සිංගප්පූරුව තරම් අප කතා කරන වෙනත් රටක් නැති තරම්ය. වසර ගණනාවක සිටම අප කතා කරන්නේ සිංගප්පූරුවක් වීමටය.   


සිංගපුර යන මැලේ නමින් ඉංග්‍රීසියට බිඳී සිංගප්පූරුව නමින් එය සිංහලෙන් හැඳින්වෙයි. මේ කුඩා රට සිංහපුරයයි. ඉංග්‍රීසියෙන් නම් ලයන් සිටිය.   


සිංගප්පූරුව පිළිබඳ පුරාවෘත්ත රාශියකි. ඒවා එකිනෙකට සුළු සුළු වශයෙන් වෙනස්ය. බොහෝ ප්‍රකට පුරා වෘත්තයක් වෙන්නේ සුමාත්‍රාවේ කුමරකු ඒ අසල දිවයිනකට දඩයමේ ගිය බවයි. එහිදී ඔහු සිංහයකු දැක තිබේ. එහෙත් සිංහයන් මේ කලාපයේ දැක ගත නොහැකි නිසා එය සුබ ලකුණක්සේ සලකා මේ දිවයිනට සිංහපුර (ලයන් සිටි) යයි නම් කළ බව කියැවේ. මේ පුරාවෘත්තය විවිධ ආකාරයෙන් සඳහන්ව තිබේ. සිංහපුර යන්න සංස්කෘත වදනකි. එකල සංස්කෘත භාෂාව සම්භාවනීය ජාත්‍යන්තර භාෂාවක් ලෙස යොදාගෙන ඇති බව මෙවැනි මූලාශ්‍ර අනුව සිතාගත හැකිය.   


ආර්ථික සංවර්ධනය, ජීවන තත්ත්වය, නගර අලංකරණ ආදී විවිධ හේතු නිසා ආකර්ෂණීය රටක් වූ සිංගප්පූරුවේ වඩාත්ම ජනාකීර්ණ පෙදෙසක් ලෙස සැලකෙන්නේ ලිට්ල් ඉන්ඩියා නොහොත් පුංචි ඉන්දියාවයි.   


සිංගප්පූරුවේ අනෙක් ප්‍රදේශවල නවීන ඉදි කිරීම් ආදිය දැකගත හැකි වුව ද පුංචි ඉන්දියාවේ තවමත් පැරැණි ගොඩනැගිලි පමණක් නොව සංස්කෘතික ආගමික වශයෙන් වැදගත් බොහෝ ස්ථාන දැකගත හැකිය. විශේෂයෙන්ම ඉන්දියානුවෝ ශ්‍රී ලාංකිකයෝ බංග්ලාදේශ ජාතිකයෝ පුංචි ඉන්දියාවේ නිරතුරුවම ගැවසෙති.   


ඊට හේතු කිහිපයකි. සාමාන්‍යයෙන් ඇඳුම් පැලඳුම් රන් ආභරණ ඉලෙක්ට්‍රොනික උපකරණ ආදී බොහෝ අත්‍යවශ්‍ය දෑ පුංචි ඉන්දියාවේදී අඩු මිලට ගත හැකිය. පුංචි ඉන්දියාවේ පදික වේදිකා දිගේ ඇවිද යද්දි දෙපස එල්ලා ඇති විවිධ වර්ණවත් ඇඳුම් පැළඳුම් විසිතුරු භාණ්ඩ, ඔරලෝසු, සුවඳ විලවුන් මෙකී නොකී බොහෝ දෑ දැක ගත හැකිය. ඇත්තෙන්ම එය වර්ණවත් දසුනකි. ඉඳහිට ඇතැම් කඩ සාප්පුවක සිංහල කතා කරන තරුණයන්ද සේවය කරනු දැකිය හැකිය. බොහෝ විටෙක සාප්පු සංකීර්ණයකදී ගත හැකි මිලට වඩා අඩුවෙන් විවිධ භාණ්ඩ තෝරා ගැනීමට හැකිවීම නිසා සංචාරකයෝ ‘පුංචි ඉන්දියාව’ පීරති. සිංගප්පූරුව ආරක්ෂාව අතින් මුල්තැන් ගත් රටක් නිසා කඩ සාප්පු, අවන්හල් බොහෝ රෑ බෝවෙනතුරු විවෘතව තබන නිසාම සාප්පු සවාරි යන්නන්ට නම් පුංචි ඉන්දියාව පාරාදීසයකි. හින්දි, දෙමළ ජනප්‍රිය ගීත වාදනය කරන ඇතැම් අවන්හලක එම ගීත අනුව රංගනයේ යෙදෙන නාටිකාංගනාවන් දැකගත හැකිය. ඒවා ඉන්දියා සංගීත ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රියය. ඇතැම් අවන්හලක සංගීත කණ්ඩායම් සජීවීව ජනප්‍රිය හින්දි ගී ගායනය කරති.   

 

 


ඇතැම් පදික වේදිකාවක මහන මැෂින් තබාගෙන ඇඳුම් මහන පිරිස්ය.   


එපමණක් නොව ආසියාතික කෑම බීම රැගත් ආපන ශාලා විශේෂයෙන්ම ඉන්දියානු සයිවර් ආපන ශාලා බහුලය.   


ලිට්ල් ඉන්ඩියා වෙනුවෙන්ම එම්.ආර්.ටී. නැවතුම් පොළක් ඉදිකිරීමෙන්ම එය කොතරම් ජනාකීර්ණ ස්ථානයක් දැයි යන්න පැහැදිලි වෙයි.   


පුංචි ඉන්දියාව කිට්ටුව නැවතුන විට සාප්පු සවාරියේ යාම පහසුය. එක ළඟ කඩ සාප්පු පිහිටා ඇති නිසා පා ගමනින් ගොස් විවිධ දෑ මිලදී ගත හැකිය.   


‘හුඟක් රටවල්වලට යන්නෙ සිංගප්පූරුව හරහා ඉතින් ගුවන් යානයට වෙලාව තියෙනව නම් ඒ අය කරන්නෙ ලිට්ල් ඉන්ඩියාවලට ඇවිල්ලා සාප්පු සවාරියකුත් ගිහිල්ලා හරියටම වෙලාවට එයාර් පෝර්ට් එකට යන එකයි. ඒ නිසා ලිට්ල් ඉන්ඩියාවල නිතරම සෙනඟ ගැවසෙනවා’.   


මෙසේ පවසන්නේ වසර ගණනාවක සිට පරිගණක තාක්ෂණික රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වූ මොහාන් සමරනායක ය.   


‘ඒත් සිංගප්පූරුවෙම ඉන්න සමහරු ලිට්ල් ඉන්ඩියාවලට එන්නෙ නෑ. වරක් මම සම්මන්ත්‍රණයකට සහභාගි වුණා. එවේලේ දේශකයා කීවා ‘ලිට්ල් ඉන්ඩියාවලට ඇවිත් නැති අය අත් උස්සන්න කියලා. සෑහෙන පිරිසක් අත් ඉස්සුවා. මට පුදුම හිතුණා’ ඔහු කියයි.   


‘මට නම් ලංකාවෙ විධියට කෑම කන්න ඕනෑ වුණාම මම ලිට්ල් ඉන්ඩියාවලට එනවා. මම ඉන්නෙ බුකිට් මෙහෙරාවල. මෙට්රෝ (දුම්රියේ) එකේ ලිට්ල් ඉන්ඩියාවලට එන්න සෑහෙන වෙලාවක් යනවා. ඒත් ටෙකා මාර්කට් එකේ රජ බොජුන් හෝටලයට ඇවිත් ලංකාවෙ විධියට කෑම ටිකක් කාලා යනවා. තව පොල්රොටි, ලුණු මිරිස් එහෙමත් අරගෙන යනවා’’ ඔහු කියයි.   


කොරෝනා වසංගතය නිසා පසුගිය මාර්තු මාසයේදී සිංගප්පූරුව ටික දිනකට වසා දැමිණ.   


‘ඒ දවස්වල නම් ලිට්ල් ඉන්ඩියා පාළුවට ගිහින් තිබුණා. ඒක හරිම දුර්ලභ දර්ශනයක්. කලාතුරකින් තමා එහෙම පාළු පාරවල් දකින්න ලැබෙන්නෙ. මම ඒ දවස්වල පින්තූර ටිකක් අරගෙන තියාගෙන ඉන්නවා’’ මොහාන් කියයි.   


එහෙත් සිංගප්පූරුවේම වාසය කරන චුවා වෙයි මෙන් පවසන්නේ වෙනත් කතාවකි. මම නම් කොරෝනා පටන් ගත්ත මුල් සුමානෙ ඉඳලම වැඩට ගියා. කොහොම වුණත් මම නම් කොහොමත් ලිට්ල් ඉන්ඩියාවලට එන්නෙ නෑ. එහෙ හරියට සෙනඟ. සෙනසුරාදා, ඉරිදාට නම් පාරවල්වල යන්නත් බෑ. මට එහෙම එන්න වුවමනාවක් නෑ’   


චුවා වාසය කරන්නේ ලිට්ල් ඉන්ඩියාවලින් තරමක් ඈතය.   


ඇතැම් සංචාරකයන් විවේකය ගත කරන්නට එන්නේ මහල් නිවාස කුලියට රැගෙනය. ඔවුහු සතියක් හමාරක් එම නිවාසවල උයා පිහාගෙන කා විවේකයෙන් ගත කරති.   
ඒ සඳහා බොහෝ පිරිස් ලිට්ල් ඉන්ඩියාහි ටෙකා මාර්කට් වෙත පැමිණ එළවළුල මාළු, මස්, බිත්තර, පොල්, ලුණු, දුරු, මිරිස් ආදිය මිලදී ගනිති. වෙට් මාර්කට් ලෙස හැඳින්වෙන එය අපට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳසල්ය.   


සාප්පු සවාරි යන්නන්ට ලිට්ල් ඉන්ඩියා’ ප්‍රදේශයේ නැවතීම වාසිදායකය. එකක් වෙන්නේ බොහෝ ප්‍රකට මුස්තාෆා සාප්පු සංකීර්ණය එහි පිහිටා තිබීමයි. ඒ හැරුණුවිට බුගී මාර්කට්, ටෙකා මාර්කට් ආදී බොහෝ තැන්වලට යාමට ඇති පහසුවය.   


පුංචි ඉන්දියාවේ පිහිටි බොහෝ අවන්හල්වල ප්‍රකට කෑම විශේෂයක් වෙන්නේ ‘ෆිෂ් හෙඩ්’ නොහොත් මාළු ඔළු කරියයි. මාළු ඔළු කරියට ඇත්තේ විශාල ඉල්ලුමකි.   
එමෙන්ම ඇතැම් අවන්හල්වලදී ශ්‍රී ලාංකික තරුණයන් හමුවීමට ද හැකිය. ඔවුහු බොහෝදෙනා සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබති. හැන්දෑවරුවට තම වියදම් සඳහා ‘පාට් ටයිම්’ රැකියාවක් ලෙස ඔවුහු එම අවන්හල්වල සේවය කරති.   


සිංගප්පූරුවේ මේ ප්‍රදේශයට ලිට්ල් ඉන්දියා නාමය ලැබී ඇත්තේ 1963 දී පමණය. කලින් හැඳින්වූ නාමය වූයේ සෙරන්ගුන් යන්නය. දැනුදු එම නාමය භාවිත වෙයි.   
දෙවැනි ලෝක යුද්ධ සමයේදී සිංගප්පූරුව ජපානයේ ප්‍රහාරයට ලක්වූ අතර එය පුංචි ඉන්දියාවට ද බලපෑවේය.   


බ්‍රිතාන්‍ය පාලන සමයේදී ස්ටැම්ෆර්ඩ් රැෆල්ගේ උපදෙස් අනුව මේ ප්‍රදේශය වෙන් කෙරිණ. ඉන්දියානුවෝ මේ ප්‍රදේශයේ බොහෝ කලක සිට ගව පාලනය මෙන්ම ඒ ඇසුරෙන් කෙරෙන වෙනත් කර්මාන්තවල ද හුණු හා ගඩොල් කර්මාන්තයේද නිරත වූහ.   


‘විවිධ රැකියා සඳහා සිංගප්පූරුවට ආ බංග්ලාදේශ ශ්‍රී ලංකා ඉන්දියන් ජාතිකයන් සති අන්තවලට එක්වෙන ස්ථානයක් හැටියට තමයි ලිට්ල් ඉන්ඩියා වඩාත් ප්‍රසිද්ධ. ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගන්නට පමණක් නොවෙයි විවේකයෙන් ගත කිරීමටත් ලිට්ල් ඉන්ඩියාවලට තමයි එන්නෙ මම නම් සති අන්තවලට කොහොමත් යන්නෙ නෑ’’ සිංගප්පූරුවේ වෙසෙන රිචඩ් තිකේ පවසයි.   


මුස්තාෆා සාප්පු සංකීර්ණය පසුකොට මඳක් ඉදිරියට යත්ම දැකිය හැකි ක්‍රීඩා පිටියක් වැනි ස්ථානයකි. ඇතැම් නිවාඩු දිනවලදී ශ්‍රී ලංකාවේ මෙන් එහි පොළක් පැවැත්වෙයි. එහෙත් එම භාණ්ඩ තෝරා ගැනීමේදී මඳක් සැලකිලිමත් විය යුතුය.   


පුංචි ඉන්දියාවේ බෞද්ධ, හින්දු, මුස්ලිම් ආදී බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම පිහිටා ඇත.   


බෞද්ධයන්ට වන්දනාමාන කළ හැකි ශාක්‍යමුණි බුද්ධගයා විහාරය පුංචි ඉන්දියාවේ රේස්කෝස් පාරේ පිහිටා ඇත. එය 1929 දී තායිලන්තයේ වුතිසාර හිමියන් විසින් ආරම්භ කරන ලද බව පැවැසෙයි. මෙය ථෙරවාදී බුදු දහම ප්‍රචලිත කෙරෙන පුදබිමකි.   


මෙම විහාරයේ ආකර්ෂණය වඩාත් තීව්‍ර කරනුයේ මීටර් 15ක් උසැති එමෙන්ම ටොන් 300ක් බරැති බුද්ධ ප්‍රතිමා වහන්සේය. මෙම පිළිමය වටා නිරතුරුවම දැල්වෙන විදුලි බුබුලු රාශියකි. එම නිසා මෙම විහාරය පහන් දහසේ විහාරය ලෙස ද හැඳින්වෙයි. එමෙන්ම සැතපෙන පිළිම ආදී තවත් ප්‍රතිමාද දැකගත හැකිය. රේස්කෝස් පාරත්, ෆෙරර් පාක්, එම්. ආර්. ටී. (දුම්රිය පොළ) නැවතුම් පොළ අතර මෙම විහාරය පිහිටා ඇත.   


ඇතුළුවීම සඳහා මුදල් අය නොකළ ද විහාරයේ ගෞරවයට හානි නොවන ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරැසී පැමිණීම අපේක්ෂා කෙරෙයි. උදෑසන 8.00 සිට සවස 4.30 දක්වා විවෘතව පවතී.   

 

 


එමෙන්ම ප්‍රකට හින්දු කෝවිල් දෙකක්ම පුංචි ඉන්දියාවේ පිහිටා ඇත. ඉන් එක් කෝවිලක් වන්නේ වීර මහා කාලි අම්මාන් කෝවිලයි. පුංචි ඉන්දියාවේ ආකර්ෂණය මෙන්ම වඩාත් සෙනඟ ගැවසෙන ස්ථානයක් ලෙස සැලකෙයි.   


සෙරන්ගුන් පාරේ පිහිටා ඇති මේ කෝවිල 19 වැනි සියවසේ ගොඩනැගුණකි.   


කුඩා වර්ණවත් ප්‍රතිමාවලින් හෙබි මේ කෝවිලේ නිරතුරුවම පුද පූජා පවත්වන බැතිමතුන් දැක ගත හැකිය. අනෙක් හින්දු කෝවිල වන්නේ ශ්‍රී සිරිනිවාස පෙරුමාල් කෝවිලය. මෙයද ඉතා වර්ණවත් කෝවිලක් වෙන අතර ක්‍රිෂ්ණ, වෙනුවෙන් තනන ලද්දකි. ක්‍රිෂ්ණ, විෂ්ණුගේ අවතාරයක් ලෙස සැලකෙයි.   


1859 දී ඉදිකරන ලද අබ්දුල් ගෆූර් මුස්ලිම් දේවස්ථානයද මුස්ලිම් බැතිමතුන්ට විශේෂ වූවකි. එහි ගෘහ නිර්මාණය දකුණු ඉන්දීය, මුර්සි හා වික්ටෝරියානු ආභාසය ලබා ඇත.   
ලිට්ල් ඉන්ඩියාහි පිහිටි ටෑන් ටෙන් නියා මන්දිරය ද බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තකි. එය මහල් දෙකකින් යුක්තය. සිංගප්පූරුව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබූ කාලයේදී ඉදිවූවකි. එහි ඉතිහාසය 1900 දක්වා දිව යයි. චීන ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරන එම මන්දිරය පිහිටා ඇත්තේ කර්බයා පාරේය.   


චීන ජාතිකයන්ගේ වන්දනාමානයට ලක්වන දයාවේ දෙවඟන වෙනුවෙන් ඉදිවූ ලියොන් සැන් සී ද පුංචි ඉන්දියාවේ පිහිටා ඇත. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය පතා බොහෝ පිරිස් මෙම පුද බිමට එති. මෙම පුදබිමේ ඇතුළත මන්දිරයේ විවිධ වර්ණ ගැන්වූ කැටයම් හා ප්‍රතිමා දක්නට ඇත. මෙය චීන රාජ මාළිගයක් සිහිපත් කරවයි. ආගමික හා ජාතික සංහිඳියාව පමණක් නොව සංස්කෘතික සබඳතා, සංකේත ද මනාව දැක ගත හැකි පුංචි ඉන්දියාවේ චීන ඉන්දියානු, මුස්ලිම් ආරෙට සැකසුණු විවිධ අවන්හල් පාර දෙපසම පිහිටා ඇත. විවිධ ජාතීහු නිරතුරුවම එම අවන්හල්වල කමින් බොමින් දවස ගත කරන අයුරු දැක ගත හැකිය. 

 

 

රොඩ්නි විදාන පතිරණ