
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළේ තම ස්ථානය ගොඩ නගාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය සහ ආචාර ධර්මීය නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් බව මතයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවලින් ප්‍රමුඛ වෙළෙඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇත. මේ වනවිට එම පදනම අදටත් අපගේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වඩාත් ශක්තිමත්ම වත්කම ලෙස දැකිය හැකිය.
කෙසේ වෙතත්, මෙම කර්මාන්තයේ අනාගතය මෙම කීර්තිනාමය මත පමණක් පිහිටා ගොඩනැගිය නොහැක. එය මැනිය හැකි පුළුල් පදනමක් සහිතව සහ ගෝලීය වෙනස්කම් ඉදිරියේ ශක්තිමත් ලෙස ගොඩනැංවීමේ අභියෝගය අප හමුවේ පවතී. ඒ අනුව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ලෙස, අප ඉදිරියේ ඇති කාර්යය අතිශයින් පැහැදිලිය. අප දිගු කලක් පුරා සාකච්ඡා කරමින් තනාගත් අරමුණක් වූ ශ්‍රී ලංකාව තුළ පවතින ඇඟලුම් කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණ වෙත වඩාත් ඉලක්කගතව සහ කාර්යක්ෂමව ඉදිරියට ගමන් කළ යුතුව ඇත.
මෙම ඩොලර් බිලියන 08ක ඉලක්කය වෙත යාම ඉතා වැදගත් වන්නේ එය ඇඟලුම් කර්මාන්තයට පොදු දිශානතියක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් මෙම අරමුණ හුදෙක් පුවත් පත් ශිර්ෂයකට පමණක් සීමා නොවී වඩාත් ප්‍රායෝගික ලෙස ජාතික න්‍යාය පත්‍රයක කොටසක් බවට පත් විය යුතුව ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රකාශිත අපනයන දත්ත අනුව, 2025 වසර සඳහා රෙදිපිලි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට මඳක් ඉක්මවා තිබේ. ගෝලීය වශයෙන් අභියෝගාත්මක පරිසරයක් තුළ මෙය සාර්ථක ප්‍රතිඵලයක් වුවද, අප දැනට සිටින ස්ථානය සහ අප ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකිය යුතු පරතරයක් පවතින බව ද පෙන්වා දිය හැක. එම පරතරය පියවීම සඳහා සුලු සහ තාවකාලික විසඳුම්වලට වඩා සැලසුම් සහගත ප්‍රතිපත්තිමය වෙනස්කම්, ශක්තිමත් සම්බන්ධීකරණයක් සහ වඩාත් සැලකිල්ලෙන් සැලසුම් කළ වර්ධන ආකෘතියක් අවශ්‍ය වන බව අප වටහා ගත යුතු ය.
අප මුහුණ දිය යුතු වැදගත්ම කාරණය වන්නේ වෙළෙඳපොළ සංකේන්ද්‍රණයයි.අප රටේ ඇඟලුම් කර්මාන්තය සාම්ප්‍රදායිකව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මත විශාල ලෙස රඳා පවතියි. මෙම වෙළෙඳපොළ තුන එක්ව ගත් විට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 85ක් පමණ කොටසක් නියෝජනය කරයි. ශ්‍රී ලංකාව මෙම වෙළෙඳපොළවල් සමග දිගු කාලීනව වාණිජ සබඳතා ගොඩ නගා ගෙන තිබෙන බැවිනුත් ඒවා පරිණත සහ වටිනා වෙළෙඳපොළවල් බැවිනුත් මෙම සංකේන්ද්‍රණය නිසා අපට යම් යම් ප්‍රතිලාභද ලැබී ඇත. කෙසේ වෙතත්, මෑතකාලීන ගෝලීය තත්ව හමුවේ තවදුරටත් මෙම වෙළෙඳපොළවල් මත අධිකව යැපීම විශාල අවදානමකි. එම වෙළෙඳපොළවල් වල පාරිභෝගික ඉල්ලුම දුර්වල වූ විට, තීරුබදු ප්‍රතිපත්ති වෙනස් වූ විට, නීතිමය සහ අනුකූලතා නියාමනයන් දැඩි වූ විට හෝ වෙළෙඳ නාම තම සැපයුම් රටාව වෙනස් කළ විට, එම බලපෑම් අපගේ මුළු කර්මාන්තයම පුරා පැතිර යයි.
