අභියෝග ජයගත් මිනිස්සු

නෙල්නා සමූහයේ නිර්මාතෘ 
එඩී නානායක්කාර

 

පලතුරු ලොවේ රජු “අඹ” යැයි සඳහන් වේ. දිව පිණවන අපූරු රසකින් යුතු නිසා අඹ කෑමට කවුරුත් රුචි බව කිව හැකිය. එලෙසින් “අඹ” පලතුරු ලොව රජු නම් වත්මනෙහි ලංකාවේ අඹ වැවීමේ කලාවේ ප්‍රමුඛ චරිතයක් ලෙස වලකඩ ගමගේ එඩී ගුණපාල නානායක්කාර හෙවත් ව්‍යවසාය ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා නානායක්කාර නමැති නිර්මාණශීලී මිනිසා හැඳින්විය හැකිය. ජාත්‍යන්තරයේ ඔහු ප්‍රකටව සිටින්නේ “එඩී” යන නාමයෙනි.  


සැබැවින්ම මේ අපූරු මිනිසා එඩියෙන් එඩිතරව ගමනක් ඇවිත් අභියෝග පසෙකලා ජීවිතය ජයගත් චරිතයකි. ‘‘නෙල්නා’’ (Nelna) යන නාමය අද මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් කියැවෙන නාමයක් වන අතර එහි නිර්මාතෘවරයා වෙන්නේ මේ එඩී නානායක්කාරය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින චරිත හා සැසඳීමේදී ඔහු වෙනස්ම විදියේ අපූරු චරිතයකැයි අතිශයෝක්තියකින් තොරව සඳහන් කළ හැකිය.  


නෙල්නා ෆාම්ස්, නෙල්නා බ්‍රීඩර්ස්, නෙල්නා ඇග්‍රි ඩිවලොප්මන්ට් සහ නෙල්නා ඉම්පැක්ස් යන ආයතන අද මේ නෙල්නා ව්‍යාපාර සමූහය සතු ආයතන වේ. ව්‍යාපාර ආයතන කීපයක් කෙසේ වෙතත් එක් ව්‍යාපාරයක් හෝ සාර්ථකව කරගත නොහැකි මිනිසුන් දැකගත හැකි සමාජයක, නෙල්නා සමූහයේ නිර්මාතෘ එඩී නානායක්කාර යනු අලුත් අදහස් වඩාත් ප්‍රායෝගික කළ චරිතයක් වෙයි. අභියෝග ජයගත් චරිත කතා මාලාවේ අද ගෙත්තම්වෙන්නේ ඔහු ගැන වූ කතාවය.  


‘‘මම උපන්නෙ ගාල්ලෙ, මීටියාගොඩ කියන ගමේ. පවුලෙ අම්මයි, තාත්තයි, අක්කලා දෙදෙනයි, මල්ලියි, මමයි. බොහෝම සුන්දර ළමා කාලයක් ගෙව්වේ. වැසි පැවැති ද‌ාට ඇළේ දොළේ වෙලේ දුව පැන ඇවිද යමින් ගත කළ සුන්දර අවදිය ගැන අදත් මට සිහිපත්​ වෙනවා.’’  


එලෙසින් ගහට කොළට ආදරය කරමින් පරිසරයේ චරිතයක් ලෙස හැදී වැඩුණු එඩී නානායක්කාර පාසල් ගමන පටන් ගත්තේ මීටියාගොඩ ගමේ පාසලෙනි. සාමාන්‍ය පෙළින් පසුව වේරගොඩ පාසලට ගියේය. හැබැයි අධ්‍යාපනයේ දී ඔහු සුවිශේෂී දක්ෂතා පෙන්වූ චරිතයක් නම් නොවුණි.  


‘‘මට තිබුණෙ අදට වඩා හෙටට අලුත් යමක් කිරීමේ අදහසයි.’’  


එවැනි අදහසක් තිබූ ඔහු එකල බෙහෙවින්ම දඟයෙක් විය. ළමා වියේදී කළ දඟ වැඩ නම් බොහෝය. මේ දඟ වැඩ නිසා කුරුඳු පොලුවලින් තාත්තාගෙන් ගුටි කෑ වාර එමට යැයි කියයි.  


‘‘අප්පෝ කරපු දඟ වැඩ නම් ආයෙ ඉතින් කියලා වැඩක් නැහැ.’’  


