මාර්ත මුල් සතියේ දෛනික සංචාරක පැමිණීම් 6,000ට අඩුවෙයි
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ලක්ෂ 6ක් ඉක්මවයි
මාර්ත 01 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 47,646ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් 2025 වසරේ එම දින කිහිපය තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 62,186 හා සැසඳීමේදී මෙය සියයට 23.3 ක අඩුවීමකි.
විශේෂයෙන්ම පෙබරවාරි අවසානයත් සමගින් ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් නිසා ගුවන් කලාප වසා දැමීම්, සංචාරක ගමන් අවලංගු කිරීම් මෙම සංචාරක පැමිණීම් අඩුවීමට හේතුව වී තිබේ.
මෙහිදී මාර්තු මාසයේ මුල් දින 08 තුළ දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍ය ලෙස සංචාරකයන් 5,956 ක් ලෙස සටහන්ව ඇත. 2025 වසරේදී එය 7,700ක අගයක් ගෙන තිබුණි.
කෙසේ වෙතත් පෙබරවාරි තුන්වැනි සතිය වනවිටත් දෛනික සංචාරක පැමිණීම් 12,731ක් ලෙස සටහන්ව තිබූ අතර, සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවේ අවසන් මාසය වන මාර්තුවේදී මෙලෙස දෛනික පැමිණීම් අඩුවීම වසරේ සමස්ත සංචාරක පැමිණීම් වෙත දරුණු බලපෑමක් එල්ල කරනු ඇතැයි කර්මාන්තයේ බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
ඒ අනුව මාර්තු මාසය සඳහා පැවැති සංචාරකයන් ලක්ෂ තුනක ඉලක්කයද මේ වනවිට ඉවත් කරගැනීමට සංචාරක අමාත්‍යාංශයද පසුගියදා පියවර ගත්තේය.
මාර්තු මාසය තුළ මේ දක්වා පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිස ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එය සංචාරකයන් 11,345 කි. එසේම රුසියාවෙන් සහ එක්සත් රාජධානියෙන් පිළිවෙළින් සංචාරකයන් 4,388ක් සහ 4,136ක් පැමිණ තිබේ. චීනයෙන් පැමිණි සංඛ්‍යාව 4,032 කි. එසේම ජර්මනිය, ප්‍රංශය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවලින් පැමිණෙන සංචාරකයන්ද පසුගිය මාසයට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
මේ අතර වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 604,301 ක් ලෙස සටහන්ව ඇති අතර, ඉන් වැඩිම ප්‍රමාණය වන 111,085ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 64,464ක්, රුසියාවෙන් 54,621ක් පැමිණ ඇත. ජර්මනියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 43,976කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd