පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ සටන්කාමී නායක හකිමුල්ලා මෙෂූඞ් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් මිය යන්නට ඇතැයි පාකිස්තාන බුද්ධි අංශ සැක පළ කරයි. පාකිස්තාන බුද්ධි අංශ මේ බව පැවැසුවේ තලේබාන් සටන්කාමීන්ගේ රේඩියෝ පණිවුඩවලට හොරෙන් ඇහුම්කන් දීමෙනි. හකිමුල්ලා මෙෂූඞ් තවත් තලේබාන් ජ්‍යෙෂ්ඨයන් ද සමඟ උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන් දේශසීමාවේ මිරන්ෂා නගරයට රිය පෙරහරකින් යමින් සිටිද්දී ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එම රියපෙරහරට පහර දී ඇතැයි එම රේඩියෝ පණිවුඩවල සඳහන් වූ බව පාකිස්තාන බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටියි. කෙසේ නමුත් තම නායකයා මිය ගියැයි පාකිස්තාන තලේබාන් සටන්කාමීන් නිල වශයෙන් පිළිගෙන හෝ ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර හෝ නැත. හකිමුල්ලා මෙෂූඞ් පාකිස්තානයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූ අයෙකි. පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් රැසක් සිදු කළේ ඔහුය. පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ද අල් කයිඩාව සමඟ සමීප සබඳතා පවත්වන බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වී තිබේ. මෙෂූඞ්, තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්වූයේ 2009 වසරේදීය. ඒ, ඔහුට පෙර නායකත්ය දැරූ බයිතුල්ලා මෙෂූඞ් නියමුවන් රහිත ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මිය යෑමෙන් පසුවය.