පිටරට යවන්නකෝ
පොල්ගෙඩියක සිල්ලර මිල සාමාන්‍යයෙන් රුපියල් 20-30 අතර තිබෙන්න ඕනේ නැත්නම් කොහොමද ? දිනකට රුපියල් 1000 -1500 උපයන මනුස්සයෙක් පවුලක් නඩත්තු කරන්නේ ?
පොල් වගා බොහොමයක් සුළු පරිමාණ ඒවා. එදිනෙදා ජීවිතයට අවශ්‍ය මුදල හොයා ගන්න ඒවා. සමහර අය කියලා තියෙනවා වගේ අධික ලාභ ගන්න බැරි වගාවක්. අනික පොල්තෙල් වෙනුවට මහා පරිමාණයෙන් පාම් තෙල් සහ කෝන් තෙල් පිටරටින් ගෙන්නනවා. එ්ක තමයි පොල් මිල අඩුවෙන ප්‍රධානම හේතුව...
පොල් සහ ඇපල් සංසන්දනය කරන මිනිස්සුත් අපේ රටෙත් ඉන්නවා. ඇපල් කන්නේ ඒවාට මුදල් ගෙවන්න පුළුවන් කට්ටිය... හැබැයි පොල් ඕනෑම කෙනෙකුට ඕනේ... ඉතින් ඇපල් කන කට්ට්ය මෙතනට සම්බන්ධ කරන්න එපා. ආර්ථික න්‍යාය අනුව මිල තීරණය වන්නේ ඉල්ලුම, සැපයුම අනුවයි. ඒක නිසා ආණ්ඩුවට දොස් කියකියා ඉන්නේ නැතුව වෙන ක්‍රමයක් ගැන සිතන්න පොල්වලට සාධාරණ මිලක් ලබා ගන්න.
වැඩිවුණාම මිනිස්සු කෑ ගහනවා. අඩුවුණාම වගාකරුවන් කෑ ගහනවා. දැන් මොකක්ද කරන්න ඕනෑ...
දැන් පොල් වැඩි නිසානේ ගණන් අඩු වෙන්නේ. පොල් ගස් කැපුවා නම් හරි නේද?
මැටි නිලධාරීන් ඉන්නකන් මේ රටේ කිසිම දෙයක් කරන්න බැහැ. කලමනාකරණය ගැන මුන් අහලාවත් නැහැ. වැඩි ලාභයක් ගන්න එක ගැන මුන් දන්නෙත් නැහැ.
එකම විසඳුම මිල සුත්‍රයක් ගෙන ඒම.
සියලුම හෝටල් පොල් ගන්නේ සම්බෝලේ හදන්න විතරයි. අනෙක් සියලුම දේවල් වලට ගන්නේ පිටිකළ පොල් කිරි. මෙම පැකට් ආනයනය සීමා කරන්න ඕනේ.
අපි නම් එලොව පොල් පෙනිලා ඉන්නේ ...