සමස්ත බොරෝබුදුර් විහාරස්ථානය විදහා දක්වන්නේ බෞද්ධ දර්ශනයෙහි ඇති ගැඹුරු ඉගැන්වීමයි. මෙහි එවකට ප්‍රචලිත වූ මහායාන බුදු දහමේ ඉගැන්වෙන කාමධාතු, රූප ධාතු හා අරූප ධාතු යන සංකල්ප මෙමගින් විකසිත කෙරේ. තෘෂ්ණාවට ලැදි මිනිසුන්ගේ ලෞකික දේ සඳහා ඇති ආශවන් පහත මාලයන්හි ඇති ගලින් නිමවන ලද රූපවල පැහැදිලිව සටහන් කර ඇත. අධික තෘෂ්ණාවෙන් ඇති වන වේදනාව මෙහි ඇති මූර්ති වලින් දක්වා ඇත. විවිධ උදාහරණ විකසිත කරන ගලින් නෙළන ලද රූප සිය ගණනක් මෙහි ගල් බිත්තිවල ප්‍රදර්ශනය කෙරේ.


ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපත ලොව ඉපැරණි ඓතිහාසික සංස්කෘතික උරුමයන් රැසකට උරුමකම් කියන ප්‍රදේශයකි. ඓතිහාසික පූම්බානන් හින්දු දේවාලය ටෙන්දුම් විහාරස්ථානය, ලුම්බුන් විහාරස්ථානය, පෙන්ඩම් විහාරස්ථානය හා ඉපැරණි බෝරොබුදූර් මහා විහාරස්ථානය ඒ අතර වැදගත් වේ. ජොජකර්තා නගරයේ සිට බස් රථයෙන් පැයකට වඩා වැඩි කාලයක් කි.මී. 40 ක් පමණ ගමන් කළ විට මාගේලාන් නම් ප්‍රදේශයට යා හැකි අතර එහිදී අපට ලොව විශ්මිත විශාලතම වූ ගලෙන් නිමවා ඇති බොරොබුදුර් නම් බෞද්ධ විහාර සංකීර්ණයට ළඟා විය හැකිය.   


බෞද්ධ හා හින්දු බලපෑම් ඇති මධ්‍යම ජාවාව මීට වර්ෂ 1200 කට පමණ පෙර අයත් වූයේ මාතරම් රාජධානියටය. ඒ සමයේ ශෛලේන්ද්‍රරාජා පරම්පරාවේ රජවරුන් විසින් ක්‍රි.ව. 824 මැයි 26 වැනි දින මෙම විහාරස්ථානය බොරෝ නම් ගම්මානයෙහි ඉදිකර ඇත. බොදුර් හෙවත් විහාර නැත්නම් බිහාර් යන වචන එක්කාසු වීමෙන් බොරෝබුදුර් ලෙස හඳුන්වා දී ඇත. දැන් ලොව ප්‍රචලිත නාමය එයයි. පහළ සිට ඉහළට කුඩා වී යන ලෙස ස්ථර හෙවත් අදියර දහයකින් සමන්විත වූ මෙම විහාරස්ථානය ලෝකයෙහි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන කාම්බෝජයේ ඇන්කර්වොට්, මියන්මාර්හි ස්වේදගොන් හා බගාන්, ශ්‍රී ලංකාවේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය හා අභයගිරිය වැනි සියලුම ස්ථානවලට වඩා විශාල යයි සැලකේ.   


ප්‍රතිසංස්කරණය කිරීමට පෙර එහි උස මීටර් 42 ක් වූ අතර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය මීටර් 34.5 පමණ අඩු වී ඇති බව වාර්තා වේ. මෙය වර්ග මීටර් 55000 ක් ලාවා ගලින් නිම වී ඇති අතර කේදු නම් උස් කඳු මුදුනෙහි පිහිටි සෘජුකෝණාස්‍රාකාර තට්ටු හයකින් ද වක්‍රාකාර තට්ටු තුනකින් ද සමන්විත වන්නේය. එසේම මුළු විහාරස්ථානයම බෞද්ධයන්ට ඉතා පූජනීය වූ නෙළුම් මලක ස්වරූපයට දිස් වන්නේය.   