එද‌ා ඔහු එලෙසින් කළ දඟ වැඩ යනු පරිසරයට සමගාමී වූ ක්‍රියාවන්හි යෙදීමය. කෙසේ වෙතත් පරිසරයේම කොටසක් වී එලෙසින් හැදී වැඩුණු ඔහු ගෙදරට හොරා සුළු සුළු ව්‍යාපාර කිරීමට පෙලඹුණි. ප්‍රදේශයේ කුරුඳු වගාව ප්‍රචලිතව තිබූ හෙයින් කුරුඳු වෙළෙඳාමට සමීපව කටයුතු කළේය. එයින් තමාටම කියා මුදලක් උපයා ගැනීමට ඔහුට හැකිවිණි. එය ඔහුගේ ජීවන රිද්මය නොවීය. අරමුණ ද නොවීය.  


‘‘එක අරමුණක් කියලා නිශ්චිත අරමුණක් තිබුණෙ නැහැ. අවස්ථාවේ හැටියට ඊට මුහුණ දුන්නා.’’  


එසේ පවසන ඔහුටම ආවේණික වූ ඔහු සතු විශේෂත්වය වෙන්නේ ද එයමය. එනම් ඒ මොහොතේ තමුන් කුමක් ද කරන්නෙ? ඊට වඩාත් කැප වී ද‌ායක වීමය. ටිකෙන් ටික ඔහුගේ ජීවිතය හැරවෙන්නට පටන් ගත්තේ ද එකී ස්වභාවය නිසා විය හැකිය.  


‘‘1980 දී මුලින්ම මම සත්ත්ව පාලනය පිළිබඳව අධ්‍යයනක් ලැබුවා. ඒත් එක්කම මීගොඩ පුද්ගලික සමාගමක පුහුණුවීමේ අංශයේ කටයුතු කරන්නට ලැබුණා. එයින් ලද දැනුම සහ අවබෝධය එක්ක 1996 දක්වා ආයතන කීපයක රැකියා කළා.’’  


’81 දී ඔහු මුලින්ම පටන්ගත් රැකියාව වෙනුවෙන් මාසික වැටුප ලෙස රුපියල් 625 ක් ලැබුවේය. ගෙදරට ද එයින් උදව් කළ එඩී ලැබෙන දේ නිසි ලෙස කළමනාකරණය කිරීමට ද වග බලාගත්තේය.  
‘‘සමහරද‌ාට බැංකු පොතේ ශේෂය කීයක් තියෙනව ද කියලත් මම බැලුවා.’’  

 


ඔහු අතීතය සිහි ගන්වයි. එද‌ා 625 පඩියෙන් පටන්ගෙන 96 වෙන විට නතර වූයේ රුපියල් 7500ක පමණ වැටුපක් ලබමිනි. ඒ වෙන විට ඔහු සත්ත්ව පාලනය ගැන උගෙන තිබූ දේ ප්‍රායෝගික කර ගනිමින් ද සිටියේය. එනම් කුකුළු පැටවුන් බෝ කිරීමේ ව්‍යාපාරයයි. එද‌ා පුංචියට ඇරඹි ඒ කටයුත්ත වෙනුවෙන් ඔහු කොමිස් ලෙස ලැබුවේ එක් පැටවකුගෙන් සත විසිපහකි. එය ටික දිනකින් රුපියල් පහ දක්වා වර්ධනය කරගැනීමට හේ සමත්විණි. සත්ත්ව ගොවිපළ 600ක් දක්වා පසුව එය ව්‍යාප්ත වුණි. දිස්ත්‍රික් හය හතක බාහිර ගොවිපොළ කටයුතු දක්වා වර්ධනය වී අද නෙල්නා බ්‍රීඩර්ස් සහ ෆාම්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තැනකට පත්ව තිබේ. එය නෙල්නා සමූහය සතු එක් අංශයක් පමණකි. මෙලෙසින් එක් අංශයකට ව්‍යාප්තව තිබූ නෙල්නා තවත් අංශවලට ව්‍යාප්ත වූයේ ඉන් අනතුරුවය.  


