වළපල්ලට ගිය රටවල්

හිස් අතින් පැමිණ, සියලු දේ රැස් කරගෙන දෝත පුරා ගෙදර ගෙන යාමට ඉඩ ලැබෙන එකම තැන පාර්ලිමේන්තුව බව කියනු ලැබේ. මේ පාර්ලිමේන්තුවට මහජනතාව තෝරා පත් කර ගන්නා දේශපාලකයින්ගේ කේරුවාව අනුව රටක ඉරණම රඳා පවතී. රටක් සුරපුරක් හෝ අපායක් බවට පත් කරන්නේ මොවුන්ය. ලොව පුරා අසමත් රාජ්‍ය, කඩා වැටුණ රාජ්‍ය සහ දුර්වල රාජ්‍ය බිහි වුණේ ඒ රටවල සිටින ඇතැම් හොර තක්කඩි දේශපාළුවන්ගේ යටිමඩිගැසීම් හා උප්පරවැට්ටි නිසාය. එම දේශයන්හි අරාජිකත්වයක් කරා යන ගමන වේගවත් විය. එවැනි රටවල පාලකයින්ට සමාජ සාධාරණත්වය හා මානව දයාව පිළිබඳ අබමල් රේණුවක තරම් වත් දැනුමක් නොතිබුණි.


මකර කට හා නරකාදිය


මෙම තීරයෙන් මේ දක්වා ලොව වළපල්ලට ගිය රටවල් 21 ක් පිළිබඳ විස්තර ඉදිරිපත් කළෙමි. ඒවා අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ පිහිටි රටවල්ය. අද හඳුන්වා දෙන්නේ විනාශ මුඛයට පත් වූ ආසියාවේ රටකි. එය ත්‍රස්තවාදී ක්‍රියා, යුද්ධ, විදේශ බලවේග සහ බල කඳවුරුවලට බෙදී රට පාවා දුන් දේශපාලකයින් නිසා මකර කටට ඇදවැටුණ දේශයකි. ජාත්‍යාලය විදේශ බලවේගවලට මුදලට විකුණා දැමූ බලලෝභී දේශපාලකයෝ මේ රට විනාශ මුඛයට පත් කළහ. ඇෆ්ගනිස්තානය (Afganistan) නමැති මේ රට තවත් නරකාදියකි. එය ඉස්ලාම් ජන රජයකි. (Islam Republic) මෙහි අනාථ කඳවුරුවල තවමත් ජනතාව ලක්ෂ ගණනින් දුක් විඳිති.


රටවල් විනාශ වුණේ පාලකයින් විසින් බලය බලහත්කාර අයුරින් යොදා ගැනීම නිසාය. එම රටවල අධිකරණය මගින් පාලකයින්ගේ උසිගැන්වීම පිට යුක්තියට හා නීතියට පටහැණි නඩු තීන්දු දීම උගන්වන මොන්ටිසෝරිය බව කියනු ලැබේ. තුට්ටු දෙකේ වැඩ කර කම්බ හොරුන් බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තිබෙන රටක් ඉදිරියට යන්නේ කෙසේද? ඇෆ්ගනිස්තානය ද අසාර්ථක, අසමත්, දූෂිත රාජ්‍යයක් බවට පත්වුණේ විදේශ මැදිහත් වීම නිසාම නොවේ. පාර්ලිමේන්තුවට තේරී පත් වූ එරට දේශපාලකයින්ගේ කඹ ඇඳීම හා පාලකයින්ගේ අමන අත්ත​නෝමතික ක්‍රියා නිසාය.


ඇෆ්ගනිස්තානයේ ඇතුළු පැත්ත


ඇෆ්ගනිස්තානය දකුණු ආසියානු රටකි.


ටර්ක්මේනියාව, උස්බෙකිස්තානය, ටජිකිස්තානය, පකිස්තානය, ඉරානය හා චීනය යන රටවලට මැදිව පිහිටි මේ රට අසෝක රාජ්‍ය සමයෙහි පටන් බුදු දහම අඛණ්ඩව පැවති දේශයකි. අතිපුරාණ ශෛලමය බාමියන් (BAMIYAN) බුද්ධ ප්‍රතිමා විනාශ කොට ඉස්ලාම් රාජ්‍යයක් බිහි වීමේ කතාන්දරය දීර්ඝ පරිච්ඡේදයකි.


එය වර්ග කි.මී. 6,52,864 ක් හෙවත් ව.සැ. 2,52,072 ක් විශාල තුන්කෝටි හතළිස් හත් ලක්ෂයකට වැඩි (3,46,56032) ජන ගහනයකින් යුත්, ලොව 41 වැනි විශාලතම රටයි. රට මැදින් ගලා යන්නේ හින්දු කුෂ් ගංගාවයි. වසරේ වැඩි කාලයක් පවතින්නේ දැඩි සිසිල් දේශගුණයකි. ආසියාව හා මැද​ෙපරදිග යා කරන සේද මාර්ගය වැටී ඇත්තේ ඇෆ්ගනිස්තානය හරහාය. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඇෆ්ගනිස්තානයට ගිය ගමන ​ලෝක ඉතිහාසයේ සනිටුහන් වී තිබේ. මේ ඇෆ්ගනිස්තානය පිළිබඳ කෙටි සටහනක් පමණකි.


1979 සිට 1989 දක්වා සෝවියට් දේශය සිදු කළ යුද්ධය, ඉන් 5,26,000 ක් පමණ මිය යාම, ඔසමා බින්ලාඩන්ගේ අල්කයිඩා, තලේබාන්, මුජහදීන්, අයිඑස්අයිඑස් (ISIS) වැනි ත්‍රස්තවාදී කල්ලි බිහිවීම, 2001 දී ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් රාශියක් එක් වී සිදු කළ ආක්‍රමණය, රට පුරා ඇමෙරිකන් හමුදා කඳවුරු ස්ථාපිත කිරීම ආදිය ඇෆ්ගනිස්තානය ආරාජික වීමට බෙහෙවින් බලපෑවේය. මෙම කර්තව්‍යයන් පමණක් නොව ජාත්‍යාලය හා දැඩි ආගමික භක්තිය කරපින්නාගත් බලලෝභී දේශපාලකයෝ මාරුවෙන් මාරුවට බලය සියතට ගනිමින් රට විනාශ මුඛයට පත් කළහ.

 

 


ලෝකයෙන් කොන් වූ හැටි


දැඩි ඉස්ලාම් ආගමික අන්තවාදය පෙරදැරි කරගෙන 1996 දී තලේබාන් පාලනය රට පුරා ස්ථාපනය කිරීම තුළින් ඇෆ්ගනිස්තානය ලෝකයෙන් කොන් වී ගියේය. අදටත් එහි පළාත් 34 කින් පළාත් 9 ක පමණ බලය රඳවා ගැනීමට තලේබාන් කල්ලිය සමත් වීම රට අස්ථාවර වීමේ මූලික හේතුවකි. තලේබාන් පාලකයින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට පැන වූ නීති රීති ලෝකයා තදින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.


​ෙතල් සම්පත ඇති, රත්රන්, යකඩ, ලිතියම් (Lithium), තඹ වැනි ඛනිජ ද්‍රව්‍ය බහුල අමුදර්යා ගංගාව ආශ්‍රිතව මහා ගොවි බිම් ඇති ඇෆ්ගනිස්තානය කා දැමුවේ විදේශ බලවේග පමණක් නොවේ. ඒ රටේම කෛරාටික වෙට්ටපිත්තල දේශපාලකයින්ය. ඇමෙරිකාවට ගොස් ඇමෙරිකාවේ පාස්පෝට් ලබාගෙන රට පාවා දුන් දේශපාලකයින් රාශියක්ද ඇෆ්ගනිස්තානයේ සිටින බව කිව යුතුමය.


සුඩානය, සෝමාලියාව, ඉරාකය, සිම්බාබ්වේ යන රටවල් මෙන්ම ඇෆ්ගනිස්තානයද අද අසමත් රටකි. අසාර්ථක රාජ්‍යයකි. තලේබාන් කල්ලි තවමත් හොල්මන් කරන මේ රට තව තවත් ප්‍රපාතයට යන බව පෙනේ. මෙහි ළමයින්ගෙන් සියයට 70 ක් පමණ පාසල් නොයති. ලක්ෂ 90 කට අධික ළමයින් සඳහා ඇත්තේ පාසල් 16,000 ක් පමණකි. මෙහි ජනතාවගේ ආයුකාලය අවු 60 දක්වා අඩු වී ඇත්තේ ලෙඩ රෝගවලින් මියයන අයගේ සංඛ්‍යාව අධික වීම නිසාය. ළදරු මරණ සංඛ්‍යාව සිඝ්‍රයෛන් වැඩිවී ඇත. සෑම බිලිඳුන් 1000 කගෙන් 112 ක් පමණ දෙනා උපතේදීම මියයති. රට පුරා තවත් රෝහල් මෙන්ම පාසල් 8000 ක් පමණ විවෘත කිරීම අත්‍යාවශ්‍ය වේ. පාලකයින්ට ඊට උවමනාවක් නැත.


ලක්ෂ 80 ක් කුස ගින්නේ


ජනතාවට අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනා ගමන, විදුලිය ආදී පහසුකම් ලබා දීම මෙහි පාලකයින්ගේ මූලික කාර්යභාරය වී නැත. පරිප්පු, බාර්ලි, හාල්, දෙළුම්, මිදි ආදිය සරුවට වැවෙන නමුත් එම වගාවන් වැඩි දියුණු කිරීමට විධිමත් පියවර ගෙන නැත. රට පුරා විරැකියාව උග්‍ර වී ඇත. මත්ද්‍රව්‍ය උවදුර තදින් පවතී. ආසියාවට මෙන්ම ලොවට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මේ රටේ දේශපාලකයින් ද සම්බන්ධය. මෙහි පවතින්නේ කෑලි කෑලිවලට කැඩී බිඳී විසිරී ගිය සාමයකි.


PEACE IN PIECES


ඇෆ්ගනිස්තානයේ මුළු ජනගහනයෙන් සියයට 36 කට වැඩි සංඛ්‍යාවක් එදාවේල වත් පිරිමසා ගත නොහැකි අන්ත දුගී අසරණයෝය. එම සංඛ්‍යාව ලක්ෂ 80 කට අධිකය. සූක්ෂම අයුරින් චීන ආක්‍රමණ ද සිදුවෙමින් පවතින රටකි. ​ෙම් කියන ඇෆ්ගනිස්තානය. ඇෆ්ගනිස්තානයේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමට දැනටම පියවර ගෙන ඇත. ආසන 250ක ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන 68 කි. එහෙත් එහි කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී හඬක් නඟන බවක් නොපෙනේ. මුලින් මෙහි තිබුණේ දේශපාලන පක්ෂ 16 කි. දැන් අලුතින් තවත් දේශපාලන පක්ෂ 22 ක් අරඹා ඇත. ලංකාව ඇතුළු ආසියාවේ බොහෝ රටවල සිදුවෙන්නේ බලය ලබා ගෙන සූරාකෑම සඳහා ඉවක් බවක් නැතිව දේශපාලන පක්ෂ පිහිටුවා ගෙන ජනතාව රැවටීමයි.


සුර සැප විඳින දේශපාලකයෝ


ඇෆ්ගනිස්තානය ද දූෂිත දේශපාලකයින්ගෙන් පිරුණ රටකි. මෙහි ද රට අතහැර යන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. රටේ ඇත්තේ දුම්රිය මාර්ග 3 ක් පමණකි. එක දුම්රිය මාර්ගයක දුර කි.මී. 75 කි. අනික් දුම්රිය මාර්ග​ය කි.මී. 10 කි. කෙටිම දුම්රිය මාර්ගය කි.මී. 5 කි. අමුදර්යා ගංගාව දෙපස ඇති තෙල් ළිං වලින් තෙල් ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් යොදා නැත. තෙල් සම්පත පො​ෙළාවටම කිඳාබසින්නට ඉඩ දී බකන්නිලාගෙන සිටින පාලකයින් සිටින රටක් ඉදිරියට යන්නේ කෙසේද?


කුණු කූඩයට විසි කළ ඇමෙරිකන් පාස්පෝර්ට්


පොදු ජනතාව ඇවිදින ඇටසැකිලි බවට පත් වී, කුසගින්නෙන් මරහඬ නඟද්දී විදේශ අධාර හා විදේශ ණය මුදල් තම හතර වරිගයා අතර බෙදා හදා ගනිමින් සුරසැප විඳින දේශපාලකයන්ගේ අඩුවක් ද නැත.


ඇමෙරිකාවේ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෙකු වූ රොබර්ට් ජේ. රොට්බර්ග් (Robert. J. Rotberg) ලොව රටවල් වළපල්ලට ගිය ආකාරය පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයක් තම අලුත්ම ග්‍රන්ථයෙහි දක්වා ඇත. නිව්​ෙ‌යා්ර්ක් සිට කොළඹ දක්වා ගුවනින් එද්දී මේ පොත කියවීමට මට අවස්ථාවක් ලැබිණි.


ඇමෙරිකන් පාස්පෝර්ට් (Passport) එක කුණු කූඩයට විසිකර දමා ජනපතිවරණයට තරග කොට 2014 සැප්තැම්බර් මස මෙහි 13 වැනි ජනපති බවට පත් වූ කාබුල් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අෂ්රෆ් ගානි (ashraf Ghani) මෙතෙක් ඇෆ්ගනිස්තානය ගොඩගත් බවක් පෙනෙන්නට නැත. ඔහුගේ බිරිඳ හා ළමයින් ඇමෙරිකන් පාස්පෝට් විසිකර දැමූ බවක් මෙතෙක් වාර්තා වී නැත. කවුරුන් බලයට පත් වුවත් දූෂිත දේශපාලකයින් සිටින තාක් රටක් ගොඩගන්නට බැරිය.

 

 

 

 

සිරි හීන්පැල්ල
නිව්‌යෝර්ක් නුවර සිට ලියයි