වෙළෙඳපොළ විවිධාංගීකරණය අපගේ අපනයන ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අංගයක් බවට පත් විය යුත්තේ එබැවිනි. ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් පවතින වෙළෙඳපොළ තත්වය මත යැපීම ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතු ය. මෙතෙක් ශ්‍රී ලංකාව විසින් ප්‍රවේශ නොවූ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් අපනයන පදනමක් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගොඩනැංවිය යුතුව ඇත. ASEAN කලාපය, මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාවේ නැගෙනහිර වෙළෙඳපොළ සහ BRICS කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙමින් ඇඟලුම් අපනයන ආදායම පුළුල් කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩි ව දැනී තිබේ. මෙය අපගේ සම්ප්‍රදායික වෙළෙඳපොළ අත්හැරීමක් නොව එම වෙළෙඳපොළ ප්‍රසාරණය කර ගැනීමකි.අවදානම අඩු කිරීම, අවස්ථා පුළුල් කිරීම සහ කාලයත් සමඟ වඩාත් සමතුලිත අපනයන ආදායම් ගොඩනැගීමේ මාර්ගයක්ද වනු ඇත.
වෙළෙඳපොළ විවිධාංගීකරණය යනු භූගෝලීය කරුණකට එහා ගිය කරුණක් බව අප වටහා ගත යුතු ය. එය ඇඟලුම් ක්ෂේත්‍රයේ වටිනාකම් දාමය ඉදිරියට ගෙන යාමක්ද වේ. ලංකාවට පරිමාව (Volume) පමණක් මුල් කරගෙන තරග කළ නොහැකි අතර, එසේ කිරීමටද උත්සාහ නොකළ යුතුය. ලංකාවට වාසි සහගත වන්නේ උසස් මට්ටමේ සැපයුම් ගමනාන්තයක් වීමයි. එය නිෂ්පාදන අඛණ්ඩතාව, වේගවත් බව, තිරසාරභාවය, තාක්ෂණික හැකියාව, වර්ධනය වෙමින් පවතින නව නිර්මාණ හා සංවර්ධන දායකත්වය එකට එකතු කරන සාධකයකි. එබැවින් ලංකාව ඇඟලුම් කර්මාන්තය තුළ ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, සැපයුම් දාමය තුළ වටිනාකම්, දෘෂ්ටිකෝණය සහ නවෝත්පාදනය එක්කරන අතරමැදියකු ලෙස ද ක්‍රියා කළ යුතුය.
මෙයින් අදහස් කෙරෙන්නේ අප ප්‍රගතිය නිර්වචනය කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න බැරෑරුම්ව සිතා බැලිය යුතු බවයි. අපනයන වර්ධනය එක් මිනුම් දණ්ඩකට පමණක් සිමා නොවිය යුතු ය. අප විසින් ගොඩනංවමින් පවතින වර්ධනයේ ස්වභාවය, එය එන්නේ කොතැනින්ද සහ එය කර්මාන්තය වඩා ශක්තිමත් කරමින් තිබේද යන්න සළකා බැලිය යුතුය. ඉහළ අගයක් ඇති නිෂ්පාදන කාණ්ඩවල අපගේ කොටස වැඩි දියුණු කරමින් සිටීද? නව වෙළෙඳපොළවලට සැලකිය යුතු ආකාරයෙන් අප ඇතුළුවෙමින් සිටීද? සැපයුම් කාලය වැඩි දියුණු කරමින් සහ ගනුදෙනුකරුවන් සමඟ අප සබඳතා පුළුල් කරගනිමින් සිටීද? වඩාත් හොඳ අපනයන ආදායමක් ලබා ගැනීමට උපකාරී වන ආකාරයෙන් අප නිර්මාණ හැකියාව සහ තිරසාර ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරමින් සිටීද? වැනි ගැටලු සඳහා විසඳුම් සොයමින් අපගේ ඉදිරි කටයුතු පෙළගැස්විය යුතු ය.