‘‘අක්කර 150ක විතර විශාල භූමියක් මව් ගොවිපළ සතුව තිබුණත් එම මුළු භූමියම ඊට වෙන් වුණේ‍ නැහැ. සත්ත්ව බෝ කිරීමේ කටයුතු සඳහා වෙන්ව තිබුණේ අක්කර පහක පමණ ප්‍රමාණයක් විතරයි. අනෙක් විශාල භූමිය කැලෑ වැවිලා තිබුණෙ. මේ භූමියේ ඇවිද යමින් සිටිය දී මේ විශාල භූමියෙන් වෙනත් ප්‍රයෝජනයක් ගත හැකි නම් කියලා අදහසක් ආවා. ඒ පරිසරයේ ඇවිද යන අතරතුරේ දී අඹගහක ලස්සනට හැදිලා තිබුණ අඹ ගෙඩියක් දුටුවා. ඒක හරිම ලස්සනයි. ඊට පස්සේ මේ ගැන මම හොයන්න බලන්න වගේම විමර්ශනය කරන්න පටන් ගත්තා. ආවාට ගියාට අපට යමක් කරන්න බැහැ. විශේෂයෙන්ම වගා කටයුතුවලදී පරිසර හිතකාමීව සිදුකළ යුතු බොහෝ දේ ගැන සෙවුම් බැලුම් කරන්න වෙනවා. ‘ටීජේසී (TJC) නමැති අපූරු අඹ වගාව ගැන උනන්දු වුණේ ඒ විදියටයි.’’  


එඩී නානායක්කාරයන් ‘ටීජේසී’ අඹ ව්‍යාපෘතිය පටන් ගත්තේ එලෙසින්ය. බොහෝ සෙවුම් බැලුම් කිරීමෙන් අනතුරුව ටීජේසී (TJC) අඹ ව්‍යාපෘතිය නෙල්නා ඇග්‍රි වෙතින් ව්‍යාප්ත වූයේ 2002 දී සිටය. එද‌ා නෙල්නා ආයතනය එම ව්‍යාපෘතිය ඇරඹියේ පැළ 1000 ක පමණ ප්‍රමාණයකිනි.  


 ‘‘ටීජේසී (TJC) නමැති මෙම අඹ වර්ගය ඕස්ට්‍රේලියාවෙන් ප්‍රචලිත වී ව්‍යාප්ත වූ වර්ගයක්. මෙරට කෘෂිකර්ම අමාත්‍යංශයට මෙහි වගා අනුමැතිය ලැබී තිබුණත් එය එකල හරියට ව්‍යාප්ත වෙලා නැහැ. පසුව මේ අඹ වර්ගය මෙරට සංවර්ධනය කිරීමට මුල් වුණේ ටොම් එල්ලාවල මහත්මයා. මම එතුමාගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ වගේම එතුමා උදව් කළා.’’ 

 
යහගුණයට මුල් තැන දෙන එඩී නානායක්කාර අද මෙරට ප්‍රමුඛතම අඹ වගාව සිදුකරන ප්‍රමුඛයකු ලෙස එලෙසින් පවසන්නේය. සැලසුම්වලට (ප්ලෑන්වලට) වඩා ඔහු සතු විශේෂත්වය වෙන්නේ ප්‍රායෝගික වීමයි.  
‘‘ප්ලෑන් කොච්චර තිබුණත් වැඩක් නැහැ. සල්ලි නැත්නම්. ඒ නිසා අපට දැනෙන්නෙ කුමක්ද? ඒ දේ වෙතින් කරන දේ ඇරඹීම තමයි වැදගත්. ඉන්පසුව ඒ ගැන ඉතා උනන්දුවෙන් ගමනක් යා යුතුයි. කඩාගෙන යා යුතුයි කිව්වොත් හරි. සමහර විට අප ඒ පටන් ගත් දේ හරි යන්නත් පුළුවනි. වරදින්නත් පුළුවනි. එ් අභියෝගය බාර ගැනීම වැදගත්. නිවැරදි පාලනය, උනන්දුව සහ කැපවීම තිබේ නම් අපට වරදින්නෙ නැහැ. ඒ වගේම ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරොත්තු එක්කනෙ. ඒ නිසා කරන දේ ගැන බලාපොරොත්තු තැබීම සහ විශ්වාසය තැබීම ඉතා වැදගත්.’’  


වත්මනෙහි එඩී නානායක්කාර ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ චරිතයක් වී වැජඹෙන්නේ එකී අදහස් නිසාය.  


‘‘1985 දී මා සන්තකයේ තිබුණෙ රුපියල් 200 යි. ඒකත් වියදම් වුණා. ඊට පස්සේ සතයක්වත් තිබුණෙ නැහැ. එහෙම තමයි ජීවිතේ ස්වභාවය. එද‌‌ා සත විසිපහේ කොමිස් එකෙන් තමයි මේ ගමන පටන් ගත්තෙ කිව්වොත් එය ඉතා නිවැරදියි. ශත විසිපහේ ලාභය ලබමින් එද‌ා සිට මම ආවේ සාධාරණ ගමනක්. මුදල් පොදි බඳිනවාට වඩා ගමන සාධාරණ වීම තමයි වඩාත් වැදගත් වෙන්නෙ.  


 සාධාරණව ගමනක් ආ නෙල්නා ආයතනය ‘‘අඹ’’ වෙළඳපොළ සොයා ගැනීමට පෙර අඹ වගාව වඩාත් ප්‍රායෝගික කළේය.  


‘‘අඹ නැතුව වෙළඳපොළ හොයාගෙන තිබුණට වැඩක් නැහැ. අඹ තිබුණොත් අපට ගමේ පොළට හරි දෙන්න පුළුවනි. 2025 වෙන විට වසරකට කිලෝ මිලියන 10ක් 12ක් පමණ වෙළඳපොළට යොමු කිරීම තමයි අපේ අරමුණ. එහෙම කරන්න නම් මේ වෙනුවෙන් කරන සාත්තුව වැදගත්. කිසිම දෙයක් හැදෙන්නෙ නැහැ. හදන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි කරන සාත්තුව වැදගත්.’’  

 


වෙනස් විදියට හිතලා විතරක් නතර නොවෙන නානායක්කාර අඹ ව්‍යාපාර ලොවේ ප්‍රමුඛයකු වී සිටින්නේ මෙකී අදහස් නිසාය. අද මේ ටීජේසී (TJC) වර්ගයේ නෙල්නා නිපදවන අඹ යුරෝපය ප්‍රමුඛ මැදපෙරදිග රටවලට අපනයනය කෙරේ. එඩී නානායක්කර සමග මෙලෙසින් කතා බහ කරන අතරවාරයේ දී මේ ​‘නෙල්නා’ කියන නම ඔබ යොද‌ා ගත්තේ කොහොමද? කියා අපි විමසීමු.  


දකුණේ මිනිස්සුනෙ. ඉතින් අප ​ෙජ්‍යා්තිෂයත් විශ්වාස කරනවනෙ. ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ නමක් ඇතිව නෙවෙයි. (සත විසිපහේ ලාභය ලැබූ අවදියේ) පසුව ව්‍යාපාරයේ ස්වභාවය අනුව ජ්‍යෝතිෂය වෙතින් විවිධ නම් ලැබුණා. මේ නෙල්නා (Nelna) කියන නම තමයි අපි යොද‌ාගත්තෙ. ඒ නෙල්නා (Nelna) අකුරු පහට පවුලේ අපි පස්දෙනාගේ නම්වල කුමක් හෝ අකුරකුත් තිබීම විශේෂත්වයක්.’  


අපේ පස්දෙනා යනුවෙන් ඔහු සඳහන් කරන්නේ ඔහු සහ බිරිඳ, දූලා දෙදෙනා සහ පුතු ගැනය. ඔහු ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ සාධාරණ චරිතයක් මෙන්ම ඊටත් එහා ගිය සාධාරණයක් පවුලට ඉටුකරන හොඳ තාත්තා කෙනෙකි. හොඳ සැමියෙකි. ව්‍යාපාර වෙතින් ලබන ලාබයට වඩා ඔහු ජීවිතයෙ පරම ලාභය ලෙස සලකන්නේ කය සහ මනස නිරවුල්ව තබාගෙන සිටිමින් පවුලට ළැදි චරිතයක් වීමය.  


‘‘විවාහ වුණා. දරුවෝ ලැබුණා. ඉතින් පවුල ගෙන යන්න ඕනෑ. ඒ වෙනුවෙන් ආර්ථිකයක් අත්‍යවශ්‍යයි. ඒ නිසානෙ අපි මේ දේවල් පටන් ගත්තේ.’’  


