අයවැය 2027 මගින් මාර්ග, පාලම්, ජල සැපයුම, වාරිමාර්ග, විදුලිබල යටිතල පහසුකම්, නිවාස සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා සැලකිය යුතු ආයෝජන හඳුනාගෙන තිබේ. මෙම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට වැදගත් අවස්ථා නිර්මාණය කරන අතර, ජාතික සංවර්ධනයට එම ක්ෂේත්‍රය දක්වන දායකත්වය ද පෙන්නුම් කරයි.

යටිතල පහසුකම් සංවර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා රජය අඛණ්ඩව දක්වන කැපවීම ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) අගය කරයි. මෙම ආයෝජන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම රටේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට පමණක් නොව, ව්‍යාපාරවලට සහාය වීමට, රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාව පුරා ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ද හේතු වේ.

ආර්ථිකයේ ප්‍රධාන අංශයක් 

ඉදිකිරීම් කර්මාන්තය රට පුරා ව්‍යාපාරිකයන් සහ සේවකයන් රැසකින් සමන්විත පුළුල් ජාලයකට සහාය සපයයි. එහි දායකත්වය කොන්ත්‍රාත්කරුවන්ට සහ ඉදිකිරීම් වෘත්තිකයන්ට පමණක් සීමා නොවේ. නිපුණතා සහිත හා දෛනික වැටුප් ලබන සේවකයන්, උප කොන්ත්‍රාත්කරුවන්, ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදකයන්, දෘඩාංග සැපයුම්කරුවන්, ප්‍රවාහන සේවා සපයන්නන්, යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ද ඊට ඇතුළත් වේ.

ඉදිකිරීම් ව්‍යාපෘති මගින් ඒවායේ සැපයුම් දාම පුරා ආර්ථික ක්‍රියාකාරකම් උත්පාදනය කරනු ලබයි. එමගින් ද්‍රව්‍ය, උපකරණ, ප්‍රවාහන සහ වෘත්තීය සේවා සඳහා ඉල්ලු‍මක් ඇති කරන අතර, රැකියා සහ ආදායම් උපයා ගැනීමේ අවස්ථා ද සලසයි. දෛනික වැටුප් සහ ඉදිකිරීම් ආශ්‍රිත රැකියා මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ.

ව්‍යාපෘති ප්‍රමාද වන විට හෝ කොන්ත්‍රාත්කරුවන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන විට, එහි බලපෑම සේවකයන්, කුඩා සැපයුම්කරුවන් සහ ප්‍රාදේශීය ව්‍යාපාර දක්වා ව්‍යාප්ත විය හැකිය.

එබැවින් මූල්‍යමය වශයෙන් තිරසාර ඉදිකිරීම් කර්මාන්තයක් පැවතීම යටිතල පහසුකම් සැපයීම සඳහා පමණක් නොව, ජනතාවගේ ජීවනෝපාය, ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් සහ සමස්ත ආර්ථිකයට සහාය වීම සඳහා ද වැදගත් වේ.

අයවැයෙන් වෙන් කළ මුදල් 

මාර්ග සංවර්ධනය සඳහා අයවැයෙන් රුපියල් බිලියන 294.8ක පමණ මුදලක් වෙන් කර තිබේ. එයට ප්‍රධාන අධිවේගී මාර්ග ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 79ක් සහ වරාය පිවිසුම් උස් මාර්ගය (Port Access Elevated Highway)  සඳහා රුපියල් බිලියන 10.7ක් ඇතුළත් වේ.

පානීය ජල සැපයුම සඳහා රුපියල් බිලියන 77.9ක් වෙන් කර ඇති අතර වාරිමාර්ග සඳහා තවත් රුපියල් බිලියන 93ක මුදලක් වෙන් කර තිබේ.

විශ්වාසදායක, දැරිය හැකි මිලකට ලබාගත හැකි සහ තිරසාර බලශක්ති සැපයුමක් සඳහා රුපියල් බිලියන 30.2ක් වෙන් කර ඇති අතර එයට රුපියල් බිලියන 29ක ප්‍රාග්ධන වියදම් ද ඇතුළත් වේ.

නිවාස සඳහා රුපියල් බිලියන 64.1ක් වෙන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 42ක් සහ නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 7.4ක් වෙන් කර ඇත.

පවතින වත්කම් නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 241ක මුදලක් හඳුනාගෙන තිබේ. එයට නඩත්තු කටයුතු සඳහා රුපියල් බිලියන 50ක් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියන 191ක් ඇතුළත් වේ.

මෙම ප්‍රතිපාදන යටතේ මාර්ග සඳහා රුපියල් බිලියන 40.6ක්, දුම්රිය ප්‍රවාහනය සඳහා රුපියල් බිලියන 19.5ක් සහ වාරිමාර්ග සඳහා රුපියල් බිලියන 22.9ක් වෙන් කර තිබේ.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව 

මෙම ප්‍රතිපාදන මගින් සැලකිය යුතු අවස්ථා නිර්මාණය වුවද, ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය, තාක්ෂණික සහ මානව සම්පත් ධාරිතාවයකින් යුත් ඉදිකිරීම් කර්මාන්තයක් අවශ්‍ය වේ.

ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් අභියෝග රැසකට මුහුණ දෙයි. ඒ අතර ගෙවීම් ප්‍රමාද වීම, අමතර වැඩ සඳහා අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය, වැඩ වෙනස් කිරීම් සහ විෂය පථයේ වෙනස්කම්, කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහන ගැටලු‍, අසාධාරණ ගෙවීම් කප්පාදු කිරීම්, දැරිය හැකි මිලකට කාරක ප්‍රාග්ධනය සහ මූල්‍ය ඇපකර ලබාගැනීමේ සීමිත අවස්ථා, නිපුණ ශ්‍රමිකයන්ගේ හිඟය, ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයුමේ බාධා, පරිපාලනමය ප්‍රමාදය සහ කොන්ත්‍රාත්කරුවන්ට ව්‍යාපෘති සඳහා අවශ්‍ය සම්පත් යෙදවීමේදී ඇතිවන සීමා ඇතුළත් වේ.

ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වෙනස්වීම් සහ මිල ඉහළ යාම කොන්ත්‍රාත්කරුවන්ට දරාගත නොහැකි මට්ටමේ බලපෑමක් ඇති කරන බව දCIOB  පෙන්වා දෙයි.

මෙම බාධා ව්‍යාපෘති ආරම්භ කිරීම සහ අවසන් කිරීම කෙරෙහි බලපෑම් ඇති කරන අතර උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සහ සේවකයන් මත ද මූල්‍ය පීඩනයක් ඇති කරයි.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ප්‍රායෝගික බාධා විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් CIOB  ආයතනය 2027 වසර සඳහා වන ඉදිකිරීම් කර්මාන්ත අයවැය යෝජනාවලිය රජයට ඉදිරිපත් කර තිබේ.

ඒ අතරට ගෙවීම් විධිමත් හා කාලෝචිත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශේෂිත වූ මූල්‍ය පහසුකම් සහ ඇපකර ලබාගැනීමේ අවස්ථා වැඩිදියුණු කිරීම, ජාතික ඉදිකිරීම් ශ්‍රම බලකා සංචිතයක් (National Construction Labour Force Pool)  පිහිටුවීම සහ ඉදිකිරීම් ද්‍රව්‍ය හා සැපයුම් පිළිබඳ තොරතුරු වේදිකාවක් (Construction Materials and Supply Information Platform) ස්ථාපිත කිරීම ඇතුළත් වේ.

ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒවායේ සූදානම සහතික කිරීම, විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්, වැඩිදියුණු කළ කොන්ත්‍රාත් කළමනාකරණයක් සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වැදගත්කම ද CIOB  ආයතනය අවධාරණය කර තිබේ.

ශක්තිමත් ඉදිකිරීම් කර්මාන්තයක් සඳහා

මෙම ආයෝජනවල ප්‍රතිලාභ අවසන් වූ යටිතල පහසුකම්වලට පමණක් සීමා නොවේ. ඒවාට සේවකයන් සඳහා රැකියා අවස්ථා, දේශීය කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා ව්‍යාපාරික අවස්ථා, පවුල් සඳහා ආදායම් සහ ප්‍රජාවන් සඳහා අත්‍යවශ්‍ය සේවා වෙත වඩාත් පහසු ප්‍රවේශයක් ද ඇතුළත් වේ.

ඉදිකිරීම් ආශ්‍රිත ජීවනෝපායන් සහ යටිතල පහසුකම් සංවර්ධනය මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා මෙම ප්‍රතිලාභ විශේෂයෙන් වැදගත් වේ.

මෙම අයවැය ප්‍රතිපාදන මැනිය හැකි ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා රජය සහ ඉදිකිරීම් කර්මාන්තය අතර ඵලදායී සහයෝගීතාව අත්‍යවශ්‍ය බව CIOB  ආයතනය විශ්වාස කරයි.

මූල්‍යමය වශයෙන් ඔරොත්තු දෙන, නිපුණතා සහිත සහ කාර්යක්ෂම දේශීය ඉදිකිරීම් කර්මාන්තයක් පැවතීම ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමටත්, රාජ්‍ය ආයෝජන මගින් ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට දිගුකාලීන වටිනාකමක් ලබාදීමටත් අත්‍යවශ්‍ය වනු ඇත.