මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත කමිටුවේ මුල් පුටුවට


මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ආර්ථික ආවේක්ෂණ කමිටුවක් ස්ථාපිත කරන බව රජය පවසයි. ඒ සඳහා ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම, විවිධ ක්ෂේත්‍රවල ඇතිවන අවදානම් ඇගයීම සහ පවතින තත්වය නිරතුරුව සමාලෝචනය කරමින් ඒ අනුව ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මෙම කමිටුව ස්ථාපිත කරන බව පැවසෙයි.

මෙහි ප්‍රධානත්වය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කෙරෙන අතර, අදාළ ආයතන ප්‍රධානීන් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙම කමිටුව සමන්විත වීමට නියමිතව තිබේ.

විශේෂයෙන්ම ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමග ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමට සිදුව ඇතැයිද රජය පවසයි.