ක්‍රියාත්මක වීමට සුදුසු පරිසරයක් නොමැතිව කිසිදු කර්මාන්තයකට තම අපනයන ආදායම් අපේක්ෂා ඉටු කර ගැනීමේ හැකියාවක් නොමැත. එබැවින් ලංකාව තුළ වාණිජ ක්‍රියාකාරකම් සඳහා සහය දක්වන පද්ධති දියුණු කළ යුතුය. වේගවත් රේගු ක්‍රියාවලිය, අනුමත කිරීම් අතර ශක්තිමත් ඩිජිටල් සම්බන්ධීකරණය, පරිපාලන බාධා අවම කිරීම, සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි කරුණු කාරණා සහ ස්ථාවර ප්‍රතිපත්ති යන සාධක ඉතා වැදගත් වේ. ඒවා තරගකාරීත්වයේ මූලික අංග වේ. ඇඟලුම් කර්මාන්තය වැනි සැපයුම් කාලය ඉතා වැදගත් වන ක්ෂේත්‍රක පද්ධතියේ ඕනෑම තැනක ඇති වන ප්‍රමාද, විශ්වාසී බව, සැලසුම්කරණය යන කාරණා අනාගත ඇණවුම් බෙදාහැරීම කෙරෙහි සෘජු ලෙස බලපායි. එබැවින්, වාණිජ පහසුකම් සරල පරිපාලන සංශෝධනයක් ලෙස නොව අපනයන වර්ධනයේ මූලික කරුණක් ලෙස සලකා බැලිය යුතුව ඇත.
මෙම කරුණු පුළුල් ආයෝජන පරිසර සඳහාද එලෙසම අදාළ වේ. ලංකාවට නව මූල්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, වටිනාකම් ඉහළ නංවා ගැනීමටත්, නිෂ්පාදන පදනම ශක්තිමත් කිරීමටත් අවශ්‍ය නම් අප වාණිජමය වශයෙන් ප්‍රතිචාරත්මක බව මෙන් ම ආචාරධර්මීය වශයෙන් ශක්තිමත් රටක් ලෙසද පෙනී සිටිය යුතුය. ආයෝජකයන් සොයන්නේ පැහැදිලි, වේගවත් බවින් යුතු, ස්ථාවරභාවය සහ ව්‍යාපාර කාර්යක්ෂමව කළ හැකි අවස්ථා පිළිබඳවයි. මෙය විදේශීය ආයෝජන සඳහා පමණක් නොව, දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වන සමාගම්වල තීරණ සඳහාද එක සමාන ලෙස වැදගත් වේ.
අපනයන වර්ධනය කර ගැනීමේ අවස්ථා තවමත් අප ඉදිරියේ පැහැදිලිව පවතී. ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට වර්තමාන මට්ටමට වඩා ඉදිරියට වර්ධනය වීමට අවශ්‍ය හැකියාව, කීර්තිය සහ ආයතනික දැනුම ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලර් බිලියන 8ක ඉලක්කය කරා යන මාර්ගය, අතීතයේ සහ වර්තමානයේ අප භාවිත කළ උපක්‍රම භාවිත කිරීමෙන් පමණක් අත්පත් කර ගත නොහැක. එය මැනිය හැකි අපනයන වර්ධනයක්, සැලසුම් සහගත විවිධාංගීකරණයක්, ශක්තිමත් පද්ධති සහ ඉහළ වටිනාකම් (Higher Value Positioning) ස්ථානගත කිරීම සඳහා පැහැදිලි කැපවීමකින් පමණක් සාර්ථක කර ගත හැකි ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd