ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.  

අනුන්ට ගැසූ ගිනිවතුර තමන්ටම වැදුණු හැටි  


මින් පනස් වසරකට පෙර උතුරු මැද පළාතේ පවුල් විස්සක් පමණ ජීවත් වුණ පිටිසර ගම්මානයකි. ගමේ වැඩි දෙනෙක් කෘෂි ගොවියන් වූ අතර හරමානිස් නම් වගා කටයුතුවල යෙදීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. දරු දෙදනෙකුගේ පියෙකු වූ ඔවුන්ගේ නඩත්තුව ගෙන ගියේ ගමට සැතපුම් තුනක් දුරින් නගරයේ පිහිටි සිල්ලර බඩු කඩයක වැඩ කිරීමෙනි.  


වසර හයක පමණ කාලයක් කඩයේ වැඩකිරීම නිසා ඔහුට වෙළෙඳ‌ාම ගැන හොඳ දැනුමක් හා පළපුරුද්දක් ලැබිණි. දිනක සවස කඩය වැසීමෙන් පසු හරමානිස්, මුදලාලිට කතාකොට ‘මුදලාලි දැන් අවුරුදු හයක් විතර කාලයක් මං කඩේ වැඩ කළානේ. මගේ අදහසක් තියෙනවා. ආයේ වැඩට නෑවිත් නතරවෙන්න. බැරිද කවුරු හරි කෙනෙක් කඩේ වැඩට හොයා ගන්න’ යි විමසුවේය.  


‘ඇයි හරමානිස් නතර වෙන්නේ?’ මුදලාලි විමසුවේය.  


‘ඇත්තම කියන්නම් මුදලාලි මට හිතෙනවා ගමේ පොඩි කඩයක් ද‌ාගන්න කියලා.’  


‘ආ... එහෙම දෙයකට නම් නතරවෙන්න. ඒක හොඳ කල්පනාවක්. මමත් උදව් කරන්නම්.’  


සතියකට පසු හරමානිස් කඩේ වැඩට යාම නතරකොට ගෙය ඉදිරිපිට ගුරුපාර අයිනේ කටුමැටි ගසා ටකරන් සෙවිලිකොට කඩකාමරයක් සාද‌ාගෙන කඩය පටන් ගත්තේය. පිටිසර ගම්වලට නිතරම අවශ්‍ය වන භූමිතෙල්, ලුණු, සබන්, සීනි, තේකොළ, ගිනිපෙට්ටි, හුණු, දුම්කොළ, බීඩි. සුරුට්ටු, ඩිස්ප්‍රීන්, හුළං විස්කෝතු විස්කිරිඤ්ඤං, බැට්රිකෑලි, තුනපහ වර්ග, අල, ලූනු, පරිප්පු හා කරවල වර්ගත් රුපියල් හයහත් සීයකට ගෙනාවේ කලින් ඔහු වැඩකළ කඩයෙනි.  


හරමානිස්ගේ අලුත් කඩය නිසා ගමේ අය නගරයට යාම බොහෝ දුරට අඩුවිය. වෙළෙඳ‌ාම ඔහු සිතුවාට වඩා සරුවට කෙරුණේය. මෙසේ මාස කිහිපයක් ගතවන විට හරමානිස්ට මහත් ගැටලුවක් මතු විය. වෙළෙඳ‌ාම වැඩි වූ තරමට කඩේට අවශ්‍ය බඩු සැතපුම් තුනක් ඈතින් පිහිටි නගරයෙන් ගෙන ඒමට ක්‍රමයක් නැතිවීමයි.  


සෑම ඉරිද‌ා දිනකම සවස් වරුවේ පමණක් කඩය ඇරීමට තීරණය කර ගත්තේය. ඒ කාලයේ කුලී වැඩ කරන කෙනෙකුට දිනකට ගෙව්වේ සත හැත්තෑ පහක් රුපියලක් වැනි මුදලකි. හරමානිස් රුපියල් එකයි සත පණහ බැගින් ගෙවීමට පොරොන්දු වී සෑම ඉරිද‌ා දිනකම තමා සමග නගරයට ගොස් කඩේට බඩු ගෙන ඒමට ගමේ තරුණයින් තුන්දෙනෙකු පත්කර ගත්තේය.  


