IMG-LOGO

ලෝකයේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන දිනූ ගාල්ලේ හසන්ත

 

ඇය තම සැමියා මරා දැමුවාය. ඒ බිහිසුණු ඝාතනය පිළිබඳ සොයන කිසිදු විමර්ශන නිලධාරියකුට සාක්ෂි හමුවීමට ඇය ඉඩ නොතැබුවාය. ඔවුන් ඇය ගැන වරින්වර සැක කළ ද එය සනාථ කිරීමට හැකියාවක් තිබුණේ නැත. අවසානයේ ඇගේ සැලසුම වූයේ තම සැමියාගේ ඝාතනය පිළිබඳ සොයාබලන අති දක්ෂයැයි නම් දැරූ රහස් පරීක්ෂකවරුන් මගින් ම සියලු‍ සාක්ෂි විනාශ කිරීමයි. 


මෙය ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වූ කතා වස්තුවකි. ලෝකයේ රටවල් ගණනාවක චිත්‍රපට, කෙටි චිත්‍රපට, ටෙලි නාට්‍ය මාලා රැසක් මේ කතාව අනුව නිර්මාණය වී තිබේ. එම කතාවේ පළමු නිර්මාණකරුවා බ්‍රිතාන්‍යයේ ලේඛක Roald Dahl ය. ඔහු විසින් රචිත  “Lamb to the Slaughter” කෙටි කතාව ලෝකය පුරා නිර්මාණ රැසකට පාදක වී තිබේ. 


ශ්‍රී ලංකාවේ නැගී එන සිනමා කරුවෙකු වන හසන්ත දිසානායක මේ කෙටිකතාව පාදක කරගනිමින් තවත් නිර්මාණයක් ක​ෙළ්ය. එය “මට්න්” යනුවෙන් නම්කරන ලද කෙටි චිත්‍රපටයකි. ඔහුගේ මේ නව නිර්මාණය පසුගිය දා තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේය. 


කැලණිය විශ්වවිද්‍යාලයේ රූපවාහිනී සහ සිනමා ගෞරව උපාධි පාඨමාලාවේ අවසන් වසර නිෂ්පාදනයට ඔහු මේ නිර්මාණය කර තිබේ. ඒ පිළිබඳ හසන්ත දිසානායක මෙසේ කීවේය. 
“මා මේ චිත්‍රපටය කළේ විශ්වවිද්‍යාලයේ අවසන්වසර නිෂ්පාදනය ලෙස. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ කතාවක් විවිධ ශිල්පීන් විසින් නිර්මාණය කර තිබෙන ආකෘතියට වඩා වෙනස් විදියට නිර්මාණය කිරීම මා තෝරාගත්තා. එය අභියෝගාත්මකයි. නමුත් ජයගත යුතු ඉලක්කයක්. මට සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හොඳ නිර්මාණයක් කරන්න විතරයි අවශ්‍ය වුණේ. මම හිතනවා එය සාර්ථක වුණා කියලා.” 
තුර්කියේ “සකර්යා” චිත්‍රපට උළෙලේ දී සම්මාන දිනාගැනීමට පෙර ඔහුගේ “මට්න්” කෙටි චිත්‍රපටයට භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම ශිෂ්‍ය චිත්‍රපටය ලෙස සම්මාන ලැබුණු අතර එම උළෙලේ දී ම කැමරාකරණය සඳහා වන විශිෂ්ඨතා සම්මානය ද හිමිකරගෙන තිබිණි. මේ වනවිට එය ඉරානයේ සහ දකුණු කොරියාවේ පැවැත්වෙන තවත් ජාත්‍යන්තර චිත්‍රපට ‍උළෙල දෙකක අවසන් වටය දක්වාම නිර්දේශ වී ඇත. 
“මගේ නිර්මාණයේ සාර්ථකත්වයට බොහෝ දෙනෙක් දායක වුණා. මෙය මගේ නිර්මාණයක් වුවත් එය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.” 

 

සම්මානය ලබාගත් අවස්ථාව

 


විනාඩි ‍12ක ධාවන කාලයකින් යුතු මෙහි ප්‍රධාන නිළිය ලෙස නදීෂානි පේලිආරච්චි රංගනයෙන් දායක වන අතර ප්‍රධාන චරිතයක් වූ රහස් පරීක්ෂකවරයා ලෙස රඟපාන්නේ මාලක විතානගේය. එහි තවත් අනු චරිත දෙකක් සිටියි. පිටපත් රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය හසන්ත දිසානායක සිදුකරන අතර කැමරා අධ්‍යක්ෂණය චින්තක බණ්ඩාර විසින් සිදුකරනු ලබයි. සංගීතය මියුරු සංගීත් විසින් නිර්මාණය කර තිබේ. 
“මේ කෙටි චිත්‍රපටය පටිගත කිරීම් කළේ එක දවසකින්. දිවා සහ රාත්‍රී දර්ශන තියෙනවා. ගාල්ලේ සංචාරක බංගලාවක සහ කාරයක් ඇතුළත සිද්ධි තමයි මෙහි තිබෙන්නේ. අපි එක දවසකින් පටිගත කිරීම් අවසන් කළා. මගේ මේ අවසන් වසර නිෂ්පාදනයේ සුපරීක්ෂකවරයා ලෙස කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මහතා කටයුතු කළා. එතුමාගේ මඟ පෙන්වීමෙන් තමයි මා ජාත්‍යන්තර සිනමා උළෙලට මෙය ඉදිරිපත් කළේ.” යැයි හසන්ත පවසයි. 


තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් මෙම චිත්‍රපට උළෙල සංවිධානය කර තිබුණේ 07 වැනි වරටය. ඒ සඳහා රටවල් 197කින් කෙටි චිත්‍රපටි 7,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබිණි. 


සකර්යා විශ්වවිද්‍යාල‍යේ සන්නිවේදන පීඨයේ පීඨාධිපති මහාචාර්ය යූසුෆ් අදිගුසාල් ඇතුළු සකර්යා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් අතින් මෙම සම්මානය පිරිනැමිණි. 
හසන්ත දිසානායක විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් මීට ඉහත 2016 වර්ෂයේ දී ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති කෙටි චිත්‍රපට උළෙලක දී ජනප්‍රියම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ. 


ගාල්ලේ පදිංචි ප්‍රසිද්ධ සමාජ සේවකයකු වන සිසිර දිසානයක මහතාට දාව රූපලාවන්‍ය ශිල්පිනී රේණුකා දිසානායක මහත්මියගේ කුසින් 1996 සැප්තැම්බර් මස 16 වැනි දින උපන් හසන්ත පවුලේ බාලයාය. ඔහුට වැඩිමහල් සහෝදරියක සහ සහෝදරයකු සිටියි. 

 

සම්මානය රැගෙන පැමිණි අවස්ථාවේ මව සහ පියා සමඟ

 


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන හසන්ත කුඩා කාලයේ පටන්ම නාට්‍ය, රංගනය, වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය, නාට්‍ය තිර රචනා ලිවීම ආදියෙහි දස්කම් දැක්වූ අතර කලා විෂයයන් හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී ගෞරව උපාධිය හැදෑරීම උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ කුඩාකල පටන්ම සිනමා සහ රූපවාහිනී ක්‍ෂේත්‍රයට තිබූ අපරිමිත ආශාව හේතුවෙනි. 
ඉතාමත් ඉක්මණින් දර්ශනපති උපාධිය හැදෑරීමට සූදානම් වෙමින් සිටින හසන්ත දැනටමත් ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. ඔහු දැනටමත් එහි පිටපත් සකසමින් සිටින අතර නිෂ්පාදනයට අවශ්‍ය පියවර රැසක් ද ආරම්භ කර ඇත. 


“මම සම්ප්‍රදායට කොටුවෙන්න කැමති නැහැ. සමහර නිර්මාණකරුවන් සිටිනවා එකම තේමාවක් මත නිර්මාණය කරන. මට අවශ්‍යයි වෙනස් දෙයක් කරන්න. මීට පෙර ජාත්‍යන්තර සම්භාවනාවට පවා පත් වූ නිර්මාණ අපේ රටේ, අපේ ක්‍රමයට, අපේ සංස්කෘතියට අනුව ප්‍රතිනිර්මාණය වන්නේ නැහැ. ජාත්‍යන්තර සාහිත්‍යයේ හමුවන පොත්පත් පරිවර්තනය කරනවා, අනුවාදය කරනවා. නමුත් සිනමාව ටෙලි නාට්‍ය මාලා එසේ සිදුකරන්නේ කලාතුරකින්. අපිට මේ ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්න තිබෙනවා. මම කැමතියි මා ඉගෙනගත් දෙයින් අලු‍ත් පරපුරක් බිහිකරමින් හොඳ නිර්මාණ කරන්න.” 


සිනමා සහ නාට්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට පෙරුම්පුරන හසන්ත දිසානායක තරුණ නිර්මාණ කරුවා තම නිර්මාණ සඳහා නිරන්තරවම සහය දෙන මව පියා ඇතුළු පවුලේ සැමටත්, විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට, තම නිෂ්පාදන කණ්ඩායමට මෙන්ම නන් අයුරින් උදව් උපකාර කළ සියලු‍ දෙනාට ස්තූති කළේය. 


ඔහු පවසන්නේ ඔවුන්ගේ දායකත්වය නොමැතිනම් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත නොහැකි බවයි. තම නිර්මාණයට ලැබුණු සහ ලැබෙන සියලු‍ සම්මාන පෞද්ගලිකව තමන්ට නොව සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේම ජයග්‍රහණයක් බව හසන්ත පවසයි. 

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර   

 



අදහස් (2)

ලෝකයේ හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන දිනූ ගාල්ලේ හසන්ත

Daya Perera Saturday, 30 October 2021 07:57 PM

විශ්වාසනීය ජයග්‍රහණයක්..සුභ පැතුම් !

:       0       0

sharm warn Wednesday, 03 November 2021 09:09 AM

උණුසුම් සුභ පතු පුතා .ඔබ ගැන හරිම ආඩම්බරයි .අපේ කඩා වැටිලා නැත්තට නැති වෙලා තියන සිනමා කර්මාන්තය යලි පන ගන්වන්න ඔබට දායක වෙන්න හැකි වේවා කියලා පතනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site