චීන මුහුදේ මනුෂ්‍ය වාසයක් නැති කුඩා දිවයින්වල අයිතිය පිළිබඳව කලාපීය රටවල් අතර පවතින මතභේදයට දීර්ඝ ඉතිහාසයක් පවතින නමුත් ඒවා සන්නද්ධ ගැටුම් දක්වා යන උණුසුම්කාරී තත්ත්වයකට පත් වූයේ මෑතකදීය. චීනය ජපානය පරදවා ලොව දෙවන විශාල ආර්ථිකය බවට පත් වීමෙන් දැක්වෙන ආර්ථික ශක්තිය දේශපාලන වශයෙන් ද තහවුරු කිරීමට උත්සාහ කරන නිසා කලක් තිස්සේ පැවති මතභේද වඩාත් උත්සන්න වූ බව බටහිර ජනමාධ්‍ය නිතර අවධාරණය කරයි. අනෙක් අතට ලොව එකම සුපිරි බලවතා වන එක්සත් ජනපදය නැවත වරක් සිය අවධානය පැසිපික් කලාපයට යොමු කිරීම ද වැදගත් සාධකයකි. ඒ අනුව වසර 2020 වන විට සිය නාවික බලයෙන් සියයට 60ක් පැසිපික් කලාපයේ ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර කලාපයේ රටවල් අතර ආරක්‍ෂක ගිවිසුම් අලූත් කිරීම හා හමුදා පහසුකම් පුළුල් කිරීම දිගටම කර ගෙන යයි. ඔස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් වරායේ නාවික හමුදා කඳවුරක් ඉදි කිරීමට පියවර ගෙන ඇති අතර ජපානයේ දකුණු ප‍්‍රදේශයේ නව රේඩාර් මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ ගිවිසුමක් පසුගිය සතියේ අත්සන් කෙරිණ. මෙම රේඩාර් මධ්‍යස්ථානය පිහිටුවන්නේ ජපානයේ උතුරේ පිහිටුවා ඇති රේඩාර් මධ්‍යස්ථානයට අමතරවය. ඒ සමගම ආසියානු රටවල සංචාරයක යෙදුන එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ලියොන් පනේටා ජපානය සමග තවත් ආරක්‍ෂක ගිවිසුමක් ද අත්සන් කෙළේය. ඒ අනුව ජපානයට එල්ල වන විදේශ ප‍්‍රහාරයක දී එක්සත් ජනපදය ජපානයේ ආරක්‍ෂාවට ඉදිරිපත් වනු ඇත. මෙම සියලූ සැලසුම්වල ප‍්‍රතිඵලය වන්නේ ජපානය හා චීනය අතර කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති සෙන්කකු (මේ දුපත් චීනය නම් කර ඇත්තේ දියාඞ්යු නමිනි). දුපත්වල අයිතිය ගැන ගැටුම්කාරි තත්ත්වයක් උද්ගත වීමය. ජපානය එම දුපත් අසල මුහුදේ මසුන් මැරීමේ යෙදී සිටින චීන ධීවර යාත‍්‍රා ගණනාවක් අත්අඩංගුවට ගැනීමත් සමග චීනයේ ප‍්‍රධාන නගරවල ජපන් විරෝධී පෙළපාලි, උද්ඝෝෂණ ඇති විය. පෙළපාලිකරුවන් බීජිං නගරයේ දී ජපානයේ තානාපති කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ ද පොලිසියේ බාධක නිසා එය වැළැක්විණි. එහෙත් පෙළපාලිකරුවෝ ජපන් තානාපතිවරයාගේ නිල රථයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළහ. දෙවන ලෝක යුද්ධ සමයේ දී ජපානය, චීනය ආක‍්‍රමණය කොට යටපත් කිරීම ගැන චීන ජාතිකයින් තුළ පවතින විරෝධය නැවත ඉස්මතු වීමක් සේ දැකිය හැකි මෙම උද්ඝෝෂණය රජයට පාලනය කිරීමට නොහැකි මට්ටමක් කරා ළඟා වෙන බවක් පෙනිණ. චීන රජයට ජපානය හමුවේ නිවට බවක් දක්වන්නේ යැයි  උද්ඝෝෂකයින්ගෙන් චෝදනා නැගුණ නිසා රජයේ ස්ථාවරය වඩා දැඩි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් චීන නාවික හමුදාවේ ප‍්‍රහාරක නැවක් අර්බුදයට තුඩු දුන් දුපත් අසලට ගිය අතර ජපානය ද තම ප‍්‍රහාරක නැව් ඒ අසලටත් යැවූ බව වාර්තා වේ. මෙම යාත‍්‍රා අතර පවතින දුර ප‍්‍රමාණය කි.මී. 