පොළවේ පය ගසා සිටින නානායක්කාර එලෙසින් අවංකව පවසයි. අද මේ නෙල්නා සමූහය සතු සේවක පිරිස 1500 ඉක්මවයි. මේ සේවක පිරිස සඳහා ඔහු පත්කර ඇත්තේ නිසි වගකීම් දැරිය හැකි මිනිසුන්ය. ඒනිසා ඔහු ව්‍යාපාර මත්තේම නැහෙමින් කාලය ගත කරන්නෙකු නොවේ.  


 ‘‘අපි හරි කෙනා හරි තැනට පත්කළාම එයා හරියට වැඩේ කරනවා. ඒනිසා සෑම දෙයකටම අපි සොය සොයා ඇඟිලි ගහන්න ඕනෑ නැහැ.’’  


ඔහු මිනිසුන්ට අපමණ අගයක් ලබා දී තිබෙන්නෙ ඒ අදහස් නිසාවෙනි. තම ආයතන සමූහයෙහි සේවය කරන පිරිසට වෙලාවට නියමිත දිනයට වැටුප් ලබා දීම ඔහුගේ සිරිතය. ජීවිතයේ ගැහැට සහ මිනිසුන්ගේ හදගැස්ම තේරුම් ගැනීමට තරම් ඔහු කාරුණිකය. එද‌ා මූලාරම්භයේ දී සැතැපුම් ගණන් පා ගමනින් බොහෝ දුර ඇවිද ගිය ඔහු පසුව පාපැදිය වාහනය කරගත්තේය. අද අති සුඛෝපභෝගී රථ ගොන්නක් ඔහු සතුය. නමුත් ඒ සියල්ල නිසා මහා ගාම්භීරත්වයක් මතුපිටින් මවා ගත්තෙකු නොවේ. හැබැයි ඇතුළාන්තයෙන්ම ඔහු ගාම්භීර මිනිසෙකි.  


‘‘අපි හැමෝටම පුළුවනි. කවුරුහරි කියනවා නම් බැහැ කියලා. එහෙම නැත්නම් අඬා වැළපෙනවා නම්, මම හිතන්නෙ එ්ක ඔහුගේ නොහැකියාව. හැමෝටම දෙයක් කරන්න පුළුවනි. ඒ නිසා හැකියාව හඳුනා ගැනීම තමයි කළ යුත්තේ.’’  


නානායක්කාර ගමෙන් නගරයට ඇවිත් නගරයෙන් ලෝකයට ගොස් අද ජීවිතය ජයගෙන ඇත්තේ තම උත්සාහය සහ ධෛර්යසම්පන්න බව නිසාමය.  


‘‘එකපාරටම අපි කොළඹට ගෙනැල්ලා කවුරුවත් දැමුවේ නැහැ. අපේ හැකියාවෙන් වැඩ පෙන්වලා තමයි මේ ගමන ආවේ. මේක ගමෙන් කෙලින්ම කොළඹ ආපු ගමනක් නෙවෙයි. අපි යමක් කරද්දී තවත් මිනිසකුට අපට අවශ්‍ය වෙන විදියට කටයුතු කළ යුතුයි. ඒ කියන්නෙ වටිනාකමක් ඇති පුද්ගලයෙකු වීම වැදගත්. ඩිමාන්ඩ් එකක් නැත්නම් එතැන පැවැත්මක් නැහැ. අද සමාජයේ බොහෝ විට මම දකින දෙයක් තමයි මිනිස්සු තරමක් අන්ද මන්ද වෙලා වගේ සිටින්නෙ. වයස අවුරුදු 16-17 වෙන විට ළමයින්ට අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ලැබිලා. ඒක හොඳ දෙයක් නොවෙයි. සෑම දෙයක්ම මිනිසුන්ට අවශ්‍යයි. නමුත් දුර ගමනක් ජීවිතයේ යාමට නම් අත්‍යවශ්‍යම දේ තෝරා ගැනීම තමයි කරන්නට ඕනෑ. නැත්නම් අපට ගමනක් යන්න බැහැ. මොකද අභියෝග කියන දේ ජයගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් අභියෝග ජයගත්තාට පසුව අපට කතා කරන්න ලෙහෙසියි.’’  


අභියෝග යනු සසරේ නොනවතින දෙයක් බව නානායක්කාරගෙ අදහස වෙයි. ඒ නිසා එයට ඉඩදීම වෙනුවට තමා ක්‍රියාත්මක වීම වැදගත් යැයි විශ්වාස කරන ඔහු සතු නෙල්නා ආයතන සමූහය හෙට දවසේ තවත් යෝධ ව්‍යාපෘතියකට අත ගසා තිබේ.  


