
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. එම ප්‍රදේශය ඉන්දියාවේ උසස් තාක්ෂණ කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ. එහි වෙසෙන මගේ මිතුරු ව්‍යාපාරිකයකු පසුගිය දා බැංගලෝරයේ දී මුණ ගැසුණු පසු කරන ලද සඳහනක් අමතක නොවන සේ මගේ සිතේ තදින්ම රැඳී තිබේ.
“ශ්‍රී ලංකාවේ ආණ්ඩු නිතරම විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම ගැන කතා කරනවා. එහෙත් ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට ව්‍යවසායකයකු පැමිණියහොත්, සාධාරණ ප්‍රතිලාභයක් ලබාගත හැකි ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි තැනක් තිබේ ද?” ඔහු ප්‍රශ්න කළේය. මගේ මිත්‍රයාගේ ප්‍රශ්නය තුළ ගැඹුරු සත්‍යයක් ඇත.
බැංගලෝරයේ සිට නැවත කොළඹ බලා ආපසු එන අතරතුර, රටවල් දෙකක ආර්ථික ක්‍රමවේද අතර, ඇති වෙනස ගැන කල්පනා කිරීමට මම නැඹුරු වූයෙමි. බැංගලෝරය හරහා ගමන් කරන විට, රාජ්‍ය සහ පෞද්ගලික ප්‍රාග්ධනය අතර හවුල්කාරිත්වයකින් ඉදිකෙරෙන යටිතල පහසුකම් දක්නට ලැබේ. ඉන්දියාව සැලකිය යුතු වේගයකින් අධිවේගී මාර්ග ඉදිකරමින් සිටින අතර, ඒවායින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ ක්‍රියාත්මකය. දුම්රිය මාර්ග ජාලය ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අධිවේගී දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් වෙනම දුම්රිය මාර්ග ද ඒ අතර වේ.
බැංගලෝරයේ ගුවන් තොටුපොළ පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යනු ලබන, නවීන, කාර්යක්ෂම සහ අන්තර් ජාතික මට්ටමක ඉතා තරගකාරීව මෙහෙයවෙන්නකි. මම ගමන් කළේ ඉන්දියාවේ දේශීය ගුවන් ගමන් වෙළෙඳපොළෙන් සියයට 60 කට වැඩි කොටසක් හිමි කරගෙන ඇති සහ ලෝකයේ වටිනාම ගුවන් සමාගම් අතරට එක්ව ඇති ඉන්ඩිගෝ ගුවන් සේවයෙන්ය.
කොළඹට පැමිණි පසු වෙනස ඉතා පැහැදිලිය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තවමත් රජය සතු රජය විසින් මෙහෙයවන ව්‍යවසායයකි. එය නවීකරණය, කාර්යක්ෂමතාව වැඩිදියුණුව සහ ධාරිතාව පුළුල් කිරීම අවශ්‍ය කෙරේ. එහි ගුවන් පථයේ පාඩු ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් පැරණි ගුවන් යානා දක්නට ලැබේ. ගුවන් සේවා සඳහා කරන ආහාර සැපයුම් සහ භූමි සේවා වැනි ක්ෂේත්‍රවල ඒකාධිකාරය සහ ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා එහි ප්‍රධාන ගැටලු බව නිරීක්ෂණය කළ හැකි විය.
ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ආයෝජකයන්ට දිගුකාලීන බදු හෝ කොන්ත්‍රාත් පදනමින් ලබාදීම වඩාත් සාර්ථක බව ජාත්‍යන්තර අත්දැකීම් දක්වයි. ප්‍රාග්ධනය, කළමනාකරණ දැනුම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව එමගින් රට තුළට ලබාගත හැකිවේ. එවැනි ප්‍රවේශයක් මෙරට ගුවන් සේවා අංශ තුළ ක්‍රියාත්මක කළහොත්, එකී සේවා ක්ෂේත්‍රය තුළ පමණක් ඩොලර් බිලියන ගණනක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සමත් වන අතර සංචාරක, භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික්ස් සහ ගුවන් තොටුපොළ අවට දේපළ ද විශාල වශයෙන් සංවර්ධනය වනු ඇත.
කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන විට ද, එම ප්‍රශ්නයම වෙනත් මුහුණුවරකින් දිග හැරෙයි. ඉන්දියාව පෞද්ගලික අංශය සමඟ එක්ව අධිවේගී මාර්ග වේගයෙන් ඉදිකරන අතර, ශ්‍රී ලංකාව රජයේ මුදල් වැය කිරීමට තරම් ප්‍රමාණවත් ප්‍රාග්ධනය හිඟ බැවින් ඉතා මන්දගාමීව ඉදිකිරීම් කරගෙන යමින් තිබේ. දැනට ක්‍රියාත්මක රාජ්‍ය යටිතල පහසුකම් දිගුකාලීන ආයෝජන වත්කම් බවට පත් කිරීමෙන්, එනම් ගුවන් තොටුපොළ සහ අධිවේගී මාර්ග වැනි පරිණත වත්කම් දිගුකාලීන ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීමෙන් හෝ අලුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය ලබාගත හැකි අතර, රටට තව දුරටත් මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් අලුත් යටිතල පහසුකම් ජාලයක් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේ.
ගුවන් තොටුපොළේ සිට කොළඹට පැමිණෙන විට තවත් අභ්‍යන්තරයක් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් සියයට 80 ක් පමණ තවමත් රාජ්‍ය අයිතිය යටතේ පවතී. ඵලදායී ලෙස භාවිත කළ හැකි විශාල ඉඩම් සහ වත්කම් ආර්ථික වශයෙන් ප්‍රයෝජනයක් නොගෙන නිෂ්ක්‍රීයව පවතී.
දුම්රිය පද්ධතිය මෙයට ගැළපෙන තවත් හොඳ උදාහරණයකි. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දුම්රිය ජාලය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී නොමැත. එය තවමත් විදුලිබලයෙන් ධාවනය නොවේ. කෙසේ නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රධාන නගරවල වාණිජ වශයෙන් ඉතා වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් පාලනය කරමින් සිටී. දේශීය හෝ විදේශීය ආයෝජකයන් සමග එක්ව ඒවා සංවර්ධනය කළහොත්, දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගත හැකිය. කටුනායක මාර්ගයේ ගමන් කරන අතර සිමෙන්ති ගබඩා පහසුකම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවකි. සිමෙන්ති අවශ්‍යතාව සලකා විශාල වශයෙන් ආනයන කෙරෙන අතර, සිමෙන්ති නිෂ්පාදනයට සුදුසු හුණුගල් සම්පත් රටට තිබියදීත් එය එසේය. එපමණක් නොව, ග්‍රැෆයිට්, පොස්පේට්, ඉල්මනයිට් සහ ක්වාර්ට්ස් එනම් තිරිවානා වැනි ඛනිජ සම්පත් ද තවමත් ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට ගැනීමක් නොමැති අතර, මෙම ඛනිජ සම්පත් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේ හැකියාව ඇත.
වාණිජ නගරයට සමීප වන අතර පෞද්ගලික සහ රාජ්‍ය කළමනාකරණය අතර වෙනස කොළඹ වරායේ දී දැනටමත් දැකිය හැකිය. ඉන්දියානු, යුරෝපීය සහ චීන ආයෝජකයන් විසින් පවත්වාගෙන යන පෞද්ගලික පර්යන්තවල කාර්යක්ෂමතාව, මෙහෙයුම් වේගය සහ ආයෝජන හැකියාව පැහැදිලිව පෙන්නුම් කෙරේ. වරාය ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගතහොත් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආයෝජන රටට ආකර්ෂණය කර ගත හැකි වේ. ඉන්දියන් සාගරයේ ප්‍රධාන ලොජිස්ටික්ස් හා නාවික භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කළ හැකි වේ.
