භානුක අමරසිංහ


ජාත්‍යන්තර ෆොන්ටෙරා සමූහය මෙරට තුළ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fontera Brands Lanka) ලෙස පවත්වා ගෙන ගිය මෙහෙයුම් ලැක්ටාලිස් සමූහය (Lactalis Group) වෙත පැවරීම කළ බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පවසයි. 
නවසීලන්තයේ ෆොන්ටෙරා සමූහය (Fonterra Co-operative Group) යටතේ පැවැති  Mainland Group  හි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ප්‍රංශයේ ලැක්ටාලිස් සමූහය වෙත අලෙවි කිරීම අවසන් කිරිමත් සමගින්ම මෙම පැවරීම සිදු වන බව සඳහන් වෙයි.
 “අපි පවුලේ හිමිකාරීත්වය සහිත, ගෝලීය කිරි නිෂ්පාදන ප්‍රමුඛයකු සමගින් එකතු වී තිබෙනවා. ඔවුන් ගැඹුරු විශේෂඥතාවක් සහ ගුණාත්මක සහ විශ්වාසනීය සන්නාම සඳහා වන දිගුකාලීන දායකත්වයක් සහිත සමාගමක්. මේ හරහා නව යුගයක් විවෘත කරනවා.“ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පවසයි.
ඒ අනුව ඉදිරියේදී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ලැක්ටාලිස්-මේන්ලන්ඩ් ඬේරි  (Lactalis-Mainland Dairy) ලෙස නම් කෙරෙන බවත්, ඉදිරියේදී ඉතාමත් උසස් කිරි සන්නාම ගෙන ඒමට කටයුතු කරන බවත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා වැඩිදුරටත් සඳහන් කරයි. 
මෙම අලෙවිය යටතේ පිවිසි අමු කිරි සැපයීමේ එකඟතාවට අනුව නවසීලන්තයේ ෆොන්ටෙරා සමූහය අවම වශයෙන් වසර 10 ක කාලයක් සඳහා එම අමු කිරි සැපයීමට එකඟතාවකට පැමිණ තිබේ. එසේම ගෝලීය සැපයුම් එකඟතාව යටතේ ෆොන්ටෙරා සමූහය අවම වශයෙන් වසර හයක කාලයක් සඳහා අමුද්‍රව්‍ය සහ අනෙකුත් නිෂ්පාදන (චිස් තොග) සැපයීමටද එකඟ වී තිබේ. 
එසේම මෙම අලෙවි එකඟතාව සම්පූර්ණ වීමත් සමගින්ම නවසීලන්තයේ ෆොන්ටෙරා සමූහය වෙත සිය ප්‍රාග්ධනය නැවත තම රට වෙත රැගෙන යාමට හැකියාව ලැබී තිබෙන බව එම සමූහයේ සභාපති පීටර් මැක්බ්‍රයිඩ් සඳහන් කරයි.