ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක් වූ රටක් වශයෙන් හැඳින්වෙන ඊජිප්තුවේ සැබෑවටම බලය රැඳී ඇත්තේ කුමන ආකාරයෙන් හෝ මහජන ජන්දයෙන් තේරි පත් වූ ජනාධිපතිවරයාට ද නැතිනම් ආඥා මගින් සිය බලය ප‍්‍රකාශ කරන සන්නද්ධ හමුදාවට ද යන අභියෝගය දැන් ඉදිරිපත්ව ඇත. ඒ පසුගිය ජුනි 30 වැනිදා හමුදාව වෙතින් බලය ලබාගත් නව ජනාධිපති මොහමඞ් මොර්සි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කළ නියෝගයක් සමඟය. පසුගියදා පැවති මහා මැතිවරණයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවේ ආසනවලින් තුනෙන් එකක් ස්වාධීන අපේක්‍ෂකයන්ට හිමි විය යුතු වුවත් එම ආසන දේශපාලන පක්‍ෂ විසින්  හිමි කර ගෙන ඇති නිසා පාර්ලිමේන්තුව නිත්‍යානුකුලව තේරීපත් වී නැතැයි එරට ශ්‍රේෂ්ඨධිකරණයෙන් තීරණය කිරීමෙන් පසු ව්‍යවස්ථා අධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ ජනාධිපතිවරණය ආසන්නයේදීය. ඉන්පසු ක‍්‍රියාත්මක වූ හමුදාවේ උත්තරීතර මණ්ඩලය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පදානය කිරීම තමන් වෙත පවරාගෙන ජනාධිපතිවරයා සතු බලතලවලින් සෑහෙන කොටසක් අත්කර ගත්තේය. ජුනි 30 වැනිදා අලූතින් තේරීපත්වූ ජනාධිපතිවරයාට භාර දුන්නේ කප්පාදු කරන බලතල සහිත ධුරයකි. ජනාධිපති ධුරයේ වැඩ භාරගත් මොර්සි හමුදාව සහ අධිකරණය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව මුල් දින කීපයේදී දැක්වුව ද අධිකරණ නියෝගයෙන් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ගත් තීරණය ඔවුන් අපේක්‍ෂා කළේ නැත. ජනාධිපති මොර්සි එම පාර්ලිමේන්තුව නැවත කැදවූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසු නැවත ඡුන්ද විමසීමක් පැවැත්වීමේ කොන්දේසියක් සමඟය. එහෙත් ජනාධිපති මොර්සිගේ මෙම තීරණය අධිකරණයේ මෙන්ම හමුදාවේද ප‍්‍රසාදයට හේතු වූයේ නැත. ජනාධිපතිවරයාගේ නියෝගය නිකුත් කිරීමෙන් පසු හදිසි රැස්වීමක් කැදවූ හමුදා උත්තරීතර මණ්ඩලය තමන් නිත්‍යානුකූල භාවය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා නීතිය රැකීමට කැපවී සිටින බව නැවත අවධාරණය කළේය. එමෙන්ම පසුගිය සඳුදා රැස් වූ ව්‍යවස්ථා අධිකරණය තමන් කලින් ගත් තීරණය නොවෙනස් වන බවත් ඉන් සියලූ දෙනා බැඳී සිටින බවත් පෙන්වා දුන්නේය. ගැටුම ඇති වන්නේ ජනාධිපති නියෝගය අනුව නැවත රැස්වන පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කිරීමත් සමඟය. බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප‍්‍රබල හේතුවක් වූයේ එහි මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 70 ක් පමණ ආගමික නැඹුරුවකින් යුත් පක්‍ෂ නියෝජනය කරන නිසා නව ව්‍යවස්ථාව ඔවුන්ට ගැලපෙන ආකාරයට සකස් කරනු ඇතැයි තිබූ බියයි. ව්‍යවස්ථා අධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සිටම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කමිටුවේ සංයුතිය හමුදාවේ දැඩි අවධානයට ලක් වූ කාරණයකි. හොස්නි මුබාරක්ගේ ඒකාධිපති පාලනය යටතේ සන්නද්ධ හමුදාවලට හිමිව තිබූ වරප‍්‍රසාදිත තත්ත්වය වෙනස්වනු දැකීමට ඔවුන් කිසිසේත් කැමති වූයේ නැත. ව්‍යවස්ථාධිකරණයේ නියෝගය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම හා ජනාධිපතිවරයාට හමුදාව සම්බන්ධයෙන් තිබූ සියලූ බලතල ඔවුන් වෙත පවරා ගැනීම සිදු කළේ එම නිසාය. නව ජනාධිපතිවරයා නාමික විධායකයෙක් බවට පත් කිරීමත් සැබෑවටම බලය ඔවුන් වෙත තබා ගැනීමත් සන්නද්ධ හමුදාවල අරමුණ විය. එහෙත් අඩුපාඩු සහිතව හෝ මහජන ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය සන්නද්ධ හමුදා පාලනයට නතුකළ හැකිද යන්නත් එසේ කිරීම සුදුසුද යන්නත් අරාබි වසන්තයක් ගැන කතා කරන කවරෙකු හෝ නැගිය යුතු ප‍්‍රශ්නයකි. අවසාන වශයෙන් ඒකාධිපති පාලකයෙක් පත්කරන ලද අධිකරණයක් හා මහජන මුදලෙන් නඩත්තුවන හමුදාවක් ජනතා පරමාධිපත්‍යය හැසිරවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඩතුරාවකින් ආවරණය කළ හැකි ද යන්නත් වැදගත්ය. සමහර ගති ලක්‍ෂණ පැහැදිලිවන ආකාරයට මුස්ලිම් සහෝදරත්වයෙන් හේ අනෙකුත් ආගමික කණ්ඩායම්වලින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි වුව ද එය හමුදාවට අභිමත ආකාරයට ක‍්‍රියා කිරීමට බලපත‍්‍රයක් විය නොහැකිය.
සටහන - මහින්ද හත්තක
ඊජිප්තු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඊජිප්තු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නව ජනාධිපති මෝර්සි ඊජිප්තුවේ නව ජනාධිපති (මැද) එරට සන්නද්ධ කණ්ඩායම්වල සුපිරි කවුන්සිලය සමඟ මෝර්සිගේ ආධාරකරුවෝ