සමස්ත බොරෝබුදුර් විහාරස්ථානය විදහා දක්වන්නේ බෞද්ධ දර්ශනයෙහි ඇති ගැඹුරු ඉගැන්වීමයි. මෙහි එවකට ප්‍රචලිත වූ මහායාන බුදු දහමේ ඉගැන්වෙන කාමධාතු, රූප ධාතු හා අරූප ධාතු යන සංකල්ප මෙමගින් විකසිත කෙරේ. තෘෂ්ණාවට ලැදි මිනිසුන්ගේ ලෞකික දේ සඳහා ඇති ආශාවන් පහත මාලයන්හි ඇති ගලින් නිමවන ලද රූපවල පැහැදිලිව සටහන් කර ඇත. අධික තෘෂ්ණාවෙන් ඇති වන වේදනාව මෙහි ඇති මූර්ති වලින් දක්වා ඇත. විවිධ උදාහරණ විකසිත කරන ගලින් නෙළන ලද රූප සිය ගණනක් මෙහි ගල් බිත්තිවල ප්‍රදර්ශනය කෙරේ.   


රූප ධාතු මගින් තෘෂ්ණාව බැහැර කරනු ලැබුවද නැවතත් මතු වන ආශාවන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කර ඇති බව දක්වයි. මෙහි බුදු පිළිම රාශියක් විවෘත පරිසරයක දක්නට ඇති අතර ඒවා මගින් ආශාවන් ඉස්මතු වන ප්‍රමාණය වළක්වා ගැනීමට උපකාර වන බව කියැවේ. අරූප ධාතු ඉහළ මාල තුනෙහි විදහා දැක්වේ. අරූප ධාතු මගින් මිනිසාට තෘෂ්ණාවෙන් හා ආශා වලින් තොර වූ නිර්මාණය සාක්සාත් කර ගත හැකිය. ඉහළ මාලයන්හි බුදු පිළිම මගින් මෙය විදහා දක්වා ඇත.   


මෙම විහාරස්ථානයෙහි බිත්තිවල නෙළා ඇති ගල් කැටයම් පැරණි සංස්කෘත ග්‍රන්ථයක් වූ රාමායණයෙහි කතා ද එවකට ඉන්දුනීසියානු සමාජයෙහි විවිධ සිදුවීම් ද මනාව නිරූපිතය. කෘෂි කාර්මික කටයුතු කරන ගොවි ජීවිතය හා යාත්‍රා මගින් සමුද්‍ර තරණය ද මෙහි විවිධ අවස්ථාවල ගල් කැටයම් මගින් විකසිත වේ. රාමායනය ඉන්දියානු ප්‍රභවයක් ඇති ග්‍රන්ථයක් වුවද එය එදත් අදත් ඉන්දුනීසියානු බාලි හා ජාවා දූපත්වල සංස්කෘතියට හා නර්තනයට එමගින් මනා බලපෑමක් සිදු කර ඇත. විවිධාකාර තට්ටුවල නිර්මිත ගල් කැටයම් බෞද්ධ චින්තනය ඉගැන්වීමට සම්පාදනය කරනු ලැබ ඇත. මුළු බොරොබුදුර් විහාරස්ථානය හරි හැටි අධ්‍යයනය කරනු ලැබුවකු පහසුවෙන්ම බුදු දහම මනාව දැන ගන්නා බව ප්‍රචලිත මතයයි. එය එවකට සිටි ශෛලේද්‍ර රජවරුන්ගේ අපේක්ෂාව වූ බවද කිව යුතුය. ඉන්දියාව හා චීනය යන රටවලින් මෙම විහාරස්ථානයට බෞද්ධ බැතිමතුන් හා භික්ෂූන් වහන්සේලා නිරතුරුවම පැමිණි බවට දේශාටන වාර්තාවල සඳහන් වේ.   


මෙම ලොව විශාලතම බෞද්ධ විහාරස්ථානයෙහි ධ්‍යානයට සම වැදුණු බුදු පිළිම 92 කි. එසේම විවිධ අර්ථ ගෙනහැර දක්වන ගලින් නෙළන ලද ගල් කැටයම් දර්ශන 1400 කි. පහළ දැක්වෙන ගල් කැටයම් දර්ශන 160 ක් හේතු ඵල වාදය විදහා දැක්වේ. කුඩා ස්ථූප අභ්‍යන්තරයෙහි ධ්‍යාන බුදුපිළිම එනම් වජිර සත්ව පිළිම අන්තර්ගතව ඇත. මේ පිළිමවල ඇති හස්ත්‍ර මුද්‍රා පස් විවිධ දිසාවකට යොමු කර ඇත. එනම් උතුරු දකුණ, බටහිර, නැගෙනහිර හා මධ්‍යම යන්නයි. මද්‍යයෙහි ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් වල ඇතුළත් උතුම් භාවයයි.   


