
අලුත්ම වාර්තා අනුව ජීවත්වීම ප්‍රශ්නයක් වී තිබේ. ආහාර මිල ගණන් වල ඉහළ යෑමේ වේගයට සාපේක්ෂව එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර නොවන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් තිබේ. මැදි ආදායම් ලබන පිරිස වඩාත් දුෂ්කරතාවකට පත්ව ඇත. දුප්පත් ජනතාව තෝරා සහනාධාර සැපයේ. ඔවුන්ගේ වියදම් රටාව සාමාන්‍යකරණය කර ඇත. ප්‍රතිශතයක් වශයෙන් වඩාත් පුළුල් පරාසයකට විහිදෙන ජන කොටසකට සැලකිය යුතු පීඩනයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. උද්ධමන අනුපාතිකය වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු නිවේදනය දක්වයි.
දකුණු ආසියානු කලාපයේ ජීවන වියදම වැඩිම රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මාල දිවයින මෙරටට වඩා අධික වියදම් සහිතය. ආර්ථික අර්බුදයට පසු රට නැවත ස්ථාවර කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග විශාල විකෘතියක් ඇති කර තිබේ. සියලුම ආකාරයේ බදු මහත් හිරිහැරයකි. ඛනිජ තෙල් විදුලිය සහ ගෑස් වැනි බලශක්ති පිරිවැය උහුලා ගත නොහැක. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහන වියදම පාලනය කිරීමට කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුවේ අවධානයක් නැත.
දරු පවුලකට දැනෙන පීඩනය බරපතළය
කම්කරු දෙපාර්තමේන්තුවේ නියමය අනුව වැඩකරන ජනතාවට රුපියල් තිස් දහසක අඩුම වැටුපක් ගෙවිය යුතුය. පුද්ගලයකුට මාසයක් ජීවත්වීම සඳහා අවම වශයෙන් රු. 17,117 ක් අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. 2012 වසරේ දී මෙම අගය රු. 5,223 කි. හතර දෙනකුගෙන් යුතු පවුලක පැවැත්ම සඳහා මාසිකව රු. 571,000.00 ක් බව අනාවරණය වේ. මෙම මුදල නිවාස කුලිය රහිතවය. පවුලේ එක් අයකු පමණක් රැකියාවක නිරත නම් මුහුණ දෙන ස්වභාවය බරපතළය. මෙම ආදායම උපයන ඕනෑම පුද්ගයකුට ආදායම් බදු ගෙවන්නට සිදුවේ.
දරු පවුලකට අවශ්‍ය අවම ආදායම උපයා ගන්නා පුද්ගලයා ද නැවතත් බදු ගෙවන්නකු වන අතර එම බදු ගෙවූ පසු අස්වැසුම සහනාධාර ඉල්ලා සිටීම සාධාරණය. ආහාර පාන හා සේවා සඳහා වක්‍ර බදු ගෙවන අතරවාරයේ සෑම පුරවැසියකුම ටින් අංකයක් අනිවාර්ය කරන ආණ්ඩුව මෙරට ජනතාව ගැන දක්වන ආකල්ප ඉතාම නරකය.
ආර්ථික වර්ධනය වෙනුවට හොරකම් හා මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ පිරිස් ගැන අධිකරණ ක්‍රියා මාර්ග හුවා දැක්වීම පුරුද්දක් කරගෙන සිටින අතර ඒවායෙන් එදිනෙදා ජීවත්වීමේ පහසුව ඇති නොකරන බව අවධාරණය කළ යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන පරිදි 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක පමණ ප්‍රතිශතයක් වනු ඇත. එවැනි අඩු අගයක් සහිත රාමුව තුළ නැවතත් පහසු නැති තැනකට රට පත්වනු නිසැකය.
වර්ධනයකින් තොරව පැවැත්මක් නැත
ආර්ථිකය වර්ධනය සඳහා ක්‍රියා මාර්ග අවශ්‍යය. අලුත් ආයෝජන රටට ලැබිය යුතුව තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන පසු රැකියා අවස්ථා බහුල වන අතර ඒවායෙන් ලැබෙන බදු ආදායම ජාතික අය වැය පරතරයට වාසියක් ගෙන දෙනු ඇත. දැනට පවතින ස්වභාවය අනුව දේශීය හෝ විදේශීය අලුත් ව්‍යාපාර නැත. ඇමරිකානු ඩොලර් බිලියනයක ව්‍යාපාර රටට ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය දක්වයි. ලබන වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකක පමණ ඉලක්කයක් තිබේ. එහෙත් මෙරට කොතැනක හෝ අලුත් ව්‍යාපාර ආරම්භ කර ඇති බවක් පෙනෙන්නේ නැත. ඇතැම් කර්මාන්තකරුවෝ ස්වකීය කටයුතු කරගෙන යාය නොහැකි බව අවධාරණය කරමින් සිටිති. විදුලිය, ප්‍රවාහන පිරිවැය, වැටුප් වියදම හා රජයේ බදු එයට පදනම් වී තිබේ. කර්මාන්ත හා සේවා දියුණු වී අපනයනය ඉහළ ගියහොත් විනිමය සඳහා වූ තෙරපුම අඩුවේ. එම ව්‍යාපාරවල දේශීය හෝ විදේශීය ආයෝජනය අලුත් අවස්ථා ඇති කරයි.