මෙම තර්ක සමස්ත ආර්ථිකයටම අදාළය
හිල්ටන්, තැප්‍රොබේන් සහ තවමත් වැඩ අවසන් නොකළ හයට් වැනි රජය සතු හෝටල් වත්කම් අරමුණු කරගෙන පැවැරිය හැකිනම් ඒ වෙනුවෙන් නව ආයෝජන ළඟාකරගත හැකිය. අනිවාර්යයෙන්ම තව දුරටත් ධනය ආයෝජනය කර නවීකරණය වනු ඇත. එමගින් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් කළ හැකි අතර, වාණිජ ව්‍යාපාර පවත්වාගෙන යාමේ බරින් රජයට නිදහස් විය හැකිය. ශ්‍රී ලංකා ටෙලිකොම් හි රාජ්‍ය කොටස් පෞද්ගලීකරණය කළ හැකි ක්ෂේත්‍රයකි. රාජ්‍ය ඒකාධිකාරයකින් පාලනය වන විදුලිබල ක්ෂේත්‍රය ද ප්‍රතිව්‍යුහගත කර පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කළ හැකිය. එමගින් තරගකාරීත්වයක් ඇතිවේ. අවසානයේ දී එහි වාසිය ලැබෙන්නේ පොදු මහජනතාවටය. ආණ්ඩුවට අයත් බව අවධාරණය කරමින් අධික පාඩු සහිතව ඒවා මහජනතාවගේ බදුවලින් නඩත්තු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?
වාණිජ බැංකු ක්ෂේත්‍රය ද ගනුදෙනුකරුවන්ට ගැළපෙන පරිදි වෙනස් කළ හැකිය. ලංකා බැංකුව වැනි රජයට අයත් තෝරාගත් මූල්‍ය ආයතන කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කළ හැකි අතර, ඒවායේ ජාතික වැදගත්කම අඛණ්ඩව පවත්වා ගත හැකිය. ඉන්දියාවේ State Bank of India ද මෙම ක්‍රමය අනුව ක්‍රියාත්මක බව සඳහන් කළ හැකිවේ.
ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රම තවමත් බොහෝ දුරට රාජ්‍ය අයිතිකාරීත්වය මත පදනම්ය. ඒවායේ ධනය, බොහෝ විට රාජ්‍ය ණය සඳහා සැපයේ. අර්ථසාධක අරමුදල් වල මුදල් රජය අත්පත් කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩකරන ජනතාවට හිමිවන දිගුකාලීන ප්‍රතිලාභ ඉතා දුර්වල අගයක් ගනී. දැනට නිරීක්ෂණය කළ හැකි ආකාරයට මෙරටට ගැඹුරු ප්‍රාග්ධන වෙළෙඳපොළක් නැත. ඉතා හොඳින් නියාමනය කරන ලද පෞද්ගලික විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රම හඳුන්වා දීමෙන් ආයෝජන හා සංවර්ධනය සඳහා දිගුකාලීන මුදල එමගින් සම්පාදනය කළ හැකිය. අවසානයේ දී වැඩකරන ජනතාවට සිය සේවාකාලය අවසන් වූ පසු හොඳ ප්‍රතිලාභයක් අත්පත් කරගත හැකිවනු ඇත.
රාත්‍රියේ කොළඹට ඇතුළු වන විට තවත් වෙනසක්
විදුලි සංදේශ සමාගම්වල තරගකාරීත්වය දක්වන දැන්වීම් පුවරු සහ සමාගම් තුනක ඉන්ධන බෙදාහරින්නන්ගේ ඉන්ධන පිරවුම්හල් ජාලය මෙරට පෞද්ගලික ආයෝජන හා ඒවායේ යම් ප්‍රමාණයක හෝ තරගකාරීත්වය මගින් ලබා දිය හැකි ප්‍රතිලාභ පිළිබඳව දක්වයි. මෙම අංශ දෙකම කලින් රාජ්‍ය ආධිපත්‍යය යටතේ තිබූ ඒවාය. වර්තමානයේ දී පාරිභෝගිකයන්ට වැඩි තේරීම්, වඩා හොඳ සේවා සහ නවීන තාක්ෂණික විසඳුම් ලැබෙන්නේ ඒවායේ පවතින කරගකාරීත්වය හේතු කරගෙන බව සඳහන් කළ යුතුය.
