බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී පිහිටුවාගත් ‘බි්‍රක්ස්’ සංවිධානයේ, විදෙස් අමාත්‍යවරුන්ගේ දෙදින සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ විය.

විදෙස් අමාත්‍යවරුන්ගේ හමුව මෙසේ පැවැත්වෙන්නේ, එලැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක හමුවට පෙරය. 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක හමුව පැවැත්වෙන්නේ ද ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීය. මේ වනවිට තවත් රටවල් රැසක් බ්‍රික්ස්  සාමාජිකයන් ලෙස එක් වී සිටී. 

ආරම්භ වුණු බ්‍රික්ස්  විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ප්‍රධාන අවධානය යොමු වූයේ ඇමෙරිකා ඉරාන යුද්ධය කෙරෙහිය. ඇමෙරිකා ඉරාන යුද්ධයට තවත් පැහැදිලි විසඳුමක් ලැබී නොමැත. එය කොයිමොහොතේ හෝ යළි ඇවිලී යෑමට ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

නවදිල්ලියේ ආරම්භ වුණු විදෙස් අමාත්‍ය හමුවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, දකුණු අප්‍රිකාවේ රොනල්ඩ් ලැමෝලා සහ බ්‍රසීලයේ මවුරෝ වියෙිරා මෙන්ම ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද සහභාගී වෙති. චීන විදේශ අමාත්‍යවරයා වෙනුවට සමුළුවට සහභාගී වන්නේ ඉන්දියාවේ චීන තානාපතිවරයාය.

සමුළුවට සමගාමීව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අතරේත්, ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.

බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ නිල තේමාව ‘අභියෝග ජය ගැනීම, නවෝත්පාදනය, සහයෝගීතාව සහ තිරසාරත්වය’ යන්නය. බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව, මෙසේ නවදිල්ලියේ පැවැත්වෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය පැවැත්වෙන අතරතුරේය.

ට්‍රම්ප් සිය දෙවැනි ධුරය ආරම්භ කිරීමෙන් පසු චීනයේ නිල සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ද චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.