• 2030 වන විට පොල් ගෙඩි බිලියන 4.2ක ඉලක්කය සඳහා ආයෝජකයන් දිරිමත් කළ යුතු බව පවසයි

පොල් වගාකරුවන්ට‍ පොල් ගෙඩියක් සඳහා සාධාරණ අවම මිලක් හඳුන්වාදීමට රජය ගෙන ඇති පියවර අගය කරන බව ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මේ හරහා වගාකරුවන් ආරක්ෂා කිරිම මෙන්ම වෙළෙඳපොළ ස්ථායිතාව සුරක්ෂිත කිරීමට අවස්ථාව හිමි වන බවත් එම සංගමය පෙන්වා දෙයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම සාධාරණ අවම මිලක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී තිබේ. විශේෂයෙන්ම ලෝක වෙළෙඳපොළේ පොල් මිල පහත වැටීමත් සමගින්ම දේශීය පොල් වගාකරුවන්ට එල්ල වී ඇති පීඩනය පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමය, “තිරසාර පොල් කර්මාන්තයක් සඳහා මිල පාලනයට වඩා වැඩි යමක් අවශ්‍යයි. පොල් වගාව වෙනත් ඕනෑම ව්‍යාපාරික අංශයකට සමානව වත්කම් මත තරඟකාරී ප්‍රතිලාභයක් ලබා දෙන දිගුකාලීන කෘෂිකාර්මික ආයෝජනයක් ලෙස සැලකිය යුතුයි.

එහිදී පොල් වගාව ඉහළ අවදානමක් සහ අඩු ප්‍රතිලාභයක් ලැබෙන වගාවක් යන අදහස ගෙන දෙන රෙගුලාසි සහ ප්‍රතිපත්ති ඉවත් කළ යුතුයි’’ යනුවෙන් සඳහන් කරයි.

විශේෂයෙන්ම 2030 වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන 4.2 දක්වා වැඩි කර, ඩොලර් බිලියන 1.5 ක අපනයන ආදායමක් ඉපැයීමේ රජයේ ඉලක්ක සපුරා ගැනීමට නම්, කර්මාන්තය නව ආයෝජන ආකර්ෂණය කර ගත යුතු බව එම සංගමය පෙන්වා දෙයි. එහිදී තරුණ පරම්පරාවේ ව්‍යවසායකයන් සහ ගොවීන් ආකර්ෂණය සඳහා වගාව දිරිමත් කරන, ඵලදායිතාව වැඩි දියුණු කරන, නිෂ්පාදන පිරිවැය අඩු කරන සහ නවෝත්පාදනයන්ට ප්‍රතිලාභ ලබා දෙන ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය වන බවත් ඔවුන් අවධාරණය කරයි.