ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

ඇඹිලිපිටිය සූරියකන්දේ සමූහ මිනී වළෙන් 1994 ජනවාරි 4 ගොඩගත් මිනිස් අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා පොලිසිය මගින් රැගෙන යෑමට සූදානම් වන අයුරු.  

 

මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සහ නිරිත දිග තැනිතලාවේ උස් භූමියක් ලෙස පිහිටි සබරගමුවේ රක්වාන කඳු වැටි ආශ්‍රිතව රත්නපුර දිස්ත‍්‍රික්කය පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 3,238ක් පුරා භූමියක පැතිරී ඇති මෙම දිස්ත‍්‍රික්කය දකුණින් ගාල්ල, මාතර සහ හම්බන්තොටින් ද උතුරින් කෑගල්ල සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලින් ද නැගෙනහිරින් බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවලින් ද සීමා වී ඇත.   


රත්නපුර දිස්ත‍්‍රික්කය ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප 4කට අයත් අතර එය ශ‍්‍රී පාදය ආශ‍්‍රිත ප්‍රදේශය කඳුකර තෙත් කලාපය ලෙස ද කල්තොටට ඉහළින් වූ කඳුරට සහ රක්වාන වැටියෙන් නැගෙනහිර පෙදෙස කඳුකර වියළි කලාපය ලෙස ද ඇහැලියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ කහවත්ත ඇතුළත් ප්‍රදේශය පහතරට තෙත් කලාපය ලෙස ද කොළොන්න කෝරලේට අයත් විශාල ප්‍රදේශයක් පහතරට වියළි කලාපය ලෙස ද හැඳින්වේ. සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික උරුමයන් ප්‍රාග් ඓතිහාසික අවධියේ සිට ඓතිහාසික යුගය තෙක් දිවෙන පුළුල් පරාසයකින් යුක්තය.   


ජවිපෙ 2වැනි කැරැලි සමයේදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොළොන්න ඇතුළු පොලිස් කොට්ඨාස ගණනාවක ග්‍රාමීය ප්‍රදේශ කැරැලිකරුවන්ගේ මූල කඳවුරු බවට පත්ව තිබිණි. ජවිපෙ මගින් රත්නපුරය කලාප 5කට වෙන්කර තිබූ අතර එයට රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත, කලවාන, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, බළංගොඩ, රක්වාන, ගොඩකවෙල, ඕපනායක, කිරිඇල්ල සහ අයගම යන පොලිස් කොට්ඨාස අයත් විය.   


ජවිපෙ ව්‍යුහය අනුව රත්නපුර දිස්ත‍්‍රික්කය අයත් වූයේ බස්නාහිර සහ සබරගමු කලාපයටය. එම කලාපයේ මුලදී දේශපාලන නායකයා වූයේ සුමිත් අතුකෝරාලය. පසුව එය ඩී.එම්. ආනන්ද යටතට පත්විය. එම කලාපයේ යුද නායකයා ලෙස සමන් පියසිරි ප්‍රථමයෙන් කටයුතු කළ අතර පසුව එය ද ඩී.එම්. ආනන්ද යටතට පත්විය.   


වසර 1986 සිට 1990 දක්වා රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජවිපෙ දිස්ත‍්‍රික් දේශපාලන ලේකම්වරුන් වූයේ සිසිර රන්දෙණිය හෙවත් කුමාර, ආනන්ද අබේවර්ධන හෙවත් පනගම අබේ හෙවත් ජයන්ත, ආරියතිලක උඩගමසූරිය හෙවත් නෝමන් මානවඩු, ගුණපාල සතරසිංහ ආරච්චිගේ හෙවත් ආටිගල, කමලසිරි ගිරිබාව හෙවත් රුවන්, ගාමිණී ජයලත් හෙවත් කිරිඇල්ල, ගාල්ල හේවගේ සහ රත්නපුරේ එච්.ඩී. ගුණසේකරය. විජේවීර ඝාතනයෙන් පසු නායක සමන් පියසිරි විසින් රත්නපුර දිස්ත‍්‍රික් දේශපාලන ලේකම් ලෙස පත්කළේ කේ.ටී. නිමල්සිරිය. දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ මීගොඩ ජගත්, අනුර ප‍්‍රියංකර, බද්දේගම තෙලිකඩ සුමිත් පල්ලියගුරුගේ හෙවත් වික්ටර්, හම්බන්තොට ලීලාරත්න හෙවත් ලලිත්, කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් හේමන්ත හෙවත් රවි හෙවත් ඉලුක්කුඹුර ඇතුළු කිහිපදෙනෙකි.   