 බඩු ගෙන ඒමට යන වියදම පියවා ගැනීමට හරමානිස් හැම බඩුවකින්ම සතයක් දෙකක් වැඩිකොට වික්කේය. හැම බඩුවක්ම කඩේ තිබෙන නිසා වෙළෙඳ‌ාම අධික විය. සමහර දිනවල රුපියල් දෙසීය ද ඉක්මවා බඩු විකිණීමෙන් හරමානිස්ගේ කඩේ මහත් දියුණුවකට පත් විය.  


එහෙත් ඔහුට මහත් අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. හරමානිස්ගේ කඩේ සිට සැතපුම් කාලක් පමණ දුරින් ගම මැද්දේ රොමානිස් ද කඩ කාමරයක් හදන බව ආරංචි වීමයි.​  
රොමානිස් එම ස්ථානයේ කඩයක් දැමුවොත් තමාගේ කඩයට වෙළෙඳා‌මක් නොසිටින බව ඔහුට පැහැදිලිවම පෙනී ගියේය. ගමේ ගෙවල් වැඩි ප්‍රමාණයක් ඇත්තේ එම ස්ථානය අසලවීම එයට හේතුවයි. එබැවින් රොමානිස්ගේ කඩය නවතාලීමට ක්‍රමයක් ගැන හරමානිස් කල්පනා කළේය.  


කඩයට බඩ ගෙන එන අයත් සමග ඉරිද‌ා උදේ නගරයට ගිය හරමානිස් තමා බඩු ගන්නා කලින් වැඩ කළ කඩයේ මුදලාලි සමග ද මේ බව කීවේය.  


ඒ ඇසූ මුදලාලි ද පවුල් විස්සක් තිහක් ඉන්න ගමකට කඩ දෙකක් මොකටද? ඒ කඩේ අරින එක නවත්වන්න බැරිදැ’ යි ඇසුවේය.  


‘අපි කවුරු කිව්වත් ඒ මිනිහා කඩේ ද‌ාන එක නතර කරන එකක් නෑ. අනික අපට එහෙම කියන්නත් බෑනේ.’  


‘හොඳයි මම ඒ කඩේ ද‌ාන එක නතර කරලා දෙන්නම්. හැබැයි මේක අපි දෙන්නා අතරෙම පවතින රහසක් වෙන්න ඕනෑ. ගෙදර දී හරි පිට තැනකදී හරි මිනිහට දෙන්න ඕනෑ හොඳ ඇසිඩ් පාරක්. එතකොට කඩේ ද‌ාන එක ඉබේම නතර වෙයි. බඩු මම දෙන්නම්. කියූ මුදලාලි හරමානිස්ට ඇසිඩ් ගහන ආකාරය පැහැදිලි කරදී ඇසිඩ් පුරවන ලද බෝතල් කුප්පියක් ද දුන්නේය. හරමානිස් එය රැගෙන සඟවා ගත්තේය.  


 ඉන්පසු හරමානිස් කඩේට බඩු ගෙන යන අයත් සමඟ පැමිණ සවස්වරුවේ කඩය ඇර වෙළෙඳ‌ාමේ යෙදුණේ රොමානිස්ට ඇසිඩ් ගැසීම ගැන කල්පනා කරමිනි. තමා එදිනම එම කටයුත්ත කළයුතු බවට තීරණය කළේය. වෙනද‌ා කඩය වසන වේලාවටම කඩය වැසූ හරමානිස් ඇසිඩ් කුප්පියද ඉණේ ගසාගෙන රොමානිස්ගේ ගෙවල් පැත්තට ගියේය. ඒ වනවිට හොඳටම රෑ බෝවී තිබුණ අතර රොමානිස්ගේ නිවසේ දොරද වසා තිබුණි. ජනේලයක පියනක් බාගෙට ඇර තිබුණේය. ඔහු හෙමින් හෙමින් බිත්තිය අයිනෙන් ජනේලය ළඟට ගොස් විපරම්කොට බැලුවේය. කුප්පි ලාම්පුවක ආධාරයෙන් ළමයෙකු පාඩම් කරන අතර රොමානිස් ජනේලයට ආසන්නව ඇති බූරු ඇඳක ඇළවී සිටිනු දුටුවේය.  


