තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකා එක්සත් ජනපද සහකාර ලේකම් ආචාර්ය පාවුල් කාෆුර් මහතා පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඊයේ (ජූනි 23) කොළඹ දී මුණගැසිණ.
පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ විද්වත් හමුවකට සහභාගී වූ සහකාර ලේකම්වරයා තානාපති අංශ, චින්තන පර්ෂද ප්‍රධානීන්, ආර්ථීක හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ පිරිසක් සමග ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු ගණනාවක් ගැන අදහස් හුවමාරු කරගෙන ඇත. දෙරට අතර වසර හැත්තෑ හතක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගැන මෙහිදී අවධානය යොමුවී තිබේ. වෙළෙඳ හා ආයෝජන අවස්ථාවල පවතින අලුත් අවස්ථා ගැන සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඇමෙරිකානු සහාය ගැන ද පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ විද්වත් හමුවට සහභාගී වූ පිරිස් වැඩිදුරටත් අවධානය දැක්වූ බව සඳහන්ය.
ඇමෙරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (වැඩ බලන) ඇන්තනී ප්‍රිනෝට්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැට්‍රික්, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක අශ්රෝෆ් ඔමාර්, කැපිටල් මහාරාජා විධායක අධ්‍යක්ෂ නිමල් කුක්, ඉන්දියන් විධායක නිලධාරී සංසදයේ ප්‍රධාන විධායක ක්‍රිෂෝර් රෙඩ්ඩි, ශ්‍රී ලංකා වෙරළාක්ෂක අධ්‍යක්ෂ ජනරාල් රොහාන් ජෝෂප් සහ ලර්න් ඒෂියා හි ප්‍රධාන විධායක රොහාන් සමරජීව යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.