SLT-MOBITEL Enterprise මෙරට සමාගම් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත අතිනවීන අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා Starlink by SpaceX සමග ප්‍රතිවිකුණුම් (Reseller) හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මාර්ගගත ලෙස (Online) පැවති උත්සවයකදී මේ සඳහා වන ගිවිසුමට දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදී. 
Starlink සමාගමේ Low-Earth-Orbit (LEO) චන්ද්‍රිකා ජාලය මගින් ඕනෑම ස්ථානයකට බාධාවකින් තොර අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමේ හැකියාව ඇත. මෙය විශේෂයෙන්ම සාම්ප්‍රදායික සම්බන්ධතා පහසුකම් අතිශයින් සීමිත ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පවත්වාගෙන යන ව්‍යාපාරවලට බෙහෙවින් වැදගත්ය. මෙම තාක්ෂණයෙන් එබඳු ව්‍යාපාරවලට ඉතාමත් පහසුවෙන් අධිවේගී හා විශ්වාසනීය අන්තර්ජාල සම්බන්ධතා ලබාදිය හැකි වේ. 
මෙම ගිවිසුමත් සමග රට පුරා ක්‍රියාත්මක වන සමාගම්වලට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට SLT-MOBITEL වෙතින් Starlink සමාගමේ උසස් තාක්ෂණික චන්ද්‍රිකා අන්තර්ජාල සම්බන්ධතා පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. 
මෙය ලොව දුරකථන හා සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ නවීනතම විසඳුම් මෙරටට හඳුන්වා දීමේ මෙහෙවර තුළ SLT-MOBITEL ඉදිරියෙන්ම සිටින බව තහවුරු වන තවත් සුවිශේෂී එකඟතාවක් ලෙස හැඳින්විය හැකි වේ. Starlink පහසුකම් සමගින් සමාගමේ දීපව්‍යාප්ත ආවරණ පරාසය තවදුරටත් පුළුල් වන අතර, එමගින් දුෂ්කර ප්‍රදේශ රැසක ව්‍යාපාරවලට පූර්ණ වශයෙන් කළමනාකරණය කරනු ලබන අන්තර්ජාල හා ඩිජිටල් පහසුකම් සමීප කරවීමට SLT-MOBITEL සමාගමට හැකි වනු ඇත. 
මෙය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් සම්බන්ධතා ක්‍රමවේදයක් වන බැවින්, විශේෂයෙන්ම ආපදා තත්වය සහ තාක්ෂණික දෝෂ ආදිය හේතුවෙන් සිදුවන සේවා බිඳවැටීම්වලට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ. මේ නිසා Starlink සම්බන්ධ ඇති ව්‍යාපාරවලට එවැනි ගැටලු‍වලින් බාධා ඇතිවීමේ ඉඩකඩ අවමය. එමෙන්ම මෙම සම්බන්ධතා ජාත්‍යන්තර තලයේ ක්‍රියාකාරීත්වයකින් යුක්ත නිසා අත්‍යවශ්‍ය සේවා, IoT  සේවා, නාවික සහ ප්‍රවාහන විසඳුම් මෙන්ම අඛණ්ඩව උසස් මට්ටමේ සම්බන්ධතා පහසුකම් අවශ්‍ය වන ක්ෂේත්‍ර මෙහෙයුම් යනාදිය සඳහා ද Starlink සම්බන්ධතා බෙහෙවින් උචිත වේ. 
මෙම අවස්ථාවට එක්වෙමින් SLT-MOBITEL හි ව්‍යවසාය ව්‍යාපාර, ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ලක්මාල් ජයසිංහ මහතා මෙසේ පැවසීය. 
“ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවශ්‍යතා සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත අන්තර්ජාල සම්බන්ධතා විසඳුම් ලබාදීමේ නව පරිච්ඡේදයක් මෙම ගිවිසුමත් සමගින් ආරම්භ වෙනවා. Starlink හි අති නවීන චන්ද්‍රිකා තාක්ෂණය SLT-MOBITEL හි විශ්වාසනීය සේවා සමග ඒකාබද්ධ කිරීමෙන් මෙරට සමාගම් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙතට සම කළ නොහැකි මට්ටමේ විශිෂ්ට අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපට හැකි වේවි. මෙම ගිවිසුම, රටේ වැඩි පිරිසක් වෙත ඩිජිටල් සේවා සමීප කරවීම, ව්‍යාපාරවලට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි යටිතල පහසුකම් ස්ථාපිත කිරීම යන ඉලක්ක ළඟා කරගැනීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයට අත්වැලක් වෙමින්, මෙරට ව්‍යාපාරවලට වේගයෙන් දියුණු වන ඩිජිටල් ලෝකය තුළ සාර්ථක ලෙස තරග කිරීම සඳහා අවශ්‍ය පිටුබලය ලබාදෙන පියවරක් ලෙස හැඳින්විය හැකියි.”