වත්මන් ඉන්දුනීසියාවේ පිහිටි මෙම පූජනීය ස්ථානයෙහි ඇති බුදු පිළිමයන්හි ඇති මුද්‍රා රාශියකි. ඒවා නම් භූමි ස්පර්ශ මුද්‍රා, වර මුද්‍රා, ධ්‍යාන මුද්‍රා, විතර්ක මුද්‍රා සහ ධර්ම චක්‍ර මුද්‍රා යන ඒවාය. මෙම මුද්‍රා පිළිඹිබු කරන බොහෝ බුදු පිළිමවල ශීර්ෂයන් නිදන් හොරුන් ආගමික අන්තවාදීන් හා කෞතුක භාණ්ඩ වෙළෙන්දන් විසින් විනාශයට පත් කර තිබේ.   


​ෙමම මහා ස්තූප සංකීර්ණය ඉන්දුනීසියානු ජනතාවට දැක බලා ගැනීටම ලැබුණේ වර්ෂ 150 ක පමණ කාලයක් පමණකි. මේ කවර හේතුවක් නිසා අතුරුදන් වූයේ ද යන්න දැන් උගතුන් විසින් නිරාකරණය කොට ඇත. බොරෝබුදුර් විහාරය පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුප්‍රකට ගිනි කඳු වළලු දෙකක් මැදය. මීරාබබු මෙරාපී සහ සුන්ඩොරෝසට්බීන් යන කඳු ක්‍රියාත්මක වීම හේතු කොටගෙන මෙම විහාරය ගිනි කඳු වලින් පිටවන ලාවා පස් වලින් වැසී ගිය බව කියවේ. එය හදිසියේම අළු පස් වලින් සැඟ වී ගියේය.   


එසේම තවත් මතයක් නම් මෙහි ඇති වූ මහා භූම් කම්පාවකින් මෙම චෛත්‍ය සංකීර්ණය උඩට නෙරා ගිය බවයි. මෙම ස්ථානයෙහි නෙළුම් මලක ස්වරූපයක පොකුණක් පැවති බවත් එය පසුව විනාශ වූ බවත් කියැවේ. විශේෂයෙන් මහායාන බුදු දහමේ ගෞරවයට පාත්‍ර වූ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය නිසා නෙළුම් පොකුණක ස්වරූපය මෙහි පැවති බවත් මුළු විහාරස්ථානයම නෙළුම් මලක පිහිටි ස්වරූපයට තිබුණ බවත් පුරා වෘත්තයන්හි දැක්වේ. කෙසේ නමුත් ගිනි කඳු බලපෑම හා භූමිකම්පා අදත් ජාවා සුමාත්‍රා දූපත්වලට නිරතුරුවම භයානක ප්‍රතිඵල ඇති කරවයි. එවැනි ස්වභාවික උපද්‍රවයක් නිසා ඒ සිදු වූ බව අදහස් කරන උගතුන් ද රාශියකි.   


ක්‍රි.ව. 1814 දී ජාවාහි ආණ්ඩුකාරයා වූ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් තෝමස් රුෆ්‍ල් විසින් 200 දෙනෙකුගෙන් යුත් ගවේෂක කණ්ඩායමක් සමග කේහ නම් කඳු මුදුන තරණය කර ගස් පුච්චා බොරෝ ගම්මානයෙහි සති හයක් පිරිසිදු කිරීම් කරනු ලැබීය. මෙහිදී ඔවුනට ටොන් දහස් ගණනක් සුළඟින් ගසා පැමිණි ඇති අළු සහිත ලාවා පස් තට්ටු ඉවත් කර බදුර් බුදුර් යන නම් වලින් හැඳින් වූ බෞද්ධ විහාරස්ථානය පාදා ගැනීමට හැකිවිය.   


මෙහි ගවේෂණ මුළු ආසියාවට හා යුරෝපයටම ගෘහ නිර්මාණ ශිල්පය, බුදු දහම හා බෞද්ධ ප්‍රතිමා කලාව හා චෛත්‍ය නිර්මාණය පිළිබඳ නව ආකල්ප ගොඩනැගීමට සමත් විය. මෙම ස්ථානයෙහි මහාමායා දේවිය තම දෙමාපියන් බැහැ දැකීමට රථයක ගමන් කරන ආකාරය හා සිද්ධාර්ථ කුමරුන් තවුස් දිවියට ප්‍රවේශ වීම පහත මාලාවල නෙළා ඇති ගල් කැටයම්වල අදත් දැක ගත හැකි වන්නේය. ඒවා අගනා කලා නිර්මාණ වන්නේය.   
1975 - 1982 කාලය තුළ සිදු කරනු ලැබූ ඉන්දුනීසියානු රජයේ හා යුනෙස්කෝ ප්‍රතිසංස්කරණ වලින් පසුව මෙම ස්ථානය හොඳින් නඩත්තු කර ගෙන යනු ලැබේ. 1985 සහ 1991 කිහිපවරක් මෙම ස්ථනායට මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වුව ද ඉන්දුනීසියාවට ප්‍රවේශ වන විදේශීය සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණෙන්නේ මෙම මහා විස්මිත නිර්මාණය සියසින් දැක ගැනීම සඳහාය. එය ලෝක සංස්කෘතික උරුමයකි. නෙදර්ලන්ත රජය මේ සඳහා ආධාර ලබා දෙන්නේ ඔවුන්ගේ පැරණි බතාවියා සබඳතාවය තහවුරු කිරීම සඳහායි. නෙදර්ලන්තය ඉන්දුනීසියාව යටත් විජිතයක් වශයෙන් පවත්වා ගෙන ගියේය.   


වර්ෂ දාහක් පමණ මෙම ස්ථානය ජනතා දර්ශනයෙන් ඈත් වූයේ භූමි කම්පා හා ගිනිකඳු ලාවා ක්‍රියාත්මක වීම නිසා හා ලාවා අළු වලින් ඒ වැසීයාම නිසාය. මේ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පා නිසා රාජධානිය ද මහ පොළොවට යට වූ බවද තවත් එක් මතයකි. ඉන් පසු මේ සියල්ල හැර දමා ඔවුන් නැගෙනහිර ජාවා දුපත් ප්‍රදේශයට ගමන් කර ඇත. කෙසේ නමුත් මේ සියල්ලක්ම ලොව සියල්ල අනිත්‍ය බව අපට මෙනෙහි කරයි.   
වර්ෂ 2006 දී ද ජොජකර්තා නම් මීට ආසන්නව පිහිටි නගරයට ද මහා භූමි කම්පාවක් ඇති විය. එයින් ඒ ප්‍රදේශය ද විනාශයට පත් විය. එහෙත් අද අපට ලාවා අළු පස්වලින් තොර වූ බොරෝබුදූර් දැක ගැනීමට ලැබීම මහත් භාග්‍යයකි.   


2014 වසරේදී නැවතත් මෙරාපී ගිනි කඳු ක්‍රියාත්මක විය. සැතපුමක් පමණ උසට විහිදුණු ලාවා අළු බොරෝබුදූර් වලට නැවතත් පතිත විය. එහෙත් අඛණ්ඩව මේ ගිනි කඳු වළල්ල ක්‍රියාත්මක වුවහොත් මේ මහා විහාරස්ථානය දැක ගැනීමට අපහසු වීමටත් එසේම ඒවා විනාශ වීමටත් බොහෝ ඉඩකඩ ඇත. කි.මි. 40 ක ක්‍රියාත්මක වන මෙරාපී ලාවා අළු මේ ප්‍රදේශය නොනවත්වා යට කරගෙන යයි. බොරෝබදුර් විහාරස්ථානය නිධන් හොරුන් හා කෞතුක භාණ්‍ඩ වෙළඳුන්ගෙන් ආරක්ෂා කර ගැනීමත් අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායම්වලින් බේරා ගැනීමටත් ගැටලුවක්ව පවතී.  

 

 

 

 

සාහිත්‍යසූරී සම්මානිත මහාචාර්ය
දයා එදිරිසිංහ