කලාපීය සන්නද්ධ නායකයන් වූයේ රත්නපුරයට ගැමුණු හෙවත් ටයිටස් ද, බළංගොඩට දැලගම ඇකියේ වීරරත්න අලුත්වත්ත හෙවත් සමන් වීරරත්න ද, පැල්මඩුල්ලට සිසිර හෙවත් ලියනගේ ද, කුරුවිටට සුරංග හෙවත් ජයතිස්ස ද, කලවාන/ නිවිතිගලට කෑගල්ලේ ගුණරත්න ඇතුළු කිහිපදෙනෙකි. රත්නපුර කලාපයේ සන්නද්ධ ලේකම්වරයා වූ ටයිටස් මෝටර් රථයකින් පැමිණෙමින් සිටියදී ක්ෂණික විහිදුම් බළකායට හසුවන අතර පසුව සුදුගොල්වත්ත හමුදා කඳවුරේදී වධ බන්ධනවලට ලක්ව ඝාතනය විය. බළංගොඩ සන්නද්ධ නායකයා වූ සමන් වීරරත්න 1961 ඔක්තෝබර් 21 කහවත්ත හල්පාලවල උපන් අයෙකි. කහවත්ත පොලිස් ප‍්‍රහාරය සහ තවත් ප‍්‍රහාරයන් කිහිපයකට දායක වූ සමන් දෙවරක් ආරක්ෂක හමුදා අත්අඩංගුවෙන් පලායෑමට සමත් වූවෙකි. කැරැල්ලේ පරාජයෙන් පසු විදේශ රැකියාවක නිරත වූ හෙතෙම 2018 වනවිට අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙකි.   
කලවාන/ නිවිතිගල සන්නද්ධ නායකයා වූ දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න හෙවත් සුගත් 1953 නොවැම්බර් 25 උපන් අතර 1971 කැරැල්ලට ද සම්බන්ධව සිට කාගම උපසේනගේ නායකත්වයෙන් විල්පත්තුව හරහා පසුබැස ගිය කණ්ඩායමේ අයෙකි. කෑගල්ල කෙහෙල්වත්ත සහ හෙට්ටිමුල්ල පාසල්වලින් අධ්‍යාපනය ලත් ඔහු කටුනායක ප්‍රහාරයට පසු අත්අඩංගුවට පත්ව වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවාගත් අතර පසුව නිදහස් විය.   


 පසුව 1989 දෙසැම්බර් 29 අත්අඩංගුවට ගනු ලැබූ ගුණරත්න බළංගොඩ බුලත්ගම හමුදා කඳවුරේ සහ මත්තේගොඩ කඳවුරේ රඳවා තැබූ අතර රත්නපුරේ කැලෑබද ප‍්‍රදේශවල සඟවා තිබූ අවි ආයුධ සොයාදීමට ආරක්ෂක අංශ සමඟ 1990 ජනවාරි 7 ගිය අතර එසේ යෑමේදී බළංගොඩ රාස්සගලදී අත්අඩංගුවෙන් මිදී පලා ගියේය. ඔහු තිදරු පියෙකි.   
දිස්ත‍්‍රික් දේශපාලන ලේකම්වරුන් පිළිබඳව කෙටි විස්තරයක් මෙසේය.  


කලක් අනුරාධපුර දිසා ලේකම්වරයකු වූ සිසිර රන්දෙණිය හෙවත් කුමාර වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී සිරදඬුවම් විඳි අයෙකි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජවිපෙ සංවර්ධන සභා මන්ත‍්‍රීවරයකු ලෙස 1981 ජුනි 4 පත් විය. පක්ෂ තහනමින් පසු යටිබිම්ගත වූ නායක විජේවීරට රැකවරණ පහසුකම් සැපයූ අයෙකි. නුගේගොඩ ඉදිකිරීම් වැඩබිමක පරීක්ෂකයකු වශයෙන් සිටියදී 1990 මුල්භාගයේදී අත්අඩංගුවට පත්වූ සිසිර පසුව ඝාතනයට ලක් විය.


