අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ නැගෙරහිර පළාත්වල සීඝ්‍රයෙන් පැතිරෙන, මාරාන්තික ඉබෝලා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම ගැටලුවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් අනතුරු අගවයි.

මේ වනවිට කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන අවසන්ය.

ඊයේ (13) වනවිට වයිරසය ආසාදනය වූවන් ගණන 4,500 ක් බව වාර්තා විය. එම පිරිසෙන් 2,000 කට වැඩි ගණනක් මේ වනවිට මියගොස් ඇතැයි ද පැවැසෙයි. කොංගෝවේ අසල්වැසියකු වන උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් සහ මරණ වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙය ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම ඉබෝලා වයිරස ව්‍යාප්තිය බවය. වයිරස ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි මාසයේය.

මෙම ඉබෝලා වයිරස ප්‍රභේදය, 'බුන්ඩිබුගියෝ' යන නමින් හැඳින්වෙන, ඉබෝලා වයිරස ප්‍රභේදයේ ද අලුත් ප්‍රභේදයක් බවය.

කොංගෝව, උගන්ඩාව සහ බෙල්ජියම යන රටවල පර්යේෂකයන් එක්ව කොංගෝවේ සහ උගන්ඩාවේ රෝගීන් 22 දෙනකුගේ වයිරස සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී තහවුරු වී ඇත්තේ මෙය 2007 සහ 2012 වසරවල පැතිර ගිය බුන්ඩිබුගියෝ ප්‍රභේදවලට වඩා ජානමය වශයෙන් වෙනස් නව වයිරස ප්‍රභේදයක් බවය.

කෙසේ නමුත්, මෙම නව බුන්ඩිබුගියෝ ප්‍රභේදය මනුෂ්‍යයන්ට ආසාදනය වීම ආරම්භ වූයේ කුමන සත්වයා හරහා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රධාන ඉබෝලා වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වූයේ වවුලන් හරහා බව තහවුරු වී ඇත. එය සයරේ ප්‍රභේදය ලෙස හැඳින්වෙයි. සයරේ යනු කොංගෝව හැඳින්වූ පැරැණි නාමයයි. මෙම මුල් ඉබෝලා වයිරසයෙන් ආරක්ෂා වීමට සාර්ථක එන්නතක් නිපදවා ඇත.