ඒ ගැන ඔහු පැවසුවේ මෙලෙසිනි.  


‘‘පලතුරු සහ එළවළු නිවැරදි විදිහට ගබඩාකර කල් තබා ගැනීම සහ උසස් ලෙස ඇසුරුම් කොට ඒවා වෙළෙඳපොළට යොමුකර වීම වෙනුවෙන් කල්තබා ගැනීමේ ශීත ගබඩා සංකීර්ණයක් හෙට දවසේ දී ඇඹිලිපිටියේ දී ලංකාවට විවර වෙනවා. රුපියල් බිලියන ගණනක් වැය වෙන ව්‍යාපෘතියක්. ටොන් ලක්ෂ තුනක පමණ එළවළු සහ පලතුරු එහිදී උසස් ලෙස ප්‍රමිතියෙන් සහ තත්ත්වයෙන් ඉහළම අයුරින් සකසා වෙළඳපොළට යවන මධ්‍යස්ථානයක්.’’  

 


නෙල්නා සමූහයේ නිර්මාතෘ වන නානායක්කාර අනාගත පරපුරේ පරිභෝජනය සඳහා දියත් කර ඇති අලුත් ව්‍යාපෘතිය වෙන්නේ එයයි. එද‌ා රුපියලකටත් වඩා අඩු ලාභාංශයකින් පටන්ගෙන මේ තරම් දුර ගමනක් ආ එක ඇත්තටම හාස්කමක් ද? මොකක්ද මේ?  


‘‘නැහැ මේක හාස්කමක් නෙවෙයි. මා පෙර කී අදහස් තමයි ඊට මුල් වුණේ. මම කැමැති නැහැ. අද මේ සාර්ථකත්වය ගැන කියලා ලොකු අරුත් ඇති වචන ගලපන්න. එහෙම අර්ථ දෙන්න ඕනැත් නැහැ. මේක ඉතින් සිතිවිලි ක්‍රියාත්මක කිරීමක්.’’ ව්‍යාපාරයක දී මිනිස්සු නමැති සම්පත හරි වැදගත්. හරි මිනිස්සු ද‌ාගත්තම හරි. රටක් දියුණු කරන්නත් පුළුවන් එහෙමයි.’’


 සෑම දෙයකටම නිමාවක් ඇත. නෙල්නා සමූහයේ මේ දිරිය මිනිසා ගැන මේ කතා කළ රසවත් දේට වඩා කතා නොකළ තවත් බොහෝ දේ තිබේ. නමුත් අදට අප සමුගෙන යා යුතු වේ. ඒ සමුගැන්මට පෙර ඔබ දවස ගෙවන්නෙ කොහොමද? ඔබ මොන වගේ කෙනෙක්ද? අපි ඔහුගෙන් විමසීමු.  


‘‘සමහර දවසට වැඩ රාජකාරි බහුලව දවස ගෙවෙනවා. තවත් සමහර ද‌ාට උද්‌යෝගයෙන්, ප්‍රීතිමත්ව දවස ගෙවෙනවා. එකිනෙකාට ආවේනික ගති තියෙනවනේ. ඒ ගතිවලට අනුව ජීවිතය ගෙවෙනවා. බලහත්කාරයෙන් පාන්දර හතරට අවදිවෙලා මම ව්‍යායාම් කරන්න යන්නේ නැහැ. උද‌‌ා වූ දවස තමුන්ට ආවේනික විදියට ගෙවනවා. මේ අද සිටින තැන තියෙන සම්පත් ගැන ඕනෑවට වඩා හිතන්න යන්නෙ නැහැ. මොනතරම් සුපිරි රථ තිබුණත් අපට ගමන් යන්න පුළුවන් වෙන්නේ වතාවකට එක් වාහනයක පමණයි. මොන තරම් කෑම තිබුණත් කන්න පුළුවන් ප්‍රමාණයකට විතරයි. මට හිතෙන්නෙ එහෙමයි. එද‌ා පාසලේ දී මට ගුරුවරු කිව්වේ ගුණපාල කියලයි. මම ඒ එද‌ා හිටපු ගුණපාලම තමයි. කාටවත් වංක වැඩ කරලා නැහැ. සරලයි. ඒ වගේම සාමාන්‍යයි.’’ 

 

 

 

සටහන : සඳුන් ගමගේ