ජනවාරියට සාපේක්ෂව ලියාපදිංචියේ සියයට 6ක අඩුවීමක්

සමස්තයෙන් ලියාපදිංචියෙන් සියයට 66ක්ම යතුරුපැදි

ත්‍රිරෝද රථ ලියාපදිංචිය ඒකක 3951ක් දක්වා සියයට 15ක වර්ධනයක්

BYD ලියාපදිංචිය ඒකක 261ක් දක්වා සියයට 65ක දැවැන්ත අඩුවීමක් 


 මෙම වසරේ පෙබරවාරි මාසයේදී මෙරට තුළ අලු‍තින් ලියාපදිංචි කෙරුණු වාහන ඒකක සංඛ්‍යාව 51,682ක් ලෙස සටහන්ව තිබේ. මෙය ජනවාරි මාසයේදී ලියාපදිංචි කෙරුණු වාහන ඒකක 54,895 හා සැසඳීමේදී සියයට 6ක සුළු අඩුවීමක් බව කැපිටල් එලායන්ස් පීඑල්සී (CAL) ආයතනය සිය වාර්තාවක් මගින් පවසයි. 

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. එහි සඳහන් ආකාරයට පෙබරවාරියේ සිදුකළ මෙම ලියාපදිංචි කිරීම් අතරින් වාහන ඒකක 34,191ක් එනම් සමස්තයෙන් සියයට 66ක් යතුරුපැදි වෙයි. කෙසේ වෙතත් ජනවාරි මාසයේ සිදුකළ යතුරුපැදි ඒකක 35,457 ට සාපේක්ෂව එම ලියාපදිංචියත් සියයට 3.6ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

“මේ අතර මෝටර් කාර්, SUV සහ Crossover  ලියාපදිංචියත් පෙබරවාරියේදී ඒකක 10,551ක් ලෙස සටහන්ව ඇති අතර, එය ජනවාරි මාසයේදී පැවැති ඒකක 12,871 හා සැසඳීමේදී ඒකක 2,320 ක් එනම් සියයට 18ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.”

කෙසේ වෙතත් ජනවාරි මාසයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ලියාපදිංචිය ඒකක 3,428 ක සිට ඒකක 3951ක් දක්වා සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත් මෙම වාර්තාව පවසයි.

ඊට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ සිට පෙබරවාරි දක්වා කාලය තුළ මෙරට තුළ අලු‍තින් ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද සංඛ්‍යාව 22,485 කි. “ඉලෙක්ට්‍රික්/හයිබි්‍රඩ් කාණ්ඩය යටතේ BYD මාදිලියේ මෝටර් රථ ලියාපදිංචියත් ජනවාරි මාසයේදී පැවැති ඒකක 741 ක සිට පෙබරවාරියේදී ඒකක 261ක් දක්වා සියයට 65ක දැවැන්ත අඩුවීමක් තිබෙනවා. මෙය 2025 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ලියාපදිංචි කිරීම් 264 ට පසුව වාර්තා වූ අඩුම අගයයි.” 
ලොරි රථ යටතේ පෙබරවාරි මාසයේදී ඒකක 1,300 ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය ජනවාරියේ වාර්තා වූ ඒකක 1,300 ට සාපේක්ෂව සුළු ඉහළ යාමකි. පික්අප් රථ ලියාපදිංචිය ද ඒකක 311 ක සිට 313 ක් දක්වා සුළු ඉහළ යාමක් සටහන් කර තිබේ. 
“පෙබරවාරියේදී අලු‍තින් බස් රථ 277 ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය ජනවාරියේදී සිදුකළ බස් රථ ඒකක 286ක ලියාපදිංචියට සාපේක්ෂව ඒකක 9ක සුළු අඩුවීමක්.” CAL ආයතනය පවසයි.