
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන්, මෙක්සිකෝවේ පළමු පාසල් වාරය, මසකට පෙර අවසන් කිරීමට එරට ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් ගත් තීරණයට මාපියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවති.
ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය, මෙවර පැවැත්වෙන්නේ, මෙක්සිකෝව, ඇමෙරිකාව සහ කැනඩාව යන රටවල සත්කාරකත්වයෙනි.
අධ්‍යාපන ලේකම් මාරියෝ ඩෙල්ගාඩෝ පැහැදිලි කර ඇත්තේ ලෝක කුසලානය නිසා ඇති විය හැකි අධික රථවාහන තදබදය සහ පවතින අධික උණුසුම් කාලගුණය සැලකිල්ලට ගනිමින් පාසල් වාරය ජුනි 5 වැනිදායින් අවසන් කරන බවය.
මෙම හදිසි තීරණය නිසා දරුවන් රැකබලා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සොයා ගැනීමට දෙමාපියන්ට ඉතිරිව ඇත්තේ සති හතරකටත් අඩු කාලයක් යැයි පැවැසෙයි. මෙක්සිකෝ ජාතික දෙමාපිය සංගමය මෙම පියවර දැඩි ලෙස හෙළා දකිමින් පවසා ඇත්තේ, ලෝක කුසලාන තරග පැවැත්වෙන්නේ නගර තුනක පමණක් බවත්, එවැනි තත්ත්වයක් යටතේ රට පුරා සිටින මිලියන 23ක් වූ සිසුන්ගේ අධ්‍යාපනය අඩාල කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි තීරණයක් බවත්ය.
එසේම, වාර පරීක්ෂණ පවත්වන අවස්ථාවක මෙවැනි නිවේදන නිකුත් කිරීම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයට අහිතකර ලෙස බලපාන බව ඔවුහු පෙන්වා දෙති.
එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ මෙක්සිකෝ ජනාධිපතිනී ෂයින්බෝම් සිය දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කියා සිටියේ මෙය තවමත් යෝජනාවක් පමණක් බවය.
බොහෝ මෙක්සිකානුවන් පාපන්දු ක්‍රීඩාවට ලැදි බැවින් මෙවැනි අදහසක් ඉදිරිපත් වූ බවත්, නමුත් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බැවින් අවසන් තීරණයක් ගැනීමට පෙර මෙම කාලසටහන නැවත සමාලෝචනය කරන බවත් ඇය සඳහන් කළාය.
ලෝක කුසලාන තරගාවලිය එලැඹෙන ජුනි 11 වැනිදා සිට ජූලි 19 වැනිදා දක්වා පැවැත්වෙයි. මේ අතරතුර රට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය කල්ලි මර්දන ව්‍යාපාර හේතුවෙන් යම් ආරක්ෂක අවදානමක් පවතින බවට කතාබහක් ඇති වුවද, සංචාරකයන්ට හෝ තරගාවලියට කිසිදු තර්ජනයක් නොමැති බව රජය අවධාරණය කරයි.
මෙලෙස කලින් නිවාඩු ලබා දුන්න ද, මීළඟ අධ්‍යයන වාරය ආරම්භ වන අගෝස්තු 31 වැනිදාට පෙර සති දෙකක විශේෂ ඉගැන්වීම් කාලයක් වෙන් කරන බව ද බලධාරීන් පවසා ඇත. ඒ මඟ හැරෙන අධ්‍යයන කාල සීමාව ආවරණය කිරීමේ අරමුණින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd