බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ කෝට්ටගොඩ තේ කම්හල වැසී විනාශ වෙමින් තිබේ. යන්ත්‍ර සූත්‍රද ගලවාගෙන ගොසිනි.


කෝට්ටගොඩ තේ කම්හල පමණක් නොව බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 17ක් පමණ මේ වන විට වැසී ගොසිනි.


අවුරුදු 102ක් වයසැති මුත්තු තෙයිවානි අද ජීවත්වෙන ලයින් කාමරය ඉදිරියේම තියෙන කෝට්ටගොඩ තේ කම්හලට වන විනාශය උදේ හවා පෙනෙන නිසා තෙයිවානි නිතරම මෙනෙහි කරන්නේ තේ කර්මාන්තයට සිදු වූ හා සිදුවෙමින් පවතින පරිහානිය ගැනය.
ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගත් මහා බි්‍රතාන්‍යයේ සුදු මහත්තුරු තේ වතුවල වැඩට කම්කරුවන් ගෙනාවේ ඉන්දියාවෙනි. ඒ උඩරට සිංහලයින් සුද්දා තමන්ගෙන් උදුරාගත් ඉඩම්වල ආරම්භ කළ වතු වගාවල කම්කරුවන් ලෙස සේවය කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසාවෙනි. ඒ හිඩැස පිරවීමට සුදු පාලකයෝ දකුණු ඉන්දියාවෙන් අඩු වැටුපට කම්කරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කළහ. 
තෙයිවානි දෙමාපියන් සමග ඉන්දියාවේ කංජිපූර් සිට ලංකාවට එන විට ඇගේ වයස අවුරුදු 4කි. 


ඇය මුල්වරට වේවැස්ස වත්තේ දළු කඩන්න ගියේ වයස අවුරුදු 8 දීය. ඒ පුහුණුවන දළු නෙළන්නියක් හැටියටය. ඇයට ලැබුණු දිනක වැටුප ශත 29කි. 


එහෙත් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ඇයට සෙසු කම්කරුවන්ට මෙන් දිනකට ශත 49ක වැටුපක් ලැබිණ. ඒ දවස්වල හාල් සලාකයක් හා පාන් පිටි සලාකය ශත ගණනකට ලැබුණේ (චෙක්රෝලෙන්) පඩියෙන් මුදල කැපෙන ලෙසිනි.


අල වර්ග, කොළ වර්ග, කව්පි, මුං ඇට ආදී ආහාර වර්ග මිල ඉතා අඩුය. බොහොමයක් ලයිම් කාමර අසලම ගෙවත්තේ වගා කර තිබුණේය.


කොටින්ම කියනවා නම් බඩ පිරෙන්න කා බී හිතේ හැටියට රන් අභරණද මිලට ගෙන මුදලක් ඉතිරි කරගන්නට ඔවුන්ට හැකිවී ඇත. අවශ්‍යතා සීමිත බැවින් ලැබෙන පඩිය හොඳටම ප්‍රමාණවත්ය. වැඩවර්ජන, උද්ඝෝෂණ ඇත්තේම නැත. කිරි ගව පට්ටියද ලයින් ළඟමය. කිරි විකුණන්නේ නැත. බෙදාගෙන බොනවාය. 


වත්තේ ලොකු මහත්තයා අශ්වයා පිටින් පැමිණ සතියකට වරක් ලයින් කාමර පරීක්‍ෂා කරන්නේය. අපිරිසිදුව තිබුණොත් රුපියල් 100ක දඩයක් අය කරන්නේය.


මැටි කපරාදු බිත්ති සහිත ලයින් කාමර ආලේප කිරීම සඳහා මාස 6කට වරක් හුණු පැකට් 2 බැගින් වත්තෙන්ම ලැබෙන්ණේය.
සතියකට වරක් කානු ගිනිවතුර යොදා සෝදන්නේද වත්තෙනි. එනිසා මැසි මදුරු උවදුරක් ඇත්තේම නැත. 


මුල්දවස් වල වතුවල ඉස්කෝල නැත.


තෙයිවානිගේ තාත්තා කීවේ ඉගෙන ගැනීමෙන් වැඩක් නැති බවය.


“උඹ වත්තේ වැඩට යන ගමන් කිරිහරක් ටික බලපන්” තාත්තා කිව් හැටි ඇයට තවම මතකය.


ඒ පට්ටියේ ගවයන් 20කි. කිරිදෙනුන් හිටියේ 5කි. තණ කොළ කපාගෙන විත් බඩකට පුරවන නිසා උදේ හවස කිරි ලීටර් 25ක් පමණ දෙන්නට කිරිදෙනුන්ට පුළුවන.


ඒවා වටේ පිටේ අයට බෙදාදී නිවසේ අයද බීව්වේ සතුටිනි.


හයවෙන විට ලයින් කාමරවලින් ඉගිලී ගොස් මිතුරියන් සමඟ හරි හරියට තේ දළු නෙළුෑ හැටි සිහිවෙන විටත් හරිම සතුටකි. 
ජල සැපයුම වත්තෙන් ලබාදුන්නත් දියපීල්ලට ගොස් දිය නෑමද විනෝදයකි.


පෙම් හැඟුම් හදවතේ පැනනැංගද ඒ ගැන එතරම් උවමනාවක් තිබුණේ නැත. ජීවිතයේ පළමු තැන ලබාදුන්නේ වැඩ කිරීමටය. වත්ත සරු කිරීමටය.


කෙසේ නමුත් දෙමාපියන්ගේ යෝජනාවක් අනුව වයස 16 දී යුග දිවියට පත්වූයේ බදුල්ල ඔලියමණ්ඩිය වත්තේ පදිංචිව සිටි ජී. මුත්තු සමගිනි. දරුවන් 7 වැදුවාය පස් දෙනෙක් දියණියන්ය. දෙදෙනෙක් පුත්තුය.


සැමියා වූ මුත්තු වත්තේ වැඩ කළේ නැත. ඔහු රන් භාණ්ඩ පොට්ටනියකට බැඳ නිවසින් නිවසට ගොස් අලෙවි කළේය.
වත්තේ කාන්තාවෝ හිතේ හැටියට කණකර අභරණ මිලදී ගත්තේ ඔහුගෙනි.


මුල් දවස් වල පවුම රුපියල් 7.00ක තිබී ඉන් පසු රුපියල් 11.00විය.


දැන් රන් මිල තෙයිවානියට හිතාගන්නටත් බැරි තරම් ඉහළය. තෙයිවානි අද ලැයින් කාමරය ඉදිරියේ එළි පත්තේ වාඩිවී කල්පනා කරන්නේ ඉන්දියාවට යාම සඳහා කලකට පෙර ලබාගත් පාස්පෝට් එකේ ඇති තමාගේම ඡායාරූපය දෙස බලමිනි.


එහි ඡායාරූපයේ ඇත්තේ පවුම් 7ක් බරැති එල්ලෙන කරාබු කුට්ටමකි. 


අද ඒ කන්පෙතිවල කරාබු නැත. හිස් කන්පෙති දිගු වළවල් සේ එල්ලී ඇත්තේ එදා පැළඳි කරාබු වල බරටය.


එතෙක් මෙතෙක් ආර්ථිකයේ පිරිහීම වචනයෙන් කියනවාට වඩා එල්ලා වැටෙන හිස් කන්පෙනි වලින් අවබෝධ කරගත හැකිය.
වැඩිමල් පුතා වයස අවුරුදු 35දී මියගියේ හෘදයාබාධයකිනි. සැමියා මියගියේද හෘදයාබාධයකිනි. දරුවන් ලොකු මහත් කරන්නට නොවිඳි දුකක් නැතත් අද ඇය සතුටු වෙන්නේ දරුවන්ගේ යහපතට කැපවෙමින් දරුවන්ගේ දරුවන්ගේද සුරතල් බලමිනි.


ඉන්දියාවේ සිටින පුතා අම්මට අද කතා කරන්නේ වයිබර් තාක්‍ෂණයෙනි. ඔහු මාස්පතා සල්ලිද එවන්නේය.


අවුරුදු 80ක් වත්තේ දළු නෙළන්නියක් වූ තෙයිවානි විශ්‍රාම ගියද කාටවත් බරක් වූයේ නැත.