 ජවිපෙ හිටපු ක‍්‍රියාකාරිනියක වූ මාතර නන්දා ඔහුගේ බිරිඳ වූ අතර සිසිරගේ මරණයෙන් පසුව ඇය විවාහ වූයේ කොළඹ සහ ගම්පහ දිසා ලේකම්ව සිටි දෙබරවැව සරත් සමඟය. සිසිරගේ වැඩිමහල් සොහොයුරා වූ උපාලි රන්දෙණිය ද ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ අතර 1983 ජුලි පක්ෂ තහනමට පෙර ප්‍රතිපත්තිමය හේතූන් මත ජවිපෙන් ඉවත් විය.   


ආනන්ද අබේවර්ධන හෙවත් පනගම අබේ හෙවත් ජයන්ත හෙවත් පොඩි අබේ පැල්මඩුල්ල මාරපනදී 1956 උපන්නෙකි. සීවලී විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1976 ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සහකාර තත්ත්ව පාලකයකු ද විය. එහිදී නැගෙනහිර ජර්මනියට ගොස් හැදෑරීමට තිබූ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ද අත්හැරි අබේවර්ධන 1977 ජුනි සිට ජවිපෙ පූර්ණකාලීනයකු විය. පසුව 1980 දී හිනිදුම ජවිපෙ සංවිධායකවරයා වූ හෙතෙම 1982 දී නිවිතිගල සංවිධායකයා විය. ජවිපෙ 1983 ජුලි තහනම් වනවිට රත්නපුර දිස්ත‍්‍රික් අධ්‍යාපන ලේකම්වරයා වූ පනගම අබේරත්න පසුව එහි දිසා ලේකම් විය. රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ ජවිපෙ සහ මැණික් ව්‍යාපාරිකයන් අතර හොඳ සම්බන්ධයක් ගොඩනැගූ අබේරත්න එහි දිස්ත‍්‍රික් දේශපාලන ලේකම්වරුන් අතරින් ඉදිරියෙන්ම සිටි අයෙකි. වසර 1987 ජුනි 22 රත්නපුරයේදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත් හෙතෙම 1988 දෙසැම්බර් 13 මැගසින් බන්ධනාගාරයෙන් මුදාගත් ජවිපෙ කැරැලිකරුවන් 221ට අයත් විය. වර්තමානයේ සබරගමු පළාතේ ජල විදුලිබල විශේෂඥයකු ලෙස සේවය කරන අතර නැගෙනහිර අප‍්‍රිකාවේ රටවල් කිහිපයකම සේවය කරන ලදී. ඔහු එක් දරු පියෙකි.   


ඇල්පිටිය අවිච්චාව ගමේ උපන් ආරියතිලක උඩුගමසූරිය හෙවත් නෝමන් මානවඩු ද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරයකු වශයෙන් කලක් කටයුතු කළේය. නුවරදී 1989 නොවැම්බර් 6 අත්අඩංගුවට පත්ව නොවැම්බර් 14 කුණ්ඩසාලේදී ඝාතනයට ලක්විය. කඩවත පදිංචි දෙදරු පියකු වූ ඔහුගේ බිරිඳ පද්මාය.   


දිසා ලේකම්වරයකු වූ ගුණපාල සතරසිංහ ආරච්චිගේ හෙවත් ආටිගල අඟුණකොළපැළැස්සේ උපන් අතර 1971 අප්‍රේල් කැරැල්ලට එක්වූයේ පාසල් වියේ සිටය. හම්බන්තොට දිස්ත‍්‍රික් සංවර්ධන සභාවට ජවිපෙ අපේක්ෂකයකු වශයෙන් 1981 දී ඉදිරිපත් විය. හුංගම දෙණියේදී 1984 නොවැම්බර් 10 තවත් ජවිපෙ සාමාජිකයන් 26 දෙනකු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව මාස 15ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට චෝදනා රහිතව නිදහස් විය. ත්‍රස්තවාදී මර්දන පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පනත යටතේ අත්අඩංගුවට ගත් ජවිපෙ ප්‍රථම සාමාජිකයාය. දෙවැනි කැරැල්ලේ දිස්ත‍්‍රික් නායකයකුව සිටියදී 1989 ඔක්තෝබර් මස බුත්තලදී අත්අඩංගුවට ගෙන ගෝනියක දමා පහරදී ඝාතනය කරන ලදී. ඔහු දෙදරු පියෙකි. බිරිඳ කරුණාය.   