හරමානිස් හිමින් සැරේ ඉණේ ගසාගෙන සිටි ඇසිඩ් කුප්පිය ගෙන මූඩිය ගලවා එකවරම රොමානිස්ට් දමා ගැසුවේය. හරමානිස් කලබලයෙන් ගැසූ එම ඇසිඩ් පාර අඩවන්කොට තිබුණ ජනෙල් පියනේ වැදී පිටට විසි වීමෙන් හරමානිස්ගේ හිසත්, දකුණු උරහිස හා අතක් පුරාම වැටුණේය.  


‘බුදු අම්මෝ කියා’ මරහඬ දුන් හරමානිස් පාරට පැන කළුවරේම දිව ගියේ විළාප නගමිනි. නිවසට දුවගිය ඔහු කෑ ගැසුවේය. කඩය වසා නිමවෙනවාත් සමගම කළුවරේ ආ මිනිහෙක් ගිනි වතුර වගයක් ඇඟට වීසි කරලා දිව්වා.’ ඔහු බිරිඳට කීවේය.  


ඔහුගේ කෑගැසීම ඇසී දුවගෙන ආ අහල පහල නිවෙස්වල අය හරමානිස්ව නගරයේ රෝහලට ගෙන ගියහ.  


පසුදින රොමානිස් ගොස් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සම්පූර්ණ ඇත්ත සිද්ධිය අනාවරණය විය. හරමාන් එහි චූදිතයා ද විය.  


 මාස ගණනක් රෝහල්ගතව සිට විරූපීව යාන්තම් සුවය ලබා පැමිණි හරමානිස් සතියක් ගත වීමටත් පෙර වත්ත පහළ කජු ගසක ලණුවක් ගැට ගසා ගෙල වැළලාගෙන මියගොස් සිටියේය.  


 අනුන්ට ගිනිවතුර ගසා රජ වීමට වෙර දැරූ හරමානිස්ට ස්වභාවධර්මයෙන්ම මෙම ඉරණම අත්වූයේ කළකම් පලදීම මේ ආත්මයේම සිදුවිය හැකි බව පෙන්වා දෙමිනි.  

 



 රිකිල්ලගස්කඩ ටී.එම්. සෝමපාල මහතා ලියා එවූ කතාවකි  

වද දී මැරූ ඌරාගේ මස්   විස වී තුන් පැයකින් මරුට  


තුන්දරු පියෙකු වූ හතළිස් හැවිරිදි සිරිසේන ගොවිතැන් කරමින් ඉඳහිට කුලී මලියක් කරමින් පවුල නඩත්තු කළ ගැමියෙකි. කල්යාමේදි සිරිසේන මතටත් මස්මාංශ රුචියටත් ඇබ්බැහි වූයේ ඔහු කල්‍යාණ මිත්‍රයෙකු ලෙස සැලකූ පාප මිත්‍රයෙකු ඇසුරට පත් වූ හෙයිනි.  


 හක්ක පටස් නිර්මාණය පුහුණුව ලත් ඔහු පාප මිත්‍ර උපදෙස් අනුව වල් උෟරන් හා තිත් මුවන් මරණයට පත්කර එම මස් අලෙවියටත් මත්පැන් බීමටත් හුරුපුරුදු විය.  


 කාලගුණිකත්වය අයහපත් වීමත් ගොවිතැන් පාළුවී යාමත් නිසා සිරිසේන විකල්පයක් ලෙස සිතුවේ වැඩි වැඩියෙන් සතුන් මරා ගැනීමටය. එහෙත් කිසිම සතෙක් තම උපක්‍රමවලට ගොදුරු කරගත නොහැකි විය.  


 සිරිසේන විසූ ගම්මානය බුදුදහමට ඉතා ළැදි පිරිසක් වෙසෙන ගම් පියසකි. එහෙත් දුප්පතුන් බව කියා පාමින් සමෘද්ධිය හෝ රාජ්‍ය ආධාර හෝ වෙනයම් ආධාර ඉල්ලා සිටියද රහසිගත ලෙස මස් අලෙවි කරන විට මස් අලෙවිකරුට ලැබෙන මොණර කොළවලින් සැබෑ තත්ත්වය පැහැදිලි වෙයි. එමෙන්ම මෙම ගම්මානයේම හක්කාපටස් තැබීමෙන් විදුලිබලය අයුතු ලෙස සත්ව ඝාතනය සඳහා සැකසීමෙන් සතුන් පමණක් නොව ඒ සඳහා පෙළඹුන මිනිස් ජීවිත ද දිට්ඨ ධම්ම වේදණීය වශයෙන් විපාක දෙන බව ඔවුනට අවබෝධ නොවීම අතිශයින්ම කණගාටුද‌ායකය.  


 සිරිසේන නොසිතූ අයුරින් උෟරු දණ්ඩෙක් හක්ක පටස් එකක් සපා කා මුව පෙදෙස විනාශව දඟලමින් සිටිනු දැක උදව් පතා වහාම කැඳවා ගත්තේ පිටස්තරයෙක් නොව තම බාල සොහොයුරාය. ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ඌරු දණ්ඩාට ගලකින් වේගවත් පහරක් බෙල්ලට දුන් නමුදු එම පහරිනුත් එම සතා තුවාලව තව තවත් ලේ ගැලුව ද මරණයට පත් වූයේ නැත. වැරෙන් තවත් පහරක් එල්ල කළත් එයින් ද බලාපොරොත්තුව අසාර්ථක විය. බාල සහෝදරයා රැගෙන විත් තම අයියාගේ අත තැබූ කළුගල ඌරු නාම්බා නිසසල කිරීමට සමත් වූයේ සතාගේ උගුර දෙකට තුනට පොඩිවීම හේතුවෙනි.  


 ඉතිරි කටයුතු නිමා කරන්නට ගියේ හෝරාවකටත් අඩු කාලයකි. හදිසියේ උපයාගත් මුදලින් රුපියල් 5000 නෝට්ටුවක් අතට ගත් සිරිසේන තම සහෝදරයා අත තබා නගරයට ගොස් ගල් අරක්කු බෝතලයකුයි, සිගරට් පැකැට්ටුවකුයි, මුරුක්කු පැකට් කීපයකුයි රැගෙන එන ලෙසට අණ දුන්නේය.

  
 සවස පහට පමණ සිරිසේන නිවස ඉදිරිපිට ගස් සෙවණක කුඩා මේසයක් පුටු කිහිපයක් තබා අසල්වාසී මිතුරාට ඇරයුම් කළේ හුඟ කලකින් අදවත් සෙට්වෙමුයි පවසමිනි.  
 දුම් නගන මස් පීරිසි තුනක් මේසයට රැගෙන ආවේ මුළුතැන් ගෙයිනි. ප්‍රීතියෙන් උද්ද‌ාමයට පත් සිරිසේන ගල් බෝතලය විවෘතකොට වීදුරුව පුරවා ගත් පසු ඉතිරිය පැවරුයේ අසල්වැසියාටත් තම සහෝදරයාටත් බෙද‌ා ගන්නා ලෙස පවරමිනි. පැවැති සාදය සවස හතවන විට නිමා වුව ද සිරිසේනට මදි බව පවසමින් ද‌ාහේ නෝට්ටුවක් සහෝදරයා දී තව භාගයක් රැගෙන එන ලෙස කීය.  


මල්ලීගේ අකමැත්ත පළවීම හේතුවෙන් සිරිසේනම නගරය බලා යෑමට සූද‌ානම් විණ. ග්‍රාමයේ සිට ඇති අතුරු මාවත කොන්ක්‍රීට් මාවතකි. ගම්මානය පිහිටියේ කඳුකරයක ප්‍රපාතාකාර බෑවුමකිනි. කිලෝ මීටර දෙකක් පමණ ගිය විට නගරයට යන හන්දිය හමුවෙයි. එතැන් සිට නගරයට තවත් කිලෝ මීටරයකි.  


සුපුරුදු ඇඳුමෙන් නිවසින් පිටතට පැමිණි සිරිසේන කිසියම් වාහනයක් මාවතේ පැමිණෙවි යැයි අපේක්ෂා කළ ද ඔහුට හමු වූ වාහනයක් නැත. වන ගොදුලේ රැහැයි නාදය මිස කිසිවකුත් හමු නොවීමෙන් දන්නා ගී පද දෙක තුනක් තොළ මතුලමින් ඉදිරියට ආ ඔහු ආපසු හැරී බලා මවිත වූයේ වෙනයමකට නොව මෙතරම් ඉක්මනින් කඳුගැටය හමාරව තිබීම ගැනය.  


හන්දියෙන් බස් රථයකට නැගි ඔහු කෙළින්ම නැවතුණේ බාර් එකක් ළඟය. ගල් භාගයක් ඉල්වා සිටි ඔහු ඉන් අඩක් කඩිමුඩියේ උගුරට හලා ගත්තේ කිසිවෙකුටවත් නොදකින අයුරිනි. සිහින මවමින් එතනින් පිට වූ සිරිසේන නිවස බලා පිටත් විය.  


පවුලේ සියලු දෙනාම මස් රසය ලබමින් තෘප්තියට පත්ව සිරිසේන එනතුරු බලා සිට කීයට හරි ඒවි යැයි සිතා එකිනෙකා තම තමන්ගේ යහන් මත වැටුණේය. සියල්ලෝම නින්දෙන් ඇහැරවන විට පසුද‌ා අලුයමත් පසුවී තිබුණි. උදේ හත, අටවන තුරුත් සිරිසේන නොපැමිණීම ගැන පවුලේ අයම විමසන්නට වුණි. කිසිත් ඒ පිළිබඳව තොරතුරක් නොලැබ තිබුණි.  
 නිවසේ බුදු පහන පෙර දින දැල්වුව ද දැල්වී නැත. හූණන් ඔබ මොබ දුවමින් නිකුත් කළ නාද රටාව වෙනසක් තිබූ නමුත් ඒ කිසිත් තැකීමක් නොවීය. ගේ කුරුලු රංචුවම නිවස හැරගොස් ඇත. උදෑසන තේ එකක් බොමුයි සිතා ළිප ගිනි දල්වන මොහොතේ ගිනි ඇවිලුණ ආකාරය ද අමුතු විය.  


 සිරිසේනගේ බිරිඳ බුදුපහන ආලෝක කරන්නට ගත් උත්සාහයන් දෙවරක්ම බිදී ගියේ ගිනිකූරු නිවරැදිව නොදැල්වීම නිසාවෙනි. තෙවන වරටත් ඒ පිළිබඳ උත්සාහ කරමින් සිටියදී නිවස දෙසට වේගයෙන් දුව එන අයෙක් දැක කවුරුදැයි බැලීමට නෙත් යොමු කළා පමණී. සිරිසේන ජල පහරක කාණුවක සිරව මියගොස් ඇති පුවත සැලවත්ම ඇයගේ අත වූ ගිනි පෙට්ටියත් බිමට වැටුණි.  


 වහා දුව ගිය ද ඔහු ගොඩගැන්ම තරමක අසීරු හෙයින් අසල්වැසි ප්‍රජාවගේ සහායෙන් ඔහු ගොඩට ගනු ලැබුවේ මහත් ආයාසයකිනි. ඔහුගේ පිට පෙදෙස සහ මුහුණෙහි ස්වභාවය පොතු ගැලවූළු තක්කාලි ගෙඩියක් සේය. එහි සිටි කක්කොට්ටන්ගේ ප්‍රහාරයන් නිසාවෙනි. ඔහුගේ ගෙල ද බිඳී ගොස් තිබූ අතර හදිසියේ හැදුන හෘදයාබාධයක් සමග ඔහු ජල කාණුවට වැටීමෙන් මියගොස් ඇති බවට මරණ පරීක්ෂණයේදී හෙළිවිණි.  


ඔහුගේ බාල සොහොයුරාටත් ගම්මාන වාසීන්ටත් සොබා දහම හෝ කවුරු හෝ උගන්වා ඇත්තේ මනා පාඩමකි.  

 

 

 

 සකස් කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්