දියණියකගේ ලයින් නිවාසයේ අද වෙසෙන තෙයිවානි කුකුල් පාලනයට අමරතව නිවසේ වැඩ කටයුතු වලටද හවුල් වන්නීය. මී මුණුබුරු මිණිබිරියන්ට කෑම කවන්නේද ඔවුන්ගේ දෙමාපියන් වත්තේ වැඩට ගොස් එනතෙක් ඒ දරුවන් බලාගන්නේ මේ මී ආච්චිය.
තමන්ගේම කුකුල් කොටුවේ කිකිළියන් දිනකට බිත්තර හත අටක් ලබාදෙන නිසා සල්ලි අත මිට ගැවසෙන්නේය. 


ඊට අමතරව කතරගම දෙවියන් පිළිබඳ දැඩි භක්තියක් ඇති ඇයට පහළ වී තිබෙන දේව වරම වරෙක ඇය ආරූඪ කරන්නීය.


කටේ කටුගසා කාවාඩි නටන්නට ඇය හපනියකි. 


අදටත් වත්තේ කෙනෙකුට දෙයියන්ගේ ලෙඩක් හෝ වෙනත් බෝවෙන ලෙඩක් හැදුණු විට එම නිවසට ඇය කැන්දාගෙන ගොස් පූජා පවත්වාගැනීමට වත්තේ අය පුරුදුව සිටිති. 


ඒ සඳහා අයකිරීමක් නැතත් සතුටකින් කීයක් හරි දීමට වත්තේ අය කැමැතිය.


අප මෙතෙක් කීවේ ඇගේ කතාවය. තෙයිවානි ඒ ඇය සිහිපත් කළ ඇගේ කතාවය.


වයස අවුරුදු 8සිට හැම අවුරුදේදේම කතරගම වන්දනාවේ ගොස් ඇති මේ මිත්තනිය ඒ ගැන කී කතාව වඩාත් රසවත්ය.
“ඒ දවස් වල අදවගේ කාපට් පාරවල් නැහැ. පාරක් තොටක් නැහැ. බස් ඇත්තේම නැහැ. අපි බදුල්ලේ ටවුමට යන්නෙ කලාතුරකින්. පයින්ම යනවා.


කතරගම යන්නේ නඩ හදාගෙන. කෑම හදන්න බඩු පොදි ගහගෙන කැලේ මැදින් යන අතරෙ දිය කඩිත්තක් ළඟ නතරවෙලා කෑම හදලා කනවා. හැබැයි පුළුටු මොකුත් කෑමට ගත්තේ නැහැ.


මහ කැලේ මැදින් යන කොට අලි කරදර තියෙනවා. 


අපි නඬේට 50 දෙනෙක් විතර යන නිසා බයක් නැහැ.


මොකද අලිය කියන්නේ ගන දෙවියාගේ අවතාරය නිසා අපි කරන්නේ හරෝ--හරා--හරෝ--හරා කියලා කපුරු දැල් වූ හට්ටි ඔලුවේ තියාගෙන කෑ ගහනවා.


එතකොට කරදරයක් නොකර උන් යන්න යනවා.


කතරගමට යන්න දවස් 3ක් යනවා. ආයෙත් එන්නත් දවස් 3ක් යනවා. කතරගමදී පේ වෙලා කටුගහලා කාවාඩි නටන එක ලොකු සතුටක්” යැයි ඇය කීවේ දේව ගීතයක් ගයමින් අත්පොලසන් හඬ නගමින්ය.


මහ තොන්ඩමන්ගේ ගුරා දැක ඇති නමුත් තොන්ඩමන් මහත්තය කවදාවත් දැකල නැති උනත් හැමදාම ඡන්දය දුන්නේ අලියාට යැයි ඇය පැවසුවේ අලියාට ඇති භක්තිය නිසාය.


ඒ ලාංඡනය ගන දෙවියන් යැයි තවමත් පැරැණි කම්කරු ජනයා අදහන්නේය.


සුද්දාගෙන් රටත් වතුත් නිදහස් වී පසුගිය කාලයේ සිදුවූ වෙනස තෙයිවානි දකින්නේ සුභවාදීව නොවේ.


“සුද්දාට රටත් වතුත් තිබුණා නම් මීට වඩා හොඳයි. කාල ඇඳල ඉන්න තිබුණා.” ඇය කීවේ අප සමුගන්නා මොහාතේය. 


සටහන හා ඡායාරූප 
 බදුල්ලේ පාලිත ආරියවංශ