බැංගලෝර් හි ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණ වාණිජ නගරය දක්වා එක් ගමනකදී පමණක් දැකිය හැකි ප්‍රයෝජනයට නොගත් වත්කම් සහ අහිමි වී ඇති ආර්ථික අවස්ථා අතරින් කොටසක් සේ මේවා ගැන සටහන් තැබිය හැකිය.
ලෝකයේ කිසිදු රටක ආර්ථික පද්ධති සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නැත. ඕනෑම ආකෘතියක ගැටලූ සහ අපයෝජන ඇති විය හැකිය. එහෙත් දුර්මත හා සිදුවිය හැකි දේ පිළිබඳ බිය හේතුකරගෙන පමණක් ආර්ථිකයක් සදාකාලිකව පාලනයක තිබිය යුතු නැත. එසේ කළහොත්, ආර්ථිකයේ අක්‍රියතාව ජාතික ප්‍රතිපත්තිය බවට පත් වීම වැළැක්විය නොහැකිය.
සරලව සලකා බැලීමේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලූව ණය අර්බුදයකට පමණක් සීමා නොවේ. ප්‍රයෝජනයට නොගත් වත්කම්, ප්‍රමාණවත් නොවන ආයෝජන, මන්දගාමී යටිතල පහසුකම් සංවර්ධනය සහ විශාල පරිමාණයෙන් සිතීමට ඇති බිය පිළිබඳ අර්බුදයක් රටට ඇත.
කොළඹ වරාය, ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ග, විදුලි සම්බන්ධතා, කර්මාන්ත කලාප සහ ඉන්දියාව, මැද පෙරදිග හා ලෝක වෙළෙඳපොළ සමග ඇතිකරගත හැකි සම්බන්ධතා, හුදෙක් රාජ්‍ය වත්කම් ලෙස නොව, දකුණු ආසියාව ගෝලීය වෙළෙඳපොළට සම්බන්ධ කරන ඒකාබද්ධ ආර්ථික ජාලයක කොටස් ලෙස අවබෝධ කරගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවේ සැබෑ හැකියාව ඉදිරි ගමනක් සේ දැවැන්තව මතු වනු ඇත.
එවැනි සම්බන්ධතා ඔස්සේ ලොජිස්ටික්ස්, සංචාරක, වෙළෙඳාම, නිෂ්පාදනය, සේවා, බලශක්තිය සහ දේපළ වෙළෙඳාම වැනි අංශවල දැවැන්ත වර්ධනයක් ඇති කළ හැකිය.
අද ලෝකයේ විශාල ආයෝජකයන්ට දියුණුවෙමින් පවතින රටවල් අතරින් හඳුනාගත හැකි අවස්ථා රැසක් තිබේ. ප්‍රාග්ධනය යෙදවෙන ආකාරය වහා වෙනස්වන සුළුය. ව්‍යාපාරික තීරණ වහාම ගැනීමට නොහැකි, මන්දගාමී සහ අකාර්යක්ෂම පද්ධති සහිත රටවල්වල ආයෝජනය කර සඳහා වසර ගණනක් වැය කිරීමට ව්‍යවසායකයන් සූදානම් නැත.