100ක් පමණ වීමෙන් කිසියම් ප‍්‍රකෝපකාරී සිද්ධියක් නිසා ගැටුමක් හට ගැනීමේ අවදානම වැඩිය. මනුෂ්‍ය වාසයට නුසුදුසු මෙම දුපත්වල අයිතිය පිළිබඳව දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් උදා වීමෙන් පළමුවෙන් අනතුරට ලක් වෙන්නේ ආර්ථිකයයි. චීනය ජපානයේ ප‍්‍රධාන වෙළෙඳ ගනුදෙනුකරුවා වන අතර 2011 වසරේ දී මෙම ගනුදෙනු කලින් වසර හා සසඳන විට ඩොලර් කෝටි 34,500කින් එනම් සියයට 14.3කින් ඉහළ ගියේය. එහෙත් මෙම ගැටුම්කාරී තත්ත්වය උදා වීමත් සමග ජපන් ජාතිකයින්ගේ ආරක්‍ෂාව ගැන ප‍්‍රශ්න මතු වූ නිසා සමහර කම්හල් වසා දැමීමට සිදු විය. චීනය ජපානයේ වාහන අලෙවිය පිළිබඳ ප‍්‍රධාන වෙළෙඳපොළ වුව ද පසුගිය කාලය තුළ එය ශීඝ‍්‍ර පසුබෑමකට ලක් විය. එක් වාර්තාවක සඳහන් වන ආකාරයට චීනයේ ප‍්‍රධාන නගරවල ප‍්‍රදර්ශනාගාරවල ඇති ජපන් කාර් ප‍්‍රමාණය දැන් සියයට 90කින් පහත වැටී ඇත. චීනයේ වඩාත්ම කාර්මිකකරණය වූ ගුවාන්ග් ඩොන් ප‍්‍රදේශයේ ජපන් කාර් අලෙවිය සියයට 60කින් පහත වැටිණ. මීට අමතරව චීනයට භාණ්ඩ අපනයනය කිරීමේ දී රේගු කටයුතුවලින් අනවශ්‍ය ප‍්‍රමාද කිරීම් සිදු වන බව ද වාර්තා වේ. මේ සියලූ තත්ත්වවලින් පැහැදිලි වන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ ගැටුම් දැනටමත් හට ගෙන තිබීමය. කලාපයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන මෙම ගැටුම්කාරී තත්ත්වය දෙරටේම දේශපාලකයින්ට තම ජනපි‍්‍රයතාව පවත්වා ගැනීමට උපකාර වන බව ද අමතක නොකළ යුතුය. ජනපි‍්‍රයතාවෙන් පහළම ස්ථානයකට පත්ව සිටින ජපන් අගමැති යොපිකො නෝඩා ඉදිරියේ දී මහා මැතිවරණයකට මුහුණ දිය යුතු නිසා පිරිහී ගිය තත්ත්වය ගොඩ ගැනීමට ඔහුට ජාතිවාදී හැඟීීම් උත්සන්න කිරීම ප‍්‍රයෝජනවත්ය. දුෂණ මෙන්ම වැරදි ප‍්‍රතිපත්ති තීරණ නිසා චෝදනා එල්ල වී ඇති චීන රජයේ නායකත්වයට ද මෙවැනි ගැටුම් සිය ප‍්‍රතිරූපය නැවත ගොඩ නගා ගැනීමට අවස්ථාවක් විය හැකිය. සුපිරි බලවතා වන එක්සත් ජනපදයට මේ තුළින් චීනය කොටු කිරීමට අවස්ථාවක් සැලසෙන නිසා ගැටුම් උත්සන්න වීම තම අභිලාසවලට ගැලපේ. අනෙක් අතට චීනයේ අවධානය දුපත්වල අයිතිය කෙරේ යොමු වීමෙන් එක්සත් ජනපදයට ඉරානය පිළිබඳව වඩාත් ප‍්‍රකෝපකාරී පියවර ගැනීමට බාධාවක් වන්නේ ද නැත. මෙවැනි පසුබිමක් තුළ කලාපීය රටවල් දුපත්වල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය වඩාත් යථාර්ථවාදීව විසඳා ගැනීමට ඉදිරිපත් නොවන්නේ නම් දේශපාලන මෙන් ආර්ථික නස්පැත්තියක් කරා යෑම වැළැක්විය නොහැකිය. ලොව පුරාම තම දේශපාලන හා ආර්ථික වුවමනාවන් ආරක්‍ෂා කරගැනීම හා තහවුරු කරගැනීම උදෙසා එක්සත් ජනපදයට මෙවැනි ගැටුම් ප‍්‍රයෝජනවත් වුව ද ඒවා අනෙක් රටවලට ඉන් සිදු විය හැක්කේ හානියක් පමණි. එහෙත් එය දේශපාලන වශයෙන් ග‍්‍රහණය කරගැනීම බොහෝ දෙනාට පහසු කාර්යයක් නොවන බව පැහැදිලිය.
සටහන: මහින්ද හත්තක
ජපානයට විරුද්ධව චීනයේ උද්ඝෝෂණ චීනයේ විදේශ ඇමැති ඇමරිකාවේ  රාජ්‍ය ලේකම්වරිය හිලරි සමඟ ජපානයේ යුධ නෞකා වියට්නාම ජනතාව චීනයට එරෙහිව දැඩි විරෝධතාවක