පසුගිය සතියේ සෙනසුරාදා, ඇමරිකාව විසින්ම පුහුණු කොට සන්නද්ධ කළ ඇෆ්ගන් භට කණ්ඩායමක් හා ඇමරිකානු භට කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ඇමරිකානු භටයෙක් හා සිවිල් කොන්ත‍්‍රාත්කරුවෙක් මිය යෑමත් සමග 2001 ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ඇමෙරිකානු ආක‍්‍රමණයන් මියගිය ඇමරිකානු භට සංඛ්‍යාව 2000 ඉක්මවිය. යුද්ධ පිළිබඳ ඉතිහාසය අනුව වසර 11 ක් ගතවී ඇති යුද්ධයකින් 2000 ක් මිය යෑම සැලකිය යුතු සිද්ධියක් නොවේ. 2003 අරාබි ඉරාක ආක‍්‍රමණයෙන් මියගිය අමරිකානු සෙබළු සංඛ්‍යාව 4500 කි. එසේ වුවත් මෙය බරපතළ කාරණයක් වන්නේ වසර 2014 දී ඇමරිකාව ප‍්‍රමුඛ නේටෝ රටවල හමුදාව ඇෆ්ගනිස්ථානයේ සටන් බිමෙන් ඉවත් කර ගත් පසුව ආරක්‍ෂාව පිළිබඳ වගකීම පවරන ඇෆ්ගන් භටයන් අතින්ම මෙම ඝාතන සිදුවීමය. වාර්තාවන ආකාරයට මරණයට පත් වූ ඇමරිකානු සෙබළුන්ගෙන් සියයට 20 ක් ම මියගොස් ඇත්තේ ඔවුන් සමග එකම පෙරමුණක සටන් කරන අවිගත් සෙබළුන්ගේ ප‍්‍රහාරවලිනි. සැලසුම් කර ඇති ආකාරයට 2014 වන විට විට ඇෆ්ගන් සෙබළුන් 350000 ක් පුහුණු කිරීමට නියමිත අතර ඒ සඳහා පසුගිය වසර තුනක කාලයක් ඇතුළත ඩොලර් කෝටි 2200 ක් වැය කෙරිණි. දැන් දෙවැනි වටයටත් තරග වැද සිටින ඔබාමා සිය ප‍්‍රථම ජනාධිපති තරගයේදී පොරොන්දු වූයේ ඇෆ්ගන් යුද්ධය කඩිනමින් අවසන් කොට ඇමරිකානු භටයින් ආපසු ගෙන්වා ගැනීමටය. ඒ සඳහා ඔහු යොදා ගත් උපාය මාර්ගය වූයේ අමතර හමුදා භටයින් 35,000 ක් ඇෆ්ගනිස්ථානයට යවා සම්පූර්ණ රටම ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදවාගැනීමය. ඒ අනුව හමුදා ප‍්‍රහාර උත්සන්න කළද මූලික අරමුණ වූ තලේබාන් හා අල්කයිඩා සටන්කරුවන් විනාශකොට ශක්තිමත් පාලනයක් ස්ථාපිත කිරීම කෙසේ වුවත් පසුගිය මාසය වනවිට සටනට අතිරේකව එකතු කරන ලද භටයින් 35,000 ඉවත් කෙරිණ. සැලැස්මේ ඊළඟ ඉලක්කය වන්නේ 2014 අවසන් වන විට ඇමෙරිකානු හා නේටෝ භටයින් ඉවත් කර ගැනීමය. එහෙත් හදිසි මෙහෙයුම් හා ඇෆ්ගන් ආරක්‍ෂක අංශ පුහුණු කිරීම සඳහා විදේශීය හමුදා භටයින් 35,000 ක් ඇෆ්ගනිස්ථානයේ කඳවුරුවල රඳවනු ඇත. එහෙත් ගැටලූව වන්නේ තමන්ම පුහුණු කරන ලද ඇෆ්ගන් භටයින්ගේ ප‍්‍රහාර නිසා විදේශීය හමුදා භටයින්ගේ ආරක්‍ෂාව අවදානම් තත්ත්වයට පත්වීමය. මෙසේ විදේශීය භටයින්ට එරෙහිව තම අවි යොදා ගන්නා ඇෆ්ගන් හමුදා භටයින් තලෙබාන් සංවිධානයට සම්බන්ධ සුළු පිරිසක් ලෙස හැඳින්වුවද කැපී පෙනෙන ලක්‍ෂණයක් වන්නේ ඔවුන් තුළ පවතින ඇමරිකන් විරෝධයයි. එය කුමන අවස්ථාවක ඉස්මතු විය හැකිද යන්න කිව නොහැකි නිසා ආරක්‍ෂිත පියවරක් වූයේ ඇෆ්ගන් භටයින් සමඟ එකට මෙහෙයුම් නොකිරීමය. එවිට මතුවන