 

මෙහි වමේ සිට රත්නපුර දිස්ත්‍රික් ජවිපෙ දේශපාලන ලේකම්වරුන් වූ අනුරාධපුරයේ සිසිර රන්දෙණිය හෙවත් කුමාර, රත්නපුරේ ආනන්ද කුට්ටිගම ඇතිරාලලාගේ අබේවර්ධන හෙවත් පනගම අබේ, ගල්ගමුවේ උපන් කමලසිරි ගිරිබාව හෙවත් රුවන්, ගාමිණී ජයලත් හෙවත් කිරිඇල්ල සහ දෙබරවැව උපන් කේ.ටී. නිමල්සිරි වේ.   

රත්නපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයකුව සිටි අකුරැස්සේ උපන් කොළඹගේ ආරච්චිගේ පර්සි හෙවත් ඉලුක්කුඹුර, බළංගොඩ කලාපයේ සන්නද්ධ නායක දැලගම ඇකියේ වීරරත්න අලුත්වත්ත හෙවත් සමන්, කහවත්ත පොලිසියෙන් අවි පැහැර ගැනීමේ ප්‍රහාරයට එක්වූ බව කියන මාතර දොන් චන්ද්‍රසේන විජේසිංහ හෙවත් ගුණවර්ධන, කලවාන නිවිතිගල කලාපයේ සන්නද්ධ නායක කෑගල්ලේ උපන් දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න හෙවත් සුගත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ලේකම්වරයකු වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 21 අත්අඩංගුවට පත්ව ඝාතනය වූ එච්.ඩී. ගුණසේකර මෙහි වමේ සිටය.   

 

 

 

කමලසිරි ගිරිබාව හෙවත් රුවන් දිසා ලේකම්වරයකු වශයෙන් නුවර, කෑගල්ල සහ මාතලේ ද කටයුතු කළ අතර මධ්‍යම කාරක සභිකයෙකි. රා

ජගිරියේදී 1990 ජුනි 7 අත්අඩංගුවට පත්වූ අතර වසර ගණනාවකට පසු නිදහස් විය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඖෂධවේදියකු ලෙස 2018 වනවිට කටයුතු කරමින් සිටියේය.   
රත්නපුර දේශපාලන ලේකම්ව සිටි ජී.ඩබ්ලිව්. ගාමිණී ජයලත් 1977 දී ජවිපෙට එක්වූ අතර සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්ය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. දක්ෂ සංවිධායකවරයෙකි. වරලත් ගණකාධිකාරී ආයතනයක හැඳුනුම්පතක් පරිහරණය කරමින් කිරිඇල්ල නමින් පෙනී සිටියේය. කොළඹ සංවර්ධන සභාවේ ජවිපෙන් පත්කළ මන්ත‍්‍රීවරයකු වශයෙන් කලක් කටයුතු කරන ලදී. ප්‍රථමයෙන් 1978 අප්‍රේල් 7 සහ 1987 ජුනි 22 අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබිණි. වසර 1989 අගභාගයේදී අත්අඩංගුවට ගෙන ගෙග‍්‍රරි පාරේ අපරාධ විමර්ශන කාර්යාංශයට ගෙන ඒමෙන් පසු ඝාතනයට ලක් විය. ඔහු දෙදරු පියෙකි.   


ගාල්ලේ උපන් හේවගේ කෙටි කලක් දිසා ලේකම්වරයා වූ අතර වෘත්තියෙන් ගුරුවරයෙකි. ජාතික අධ්‍යාපන කඳවුරුවල ජාතික ගැටලුව පිළිබඳව දේශනය පවත්වන ලද්දේ ඔහු විසිනි. රත්නපුරේදී අත්අඩංගුවට පත්ව පසුව ඝාතනය විය. එච්.ඩී. ගුණසේකර ගුරුවරයකු වශයෙන් කටයුතු කර ඇති අතර දිසා ලේකම්ව සිටියදී 1989 නොවැම්බර් 21 අත්අඩංගුවට පත්ව ඝාතනය විය.   


විජේවීර ඝාතනයෙන් පසු සමන් පියසිරි විසින් පත්කළ රත්නපුර දිසා ලේකම් වූයේ හම්බන්තොට දෙබරවැව උපන් කේ.ටී. නිමල්සිරිය. දෙබරවැව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රුහුණු සරසවි විද්‍යා පීඨයට 1984 ඇතුළු විය. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස 1990 ජනවාරි සිට මාර්තු දක්වා කටයුතු කළ නිමල්සිරි 1990 පෙබරවාරි 27 ඇහැලියගොඩදී අත්අඩංගුවට පත්ව 1990 මාර්තු 17 ඝාතනයට පත් විය.   


දිස්ත‍්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් කිහිපදෙනකුගේ විස්තර මෙසේය.

  
ජගත් මීගොඩ පදිංචිකරුවකු වූ අතර අවසාන කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව රජයේ සහාය ද ඇතිව විදේශ රටකට සංක්‍රමණය විය. අනුර ප‍්‍රියංකර සිය වගකීම් ඉටුකළ කාලය තුළදී මූල්‍යමය වංචා පිළිබඳ චෝදනා ලැබූ හෙයින් සන්නද්ධ ලේකම් තනතුරින් ඔහු ඉවත්කර වෙනත් අයකු පත්කරන ලදී. පසුව කලාපීය දේශපාලන සහ යුද නායකයා වූ ඩී.එම්. ආනන්ද විසින් අනුර ප‍්‍රියංකරව ඔහුගේ ලේකම්වරයා ලෙසට වගකීම් පවරන ලදී. හම්බන්තොට පදිංචිකරුවකු වූ ලීලාරත්න හෙවත් ලලිත් රත්නපුර ඕපනායකදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය.   


බද්දේගම තෙලිකඩ පල්ලියගුරුගේ සුමිත් හෙවත් වික්ටර් දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශවලට සහාය වූ අයෙකි. වික්ටර් 1988 දෙසැම්බර් 13 බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන් මුදවාගත් ජවිපෙ රැඳවියන් 221ට අයත් වූවෙකි. සුමිත් හෙවත් වික්ටර් නිදහස ලැබීමෙන් පසු රජයේ සහාය ඇතිව ඉතාලියට සංක‍්‍ර‍්‍රමණය විය. බන්ධනාගාරයෙන් මුදවාගත් තවත් අයකු වූ අම්පාරේ ලෙස්ලි මද්දුවගේ රත්නපුරේ පූර්ණකාලීනයකු වූ අතර 1987 ජුනි 7 කටුනායක ගුවන් හමුදා කඳවුරේ සහ කහවත්ත පොලිසියෙන් 1987 දෙසැම්බර් 30 අවි පැහැර ගැනීමේ කණ්ඩායමේ ක‍්‍රියාකාරිකයෙකි.   


පසුව 1989 ජනවාරි සිට ලෙස්ලි කැරැල්ලෙන් බැහැර විය. මැගසින් බන්ධනාගාරයෙන් ලෙස්ලි මුදාගත් පසු මාර්ගයේ ගමන්ගත් වාහනයක් පැහැරගෙන හංවැල්ල අඹතලේ හන්දියට පැමිණ එම වාහනය අතරමඟ දමා වෙනත් වාහනයක් පැහැරගෙන පලා ගියහ. ඔහු සමඟ බන්ධනාගාරයෙන් මුදාගත් පසු එම වාහනයෙන් පැමිණි අය අතර රාගම සෝමේ, අමරදාස කුරුප්පු හෙවත් තඩි අමරේ සහ හලාවත සීලරත්න ද වූහ.   


සන්නද්ධ දිස්ත‍්‍රික් ලේකම්වරුන් අතරින් තවත් අයකු වූයේ කොළඹගේ ආරච්චිගේ පර්සි හෙවත් හේමන්ත හෙවත් රවී හෙවත් ඉලුක්කුඹුරය. පියා හමුදාවේ සේවය කළ අයෙකි. මාතර පිටබැද්ද පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී පර්සි ජවිපෙට බැඳුණේ රණසිංහ හරහාය. පසු කලෙක ජවිපෙ තහනමින් පසු මාතර දිස්ත‍්‍රික් ලේකම් වූ ඩී.එම්. ආනන්දට ඔහුව මුණගැසිණි. අකුරැස්සේ උපන් පර්සි ජයවර්ධනපුර සරසවියේ මානව ශ‍ාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසුවෙකි. ඔහු පසුව සරසවිය අතහැර ජවිපෙ පූර්ණකාලීනයකු විය.  


දෙවැනි කැරැල්ලේදී කොළඹ අවිස්සාවේල්ල කලාපයේ (මහරගම හෝමාගම, කඩුවෙල කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල කොට්ඨාස එයට අයත්ය.) සන්නද්ධ නායකයා වූ පර්සි වරෙක කොස්ගමදී පොලිස් අත්අඩංගුවට පත්ව අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප මත නිදහස් වූවෙකි. පසුව කොළඹ දිස්ත‍්‍රික්කයේ බම්බලපිටියේ සිට ගල්කිස්ස දක්වා කොට්ඨාස අයත් කලාපයේ සන්නද්ධ නායකයා විය. රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම්වරයා වූයේ ඉන් පසුවය. හිදැල්ලන හන්දියේ පර්සිගේ ඥාති සොහොයුරියක් සිටින අතර ඔහු බැලීමට ආ අවස්ථාවක 1989 දෙසැම්බර් 25 ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුව කුරුවිට හමුදා කඳවුරින් 1990 අප්‍රේල් 16 පිළියන්දල ආගිරිස් කොස්තා සමඟින් පලා ගියහ. එයට පෙර පර්සි ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව සිටියදී තෙවරක් පලාගොස් තිබිණි.   


ජවිපෙ තහනමින් පසු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ශිෂ්‍ය අංශය මූලස්ථානය සමඟ සම්බන්ධ කරනු ලැබුවේ ආනන්ද ඉඩමේගමය. පසු කාලයේ එය සිදුකරන ලද්දේ රුහුණු සරසවියේ සිසු නායකයකු වූ ගොඩකවෙල උපන් චන්ද්‍රරාජ් නිශ්ශංක හෙවත් පියසිරිය. එකල නිශ්ශංකගේ සමීපතම මිතුරන් වූයේ රක්වාන ආසනයේ ශිෂ්‍ය නායකයන් වූ රංජිත් සොයිසා සහ ගොඩකවෙල කොන්ගස්තැන්නේ සුනිල් හෙවත් විමල්ය. නිශ්ශංකගේ පියා ලංගම බස් කොන්දොස්තරවරයෙකි.  


ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1988 සිට 1989 සැප්තැම්බර් දක්වා ලේකම් ලෙස ද පේරාදෙණිය සරසවියේ ජවිපෙ අභ්‍යන්තර කමිටුවේ නායකයා ලෙස ද විජේවීර ඝාතනයෙන් පසු ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් ලෙස ද කටයුතු කළ නිශ්ශංක 1990 අප්‍රේල් 2 දිවුලපිටිය බල්ලපාන අන්නාසිවත්තේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ අතර ඉන් තෙදිනකට පසු ඝාතනයට ලක්විය.   


රත්නපුර දිස්ත‍්‍රික්කයේ 1984 සිට ශිෂ්‍ය අංශයේ දීර්ඝ කාලයක් ලේකම් වූයේ රත්නායක බණ්ඩාර හෙවත් ජයලත්ය. ගොඩකවෙල උපන් රාහුල සහ සීවලී විදුහලේ අධ්‍යාපනය ලත් රත්නායක පසුව විද්‍යා ගුරුවරයකු ලෙස පිරිවෙනක සේවය කළේය. දක්ෂ සංවිධායකවරයෙකි. දෙවන කැරැල්ලේදී තාක්ෂණික සහ පුපුරන ද්‍රව්‍ය අංශයේ විශේෂඥයකු වූ ඔහු දිස්ත‍්‍රික්ක ගණනාවක කැරැලිකරුවන්ට බිම්බෝම්බ පිපිරවීම පිිළිබඳව පුහුණුව ලබාදුන්නේය. මාතලේ රත්තොටදී 1989 අගෝස්තු 18 අත්අඩංගුවට පත්ව රත්නායක ඝාතනයට පත්විය. පසුකාලීනව රත්නපුර ශිෂ්‍ය අංශයේ දිසා ලේකම්වරයකු වශයෙන් දීපාල් ගුණසේකර කටයුතු කළේය. පසුව 1988 සිට බලංගොඩ දේශපාලන නායකයා වූයේ ද දීපාල් ගුණසේකරය.   

 

වමේ සිට දකුණට පිළිවෙලින් ජවිපෙ කැරැලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් කොලොන්න එජාප දේශපාලන බලවතා වූ ඇමැති නන්ද මැතිව්, රත්නපුර දිස්ත්‍රික් ජවිපෙ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ වගකිම ජනාධිපති ජයවර්ධන විසින් භාරදුන් දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ලක්ෂ්මන් අල්ගම, ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ සෙවනගල යුද හමුදා කඳවුරේ ප්‍රධානී කර්නල් රෝහණ පරාක්‍රම ලියනගේ හෙවත් පැරී, ඒ පිළිබඳව රත්නපුර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේ වරදකරුවකු වී වසර 7ක් සිරදඬුවම් ලබා නිදහස් වූ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ ලුතිනන් දොම්පේ පදිංචි දොන් ජාලිය ධනංජය ඈපා සහ නඩු විභාගය අවසානයේ අධිකරණයෙන් වරදකරුවකු වී වසර 10ක සිරදඩුවම් ලබා නිදහස් වූ එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති 2018 වනවිට රත්නපුර වීරගොඩ දේවාලයේ කපුවා වූ දයානන්ද ලොකුගලප්පත්ති වෙති.   

 

එජාප ආණ්ඩුවේ භීෂණයට එරෙහිව හඬ නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි, ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරීන් වූ ගොඩකවෙල රංජිත් සොයිසා, රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ දිසා ලේකම්වරයකුව සිටි දීපාල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ සංහාරය පිළිබඳව දිවයින පුවත්පත හරහා නොබියව පෑන හැසිර වූ රත්තපුර මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි මෙහි වෙති.   

 


රත්නපුර දිස්ත‍්‍රික්කයේ සන්නද්ධ ක‍්‍රියාකාරකම් වේගවත්ව පැතිර ගිය අතර කොලොන්න ඇතුළු ඇතැම් ප‍්‍රදේශ 1988 අගභාගය වනවිට අරාජික තත්ත්වයට පත්විය. ජනාධිපති ජයවර්ධන විසින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට 1988 සාකච්ඡාවක් කැඳවා තිබිණි. එයට එජාප ඇමැති නන්ද මැතිව්, රත්නපුර දිසාපති පී. හතුරුසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් සේපාල ආටිගල, පොලිස්පති සිරිල් හේරත්, රත්නපුර පොලිස් අධිකාරී සිරිසේන හේරත් ඇතුළු පිරිසක් සහභාගී වූහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කැරැල්ල මර්දනය කිරීමේ වගකීම දිස්ත‍්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ලක්ෂ්මන් අල්ගම වෙත පවරන ලදී.   


එවකට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ එජාප ආසන සංවිධායකයන් වූයේ කොලොන්නට සී. නන්ද මැතිව්, බළංගොඩට එම්.එල්.එම්. අබුසාලි, පැල්මඩුල්ලට චන්ද්‍රා ගන්කන්ද, නිවිතිගලට ගාමිණී අතුකෝරල, ඇහැළියගොඩට ආචාර්ය විමල් වික‍්‍රමසිංහ, රක්වානට උපතිස්ස සිල්වා, කලවානට අබේරත්න පිලපිටිය, රත්නපුරේ සම සංවිධායකයන් වූයේ නාලක අතුකෝරල සහ අතුල ආටිගලය. කැරැලිකරුවන් මර්දනය සඳහා ඔවුහු ද ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.   


රත්නපුර ඇලෝසියස් විදුහල, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය සහ කොලොන්න විජේසූරිය මහා විදුහල ජවිපෙ බළකොටු මෙන් දිස්විය. තවත් සිසුන් විශාල පිරිසක් රත්නපුර සීවලී, පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලය යන විදුහල්වලින් ජවිපෙ 2 වැනි කැරැල්ලට එක්ව තිබිණි. එමෙන්ම පාසල් ශිෂ්‍යාවන් කිහිපදෙනෙක් ද රත්නපුර සුමන සහ ෆර්ගියුසන් ඇතුළු උසස් බාලිකා විද්‍යාලවලින් කැරැල්ලට ක‍්‍රියාකාරීව එක්වී තිබිණි.   


ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කැරැල්ලට එක්වූ පූර්ණකාලීන සිසුන් සංඛ්‍යාව 12කි. ඉන් කුරුවිට කොට්ඨාසයේ ශිෂ්‍ය ලේකම් නෙල්සන් හෙවත් විදුල ඝාතනයට ලක් විය. බොහෝ සිසුන් අවසානයේ රඳවා තිබුණේ කජුගහවත්ත හමුදා කඳවුරේය. එහිදී රැඳවියන්ට වධබන්ධන දීම සම්බන්ධයෙන් හමුදාවේ සෙබළුන් වූ ජයතිලක, නෙළුම් සහ සමන්ට චෝදනා එල්ල විය. (ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)