
ලියාපදිංචි කෙරුණු වාහන 54,059 අතර යතුරු පැදි 35,305ක්
ජනවාරියේදී අලුත් මෝටර් කාර් සහ SUV රථ ලියාපදිංචිය සියයයට 8.4කින් පහළට
අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක SSCL බදු ලියාපදිංචිය ඉහළ යාමට හේතුවක්ලු
භානුක අමරසිංහ
2026 වසරේ ජනවාරි මාසයේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු වාහන සංඛ්‍යාව 54,059 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 දෙසැම්බර් මාසයේදී සිදු වුණු වාහන 47,800 ට සාපේක්ෂව සියයට 12.9 ක වර්ධනයකි. ඒ අනුව වාහන ලියාපදිංචියේ ශක්තිමත් ආරම්භයක් 2026 දී සටහන්ව තිබෙන බව HNB Stockbrokers පවසයි.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත යොදා ගනිමින් ජනවාරි මාසය සඳහා වන වාහන ලියාපදිංචි කිරීමේ වාර්තාව ඉදිරිපත් කරමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කරයි. ඒ අනුව ජනවාරියේදී වැඩිම ලියාපදිංචිය යතුරු පැදි යටතේ සිදුව ඇති අතර එය ඒකක 35,305 කි. මෙය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.9ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
“දෙසැම්බරයට සාපේක්ෂව ජනවාරියේදී අලුත් මෝටර් කාර් සහ SUV රථ ලියාපදිංචිය ඒකක 3,812ක් දක්වා සියයයට 8.4කින් පහත වැටී තිබෙනවා. කෙසේ නමුත් මෝටර් කාර්, SUV සහ වානිජ මෝටර් රථ යන කාණ්ඩ තුන යටතේ භාවිතා කළ වාහනවලට වඩා අලුත් වාහන ලියාපදිංචියේ පංගුව ඉහළයි.“ එම ආයතනය පෙන්වා දෙයි.
මෙම දත්ත අනුව ජනවාරියේදී ලියාපදිංචි කෙරුණු මෝටර් කාර් රථ සංඛ්‍යාව 4,464 කි. ඉන් 491ක් එනම් සියයට 11ක් පමණක් අලුත් මෝටර් කාර් ලෙස සටහන්ව තිබේ. එසේම ලියාපදිංචි කෙරුණු SUV රථ 7,343ක් අතරින් 3,321ක් එනම් සියයට 45.2ක් අලුත් SUV රථ වෙයි. වාණිජ මෝටර් රථ 2,664ක් ලියාපදිංචි කෙරී ඇති අතර ඉන් 1,550ක් එනම් සියයට 58.2ක් අලුත් ඒවා වෙයි.
මෙලෙස ජනවාරි මාසයේදී කැපී පෙනෙන වාහන ලියාපදිංචියක් සිදුවීම සඳහා 2026 අප්‍රේල් 01 වැනිදා සිට වාහන සඳහා බලාත්මකවීමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවක් විය හැකි බවද HNB Stockbrokers සමාගම මෙහිදී සඳහන් කර සිටියි. “බොහෝ විට එම දිනයට පෙරාතුව ලියාපදිංචි කිරිම් සිදු කිරීමේ උත්සාහය මේ සඳහා හේතුව වී තිබෙනවා.’’ ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd