තම සේවා දායකයන්ගේ  පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන බව ගූගල් සමාගම පිළිගෙන තිබේ.

ගූගල් සමාගම මේ බව පිළිගෙන ඇත්තේ අන්තර්ජාල පරිශීලකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඇමරිකා සංවිධානයක් වන බිග් බ‍්‍රදර් වොච් සංවිධානය ගූගල් සමාගම සිය සේවා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන්නේයැයි අධිකරණයේ පැවැරූ නඩුවක් හමුවේය.

ගූගල් සමාගම සිය විද්‍යුත් තැපැල් සේවය වන ජීමේල් පරිහරණය කරන්නවුන්ගේ ගිණුම් වලට පැමිණෙන විද්‍යුත් තැපැල් පත් විවෘත කර බලන බව ‘බිග් බ‍්‍රදර් වොච්’ සංවිධානය චෝදනා කර තිබේ.ගූගල් සමාගම මෙසේ පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් පත් විවෘත කර බලන්නේ ඒවායේ අන්තර්ගත කරුණු වලට ගැලපෙන වෙළද දැන්වීම් අදාළ පරිශීලකයාගේ ජීමේල් ගිණුමේ දර්ශනය කරවීමට බවත් ඔවුන් පවසා ඇත.

මෙයට පිළිතුරු ලෙස ගූගල් සමාගම දක්වා ඇත්තේ ව්‍යාපාරිකයකුට පැමිණෙන ලියුම් ඔහුගේ කාර්යාල සහයකයා විසින් විවෘත කර බලන්නා සේම ජීමේල් ගිණුමකට එන විද්‍යුත් තැපැල් පතක් තම සමාගම පිහිටුවා ඇති ආරක්ෂණ පද්ධතී වලින් විවෘත කර බලන බවයි.කෙසේ වුවත් වෙළද දැන්වීම් ගැන නැඟී ඇති චෝදනාවට ගූගල් සමාගම මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ අතර හෙළිවී ඇති තවත් කරුණක් වන්නේ ගූගල් සමාගම ජංගම දුරකථන වලට සපයන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලූත්ම සංස්කරණයේ ඇති එක් අංගයකින් අන්තර්ජාලයේ සරන්නේ නැති විටකදී වුවද අදාළ දුරකථනය තිබෙන ප‍්‍රදේශය සොයාගත හැකි බවයි.

පරිශීලකයන්ට තමන් සිටින ස්ථානයේ පිහිටීම ගැන වඩාත් නිරවද්‍ය තොරතුරු ලබාගැදීමේ අරමුණින් මේ අංගය හදුන්වාදී ඇතැයි පැවැසුණද පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන මෙය ගූගල් සමාගම ඔත්තු බැලිමට යොදාගන්නා තවත් ක‍්‍රමයක් ලෙස හදුන්වාදේ.

වර්තමානයේ ලාබ ඉපයීමේ අරමුණින් පමණක් කි‍්‍රයාත්මක වන ගූගල් සමාගමෙන් පෙර පරිදි විශ්වාසවන්ත සේවාවන් ලබාගැනීමේ කාලය අවසන්ව ඇතැයි මෙම සංවිධාන වල මතයයි.