ගැටලූව වන්නේ ඇෆ්ගන් භටයින් කෙරේ විශ්වාසයක් නොමැතිව පොදු සතුරා වශයෙන් සැලකෙන තලෙබාන් සටන්කරුවන් සමග සටන් කරන්නේ කෙසේද යන්නයි. මේ නිසා ඇතුළතින්ම එල්ල වන ප‍්‍රහාර වැළැක්වීම සඳහා ඇෆ්ගන් හමුදා සමග සටන් බිමට යෑම නතර කිරීමේ නියෝගය ඉවත්කිරීමට ආරක්‍ෂක ලේකම් ලියොන් පනේටා උපදෙස් ලබා දුන්නේය. ඇතුළතින්ම එල්ලවන ප‍්‍රහාරවලට තලේබාන් සටන්කරුවන්ගේ සම්බන්ධතාවක් ඇතත් නැතත් එක්සත් ජනපද භටයින් හා ඇෆ්ගන් භටයින් අතර සංස්කෘතිමය පරතරයක් පැවැතීමත් එය මෙතෙක් විසඳා ගැනීමට නොහැකි වීමත් පැහැදිලිය. මෙවැනි මතභේදයට ඉඩ දෙන වැදගත් කාරණයක් වන්නේ ගැටුම්වලදී මියයන සාමාන්‍ය වැසියන්ය. 2007 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන එන තොරතුරු අනුව යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 13431 කි. මෙම වසරේ මුල් හය මාසය තුළ පමණක් මරණ 374 ක් වාර්තා වූ අතර 581ක් තුවාල ලබා ඇත. නේටෝ හමුදා ප‍්‍රකාශකයින් පවසන ආකාරයට මෙම මරණවලින් වැඩි ප‍්‍රමාණයකට වගකිවයුතු වන්නේ තලෙබාන් සංවිධානයයි. එහෙත් වැඩි වශයෙන් චෝදනා එල්ල වන්නේ ඇමරිකානු හිතවාදීයෙක් වන ජනාධිපති හමීඞ් කර්සායිට පවා සාමාන්‍ය වැසියන්ට සිදුවන අනතුරු පිළිබඳව විරෝධය දැක්වීමට සිදුවිය. මීට අමතරව රාත‍්‍රී කාලයේ නිවාස පරීක්‍ෂා කිරීමක් සාමාන්‍ය ජනතාවගේ විරෝධයට ලක්වූ තවත් පියවරකි. මේ නිසා තවත් වසර දෙකකින් ඇමරිකානු හා නේටෝ හමුදා ඉවත්කරගැනීමට නියමිත වුවද ඇමරිකාවට හිතවත් පාලන ක‍්‍රමයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස්කරගත හැකිද යන්න බරපතළ ගැටලූවකි. ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා ප‍්‍රධානී මාර්ටින් ඩෑම්ප්සේ පවසන ආකාරයට මෙය ජයගතහැකි තත්ත්වයකි. ඔහු පෙන්වා දෙන ආකාරයට ඇෆ්ගනිස්ථානයේ භූමි ප‍්‍රදේශයෙන් සියයට 80 කම මෙවැනි ගැටලූවක් නැත. අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ පකිස්තානයට යාබද දකුණු හා නැගෙනහිර ප‍්‍රදේශයේ පමණි.  එය සත්‍යයක් විය හැකි නමුත් වැදගත් වන්නේ ඔවුන්ට සම්පූර්ණ විශ්වාසය රැඳවිය හැකි සන්නද්ධ හමුදාවක් හෝ පාලන ක‍්‍රමයක් ගොඩනැගීමට නොහැකි වීමය. එම නිසා අමරිකානු ඉතිහාසයේ දීර්ඝතම යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවා යෑම වැදගත් කඩඉමක් වන්නේ හමුදා උපාය මාර්ගය මෙන්ම දේශපාලන ක‍්‍රියාමාර්ගයද අසාර්ථකවීමේ අර්ථයෙනි.
සටහන: මහින්ද හත්තක
රොම්නි ඔබාමා කර්සායි ප‍්‍රහාරයකින් මියගිය හමුදා භටයකු ආදාහනය කරමින්... ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු සොල්දාදුවෝ ඇමරිකානු හමුදා කඳවුරක් ඉදිරිපිට ඇෆ්ගනිස්තානුවන්ගේ විරෝධතාව