පුරවැසියන්ගේ පැවැත්ම සඳහා සමස්ත ආර්ථිකයම අඩු වැඩි වශයෙන් බලපාන බවට එකී කරුණු සාක්ෂියක් වනු ඇත. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආනයනික බදු වැඩිකර තිබේ. උදාහරණයක් වශයෙන් වාහන ආනයනය මත අධිභාරයක් පැනැවීය. වාහන මිල දී ගැනීම සඳහා සීමා නියම කර තිබේ. මෙම අතිරේක පිරිවැය වාහන මිල දී ගන්නා පිරිස් තමන්ගේ සාක්කුවෙන් ගෙවන බව ඇත්ත නමුත් අවසානයේ දී පාරිභෝගිකයාට උහුලන්නට සිදුවේ. වැට් සඳහා ලියා පදිංචි විය යුතු ආදායම අඩු කළේය. සාමාන්‍යයෙන් රුපියල් හැත්තෑ දහසක් පමණ පිරිවැටුමක් ඇති තැනක් ද වැට් ගෙවිය යුතුය. එය ගෙවන්නේ පාරිභෝගිකයා බව ආණ්ඩුවට මතක් කළ යුතුවේ.
විදේශ විනිමය පිරිහීම හේතු කොටගෙන රුපියල අවප්‍රමාණය වී ඇත. ගෙන්වන භාණ්ඩ සඳහා මෙරට මිල ඉහළ ගොස් තිබේ. ආනයන බදු ද එකතු කළ පසු සීනි, පරිප්පු, කිරිපිටි, තිරිඟු පිටි, කරවල හා අනෙක් දෑ සඳහා මිල වෙනස්කම් සිදුවේ. පොහොර ආනයන වියදම වැඩි වූ පසු දේශීයව නිපදවන ආහාර මිල ගණන් පවා නැවත වටයකින් මිල ඉහළ යනු ඇත.
ආර්ථිකය කාර්යක්ෂම කිරීම
රජයේ වියදම් අඩු කර ආර්ථිකය කාර්යක්ෂම කළ යුතු අතර බදු අඩුකර මහජනතාවට උපයන්නට අවස්ථාව ලබා දිය යුතුය. අලුත් වාර්තා අනුව ජීවත්වීම සඳහා අවශ්‍ය අවම වියදම ඉහළ ගිය පසු රට තුළ නොසන්සුන්තා ඇති විය හැකිය. මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි ජන කොටස් නීති විරෝධී දේ සඳහා නැඹුරුවන අවදානමක් තිබේ. රට තුළින් වාර්තාවන අධික මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී ව්‍යාපාරවලට පසුබිම යහමින් ආදායමක් ඉක්මනින් ලබාගැනීමට සූදානම්වීම බව ආණ්ඩුව අමතක කළ යුතු නැත. නීති පැනැවීම වෙනුවට ආර්ථිකය දියුණු කරන තීරණ ගැනීමෙන් සමාජ ප්‍රශ්න පාලනය වේ.
ඉදිරි කාලය තුළ වැඩි වැටුප් සහ සහන ඉල්ලා විරෝධතා නැගෙන්නට ඉඩ තිබේ. එවැනි පසුබිමක් තුළ වැඩිවන වියදම් පියවන්නට අලුත් වටයකින් ආදායම සොයාගන්නට රජයට සිදුවෙයි. තවත් වටයකින් බදු පැනවෙනු ඇති අතර එය නොකළ හැකි තැන ණය ගැනීම හැර අනෙක් ක්‍රමයක් නැත. මෙය චක්‍රයකි. එයින් ගැළවෙන්නට ප්‍රතිසංස්කරණ අවශ්‍යය. වහාම ආණ්ඩුව මැදිහත්වී ආර්ථිකය දියුණු කර රටවැසියන්ට ආදායම උපයා ගත හැකි ක්‍රමවේද සම්පාදනය කළ යුතුය.
නිරීක්ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd