සුනාමියට හසුවී 2004 දි මියයන්නට ඇතැයි සිතා සිටි දැරියක් වසර 10ට පසු ඉන්දුනීසියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවුරුදු හතරක් වයසැති රවුදාතුල් ජනා හා අවුරුදු හතක් වයසැති ඇගේ සොහොයුරා 2004 දෙසැම්බර් 26 දින වෙරළ ආසන්නයේ තම දෙමාපියන් සමග සිටිය දී සුනාමියට හසුවූහ. ඔවුන් වතුරේ ගසාගෙන ගිය බවත් සුනාමි වතුර පැමිණි අවස්ථාවේ මේ අයියා නගෝ දෙදෙනා ලී කොටයක නැගී සිටිනු අවසන්වරට දුටු බවත් දෙමාපියෝ කියති. මවත් පියාත් දිවි ගලවාගෙන ඇත. තම දරුවන් දෙදෙනා ද ලී කොටය සමග පාවී ගොස් ජීවිතය බේරාගන්නට ඇතැයි සිතා වසර කිහිපයක් ම ඔවුන් දෙදෙනා ගැන සොයා බැලුව ද පසුව ඔවුන් මියන්නට ඇතැයි සිතා සෙවීම් අතහැර දැමිණි.

පසුගිය ජුනි මාසයේ දැරියගේ මවගේ සොහොයුරා ජනාගේ හැඩරුවට සමාන රුවක් ඇති දැරියක මහ මගදී දැක ඇය පිළිබඳ විමසිලිමත් වූවේය. ඔහුට දැනගැනීමට ලැබුණේ 2004 සුනාමියෙන් පසු ඇය ඉන්දුනීසියාවේ අප්‍රකට දූපතකට පාවී ගිය බවයි. ඇගේ දිවි ගලවාගෙන තිබුණේ මසුන් මරන්නන් විසිනි. එක් ධීවරයකු මේ දැරිය ගෙනගොස් ඔහුගේ මවගේ භාරයේ තබාගෙන සිටියේය. ජනා එහිදී ‘වෙනි‘ නම් වූවාය.

දැරිය හඳුනාගැනීමෙන් පසු ඇය යලි උපන් නිවසට කැඳවාගනෙ එනු ලැබිණි. ජනාගේ සැබෑ මව ජමෙලියා පවසන්නේ ජනා ඇගේ දියණිය බවට කිසිදු සැකයක් නොමැති බවයි. යමකු ඒ ගැන සැක උපදවන්නේ නම් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පසුබට නොවන බව ද ඇය පවසයි. සුනාමියෙන් ඇතිවූ කම්පනය ජනාගේ සිතේ තවමත් පැලපදියම් වී ඇත. ඇය කතා කරන්නේ ඉතා අඩුවෙනි. වයස අවුරුදු 14ක් වුව ද ඇය ඉගෙනුම ලබන්නේ හතරවැනි ශ්‍රේණියේය.

ජනා පවසන්නේ තම සොහොයුරා ද තමන් මෙන් සුනාමියෙන් දිවි ගලවාගත් බවයි. නමුත් ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ඇය දන්නේ නැත. ඉන්දුනීසියාවේ මාධ්‍ය දැන් ජනාගේ සොහායුරා සොයා මාධ්‍ය ප්‍රචාරයක යෙදී සිටියි. සුනාමියේ දස වර්ෂ පූර්ණය සැමරීමට ඇගේ සොහොයුරා සොයාගත යුතුය යන්න බොහෝ දෙනාගේ අදහස වී ඇත.

Tsunami malay (1) Tsunami malay (2) Tsunami malay (3) Tsunami malay (5) Tsunami malay (6) Tsunami malay (7) Tsunami malay (8) Tsunami malay (9) Tsunami malay (10) Tsunami malay (11)