තීරණ ගැනීමට ශ්‍රී ලංකාව බිය වන්නේ නම්, ආයෝජන අවස්ථා වෙනත් රටවල් වෙත ගලා යනු ඇත. අලුත් අවකාශයක් තුළ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ පුළුල්ව හා විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක කළහොත්, ආයෝජනය ආකර්ෂණයක් සිදුවන අතර එය හේතුකරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මත ඇති රඳා පැවැත්ම ක්‍රමයෙන් අඩු කළ හැකිය. ආර්ථික ස්වාධීනත්වය ළඟාකරගත හැකිවන්නේ තව දුරටත් ණය ගැනීමෙන් නොව, වර්ධනය, ආයෝජනය, ඵලදායිතාව සහ විශ්වාසය ඇති කරගැනීමෙන් ය යන්න අවධාරණය කළ යුතුය.
ආණ්ඩු විසින් තීරණ ගැනීමට පසුබට වී ඇත
පසුගිය කාලය තුළ පැවැති ආණ්ඩු අවශ්‍ය අවස්ථාවල ඉක්මන් තීරණ ගෙන නැත. එයට හේතුව දේශපාලන දුර්වලතාව පමණක් නොවේ. මෙරට පොදු ජනතාව අතරින් සැලකිය යුතු කොටසක් තවමත් පෞද්ගලීකරණය, විදේශ ආයෝජන සහ වෙළෙඳපොළ කේන්ද්‍රගත ප්‍රතිසංස්කරණ පිළිබඳ සැකයෙන් පසුවීම බව වටහා ගත යුතුය. එම පසුබිම හේතුකොටගෙන අවශ්‍ය අවස්ථාවල තීරණාත්මක හා ගත යුතු දුෂ්කර තීරණ ගැනීමට ආණ්ඩු පසුබට වී තිබේ.
යථාර්ථය මඟ හැරිය නොහැක
රාජ්‍ය ණය බර වැඩිවීම, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය, ආර්ථිකයේ දුර්වල වර්ධනය, අධික බදු සහ මුදල් අස්ථාවරත්වය වැනි කරුණු අඛණ්ඩව පවත්වාගෙන යන අතරවාරයේ, රටට අවශ්‍ය දැවැන්ත දේශීය හෝ විදේශීය ආයෝජනවලට විරුද්ධ වීම ශ්‍රී ලංකාවට දිගටම කළ නොහැකි වනු ඇත. බදු අනුපාත අඩු කරන අතර, හොඳ යටිතල පහසුකම්, ඉහළ වැටුප්, ශක්තිමත් විශ්‍රාම වැටුප් සහ ස්ථාවර මුදල් ඒකකයක් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම්, රට තුළ විශාල දේශීය හා විදේශීය ආයෝජන සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය.
එසේ නොවුවහොත්, ශ්‍රී ලංකාව එක් ආර්ථික අර්බුදයකින් තවත් අර්බුදයකට තල්ලුවීම නිසැක අතර, එය ඉතා නරක තත්වයකි. තම අනාගතය රට තුළින් නොව විදේශ රටකින් සාක්ෂාත් කරගැනීමට අවස්ථා සොයන තරුණ පිරිස තවත් ඉහළ යනු ඇත. එය තවත් අනතුරුදායකය.
අකාර්යක්ෂම රාජ්‍ය පාලනය සහ නිරන්තරව පවතින මූල්‍ය දුර්වලතාව යටතේ ආර්ථිකයේ විශාල කොටසක් සිරකර තබාගෙන සිටින කිසිදු රටක් දිගුකාලීන සෞභාග්‍යයක් ලබාගෙන නොමැත.
වර්තමානයේ දී ශ්‍රී ලංකාව පිළිතුරු දිය යුතු ගැටලුව ඉතා සරලය.
“රටට සැබවින්ම ආයෝජන සහ ආර්ථික වර්ධනය අවශ්‍ය ද, නැතිනම් ඒ ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත්ද?” අප සියලුදෙනා මෙම ගැටලුවට දෙන පිළිතුර අනුව අපගේ අනාගතය පිළිබඳ පැතිකඩ තීරණය කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd