පසුගිය වසරේ මැද භාගයේ දී ඉන්දියාවේ දුෂණ හා වංචාවලට එරෙහිව අනා හසාරෙගේ නායකත්වයෙන් ගොඩනැගුණු ජනතා ව්‍යාපාරය දෙවැනි නිදහස් සටන ලෙස හැඳින්වීමට තරම් සමහර නිරීක්‍ෂකයෝ උනන්දු වූහ. ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකින්ම බැහැරව ස්වාධීන ජනතා ව්‍යාපාරයක් ලෙස ප‍්‍රකාශයට පත් දුෂණ විරෝධයට සමාජයේ සියලූම ජන කොටස්වල සහාය ලැබුණ නිසා පාලක කොංග‍්‍රස් සභාගයට එය නොසලකා සිටීමට අසීරු විය. ඒ අනුව අනා හසාරේ ගේ කණ්්ඩායමේ ප‍්‍රධාන ඉල්ලීම වූ ලෝක්පාල් පනතක් කෙටුම් පත් කිරීමට සිවිල් සංවිධාන සම්බන්ධ කර ගැනීමට කොංග‍්‍රසයට සභාගයට සිදු වූ අතර එම පනත පසුගිය වසරේ ශීත ඍතුවේ ලෝක් සභා නිවාඩුවට පෙර සම්මත කර ගැනීමට ද එකඟතාවක් තිබිණ. දැන් දෙවැනි ශීත ඍතුවත් එළඹ තිබුණ ද ලෝක් පාල් පනතක් සම්මත කර ගැනීමට කිසිවෙක් උනන්දු වන බවක් නොපනේ. ඒ වෙනුවට පසුගිය වසර අවසන් වන විට ප‍්‍රබල සාමූහික නායකත්වයක් පෙන්නුම් කළ හසාරේ කණ්ඩායම දැන් දෙකඩ වී ඇති අතර දුෂණ විරෝධී ව්‍යාපාරයේ ප‍්‍රවේගය ද දුර්වල වෙමින් පවතින බව පෙනේ. ලෝක්පාල් පනත කෙටුම්පත් කිරීම හා දුෂණ හා වංචා විරෝධී ව්‍යාපාරයේ උපාය මාර්ග පිළිබඳව එහි ප‍්‍රධානීන් වන අනා හසරේ හා අර්වින්ද් කෙජ්රිවාල් අතර මතභේද පැන නැගීම නිසා ව්‍යාපාරයේ ද බෙදීමක් ඇති විය. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂ දෙකම දුෂණ හා වංචා වැළැක්වීමට අවංකව සහාය නොදෙන බවට තර්ක කළ කෙජ්රිවාල් එම සටන දේශපාලන ව්‍යාපාරයක් විය යුතුයැයි යෝජනා කළේය. එහෙත් ව්‍යපාරයේ ජනප‍්‍රිය නායකයා වූ අනා හසාරේ ඊට එකඟ වූයේ නැත. දුෂණ විරෝධී ව්‍යාපාරයට සහාය නොදෙන නිසා කොංග‍්‍රස් පක්‍ෂය පැරදවිය යුතු යැයි ඔහු පවැසුව ද ජයග‍්‍රහණය කරවිය යුත්තේ කවුරුන් ද යන්න ගැන නිශ්චිතවම සඳහන් කළේ නැත. මේ නිසා ඔහු හින්දු ජාතිවාදී පක්‍ෂයක් වන ආර්.එස්.එස්. අනුමත කරන්නේ යැයි සමහරු තර්ක කළහ. කෙසේ වුවත් හසාරේ කණ්ඩායමේ සම්බන්ධීකරණ නායකයා වූ කෙජ්රිවාල් දේශපාලන පක්‍ෂයක් පිහිටු වීමට තීරණය කිරීමත් සමග හසරේ ඔහු සමග පැවැත්වූ සියලූ සම්බන්ධතා අත්හැරියේය. ඉදිරියේ දී එළඹෙන ප‍්‍රාන්ත සභා හා ලෝක් සභා ඡන්ද විමසීම් සඳහා සූදානම් වන කෙජ්රිවාල් දුෂණ හා අයථා ගනුදෙනු ගැන දිගින් දිගටම හෙළිදරව් කරයි. එම නිසා ඔහුට කොංග‍්‍රස් පක්‍ෂයෙන් මෙන්ම භාරතීය ජනතා පක්‍ෂයෙන් ද ප‍්‍රහාර එල්ල වේ. දුෂණ හා වංචා පිළිබඳව ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම හා ලෝක්පාල් පනතක් සම්මත කර ගැනීම පිිළිබඳ බලාපොරොත්තු ඈත් වුවද ඉන්දියානු දේශපාලනයේ පවතින අඳුරු පැත්ත පිළිබඳව තොරතුරු මතුපිටට පැමිණීම වැදගත් ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර ප‍්‍රසිද්ධියට පත් නොවන එකඟතා පවතින බව හෙළි වූයේ සෝනියා ගාන්ධිගේ දියණිය වන ප‍්‍රියන්කාගේ ස්වාමිපුරුෂයාගේ ගනුදෙනු හා භාරතීය ජනතා පක්‍ෂයේ සභාපති නිතින් ගොඞ්කාරිගේ ඉඩම් ගනුදෙනුවක් ප‍්‍රසිද්ධියට පත් කිරීමත් සමගය. කෙජ්රිවාල් හෙළි කළ තොරතුරු අනුව සෝනියා ගාන්ධිගේ බෑනා වන රොබට් වද්‍රා දේපල වෙළඳාම් සමාගමක් සමග හර්යානා ප‍්‍රාන්තයේ සිදු කළ ඉඩම් ගනුදෙනුවක් තුළින් ඉමහත් ලාබයක් උපයා ගෙන ඇත. මෙම ගනුදෙනුවට සම්බන්ධ ඉඩම් කොංග‍්‍රස් පාලනය යටතේ ඇති හර්යානා ප‍්‍රාන්ත රජය ගොවීන්ගෙන් පවරා ගෙන සංවර්ධන කටයුතු සඳහා වද්‍රාගේ සමාගමකට ලබා දී තිබිණ. වද්‍රා පසුව එම ඉඩම් වෙනත් දේපල සමාගමකට ඉතා ඉහළ මිලකට අලෙවි කිරීමෙන් විශාල ලාබයක් උපයා ගෙන ඇතැයි කජ්රිවාල් චෝදනා කරයි. වද්‍රාගේ නිර්දෝෂිභාවය තහවුරු කිරීමට මධ්‍යම රජයේ කොංග‍්‍රස් නායකයින් ඉදිරිපත් වීම නිසා එය මධ්‍යම ආණ්ඩුවට එල්ල වූ තවත් දුෂණ චෝදනාවක් විය. මෙහිදී ප‍්‍රධාන විපක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. කෙජ්රිවාල් පවසන ආකාරයට ඊට හේතු වන්නේ කොංග‍්‍රස් හා ෂරාද් පවාර්ගේ ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ නායකත්වයෙන් යුත් මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රජයෙන් භාරතීය ජනතා පක්‍ෂයේ නායක නිතින් ගොඞ්කාරිට වාරි ව්‍යාපාරයක් සඳහා ගොවීන්ගෙන් පවරා ගත් ඉඩම්වලින් අක්කර 100ක් ලබා දීමය. වාරි ව්‍යාපාරය සඳහා පවරා ගත් මෙම ඉඩම් අතිරික්ත වූයේ නම් ආපසු එම ගොවීන්ටම ලබා දිය යුතු වුවද මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්ත රජය ඒවා ගොඞ්කාරිගේ නායකත්වයෙන් ඇති රාජ්‍ය නොවන සංවිධානයකට ලබා දී ඇත. එමනිසා භාරතීය ජනතා පක්‍ෂය රොබට් වද්‍රාගේ ඉඩම් ගනුදෙනු ගැන මුනිවත රකින අතර ගොඞ්කාරිට පාලක කොංග‍්‍රස් පක්‍ෂය චෝදනා කරන්නේ ද නැත. මෙය ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර පවතින නිහඬ එකඟතාවක් විය හැකි යැයි සමහරු පවසති. දුෂණ චෝදනා පිළිබඳව තවත් රසවත් පුවතක් වන්නේ අංගවිකල පුද්ගලයින්ට උපකරණ ලබා දීම සඳහා රජයෙන් ලබා ගත් මුදල් පිළිබඳව මධ්‍යම රජයේ අධිකරණ ඇමති වන සල්මන් තුර්ෂිද් ගේ බිරිඳට එල්ල වූ චෝදනාවයි. මෙම ගනුදෙනුවෙන් සිදුව ඇති වංචාව රුපියල් ලක්‍ෂ 71ක් වන නිසා මධ්‍යම රජයේ ඇමතිවරයෙකු ඊට සම්බන්ධ වූයේ යැයි කිව නොහැකි බව මධ්‍යම රජයේ වානේ පිළිබඳ අමාත්‍ය බෙනි ප‍්‍රසාද් වර්මා ප‍්‍රකාශ කළේය. ඔහුගේ අදහස අනුව ලක්‍ෂ 71 වැනි සුළු මුදලක් වංචා කිරීමට මධ්‍යම රජයේ ඇමතිවරයෙකු සම්බන්ධ වනු ඇතැයි කිව නොහැකිය. අනෙක් අතට ඉන් අදහස් වන්නේ මධ්‍යම රජයේ ඇමතිවරුන් සම්බන්ධවන්නේ විශාල වංචාවලට පමණය යන්නයි. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගත් නිසා ඔහු එය නිවැරදි කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. මෙවැනි සිද්ධීන්ගෙන් හෙළිදරව් වන ඛේදජනක සත්‍යය වන්නේ දුෂණ හා වංචා ඉන්දියානු දේශපාලනයේ අනිවාර්යයක් වීම හා ඒ පිළිබඳව මතුවන ජනතා විරෝධය නොසලකා හැරීම සාමාන්‍ය දෙයක් වීමය. ඉන් තහවුරු වන අනෙක් සත්‍යය වන්නේ ඡන්ද විමසීම පැවැත්වීමෙන් හා පාලකයින් වෙනස් වීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මක් නොවන්නේය යන්නයි.
සටහන:මහින්ද හත්තක
අනා හසාරේ අරවින්ද් කෙජ්රිවාල් ලෝක් සභාව මන් මෝහන් සිංග්