තමන්ගේ සුවය ප්‍රාර්ථනා නොකරන, එහෙත් අපගේ සුවය ප්‍රාර්ථනා කරන අපේ හෙට දවස යහපත් කිරීම සඳහා මානව දයාවෙන් පිරිපුන් නයිටිංගේල් දියණියන් පිළිබඳව ලෝකයේ ප්‍රථමයෙන්ම කතාබහට ලක්වන්නේ මින් වසර දහස් ගණනකට පෙරය.   


හෙද සේවය යනු අපේ උපතේ සිට මරණය දක්වා වූ ජීවන අත්දැකීම් සහ සෞඛ්‍යය පැවැත්මේ ගුණාත්මක බව සලසා දීම අරමුණු කරගත් විද්‍යාත්මක කලාවකි. එම කලාව තුළ හෙද හෙදියන්ගේ අපරිමිත කැපවීම අනාදිමත් කාලයක සිට ප්‍රකට කරුණකි. නූතන වෘත්තීය හෙද සේවය ලෝකයට දායාද කිරීමෙහිලා මුල් අඩිතාලම දැමූ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මහත්මිය හැරුණුවිට එළිසබෙත් ජෝන්ස්, මේරී සිකෝල්, ලින්ඩා රිචඩ් ආදී හෙදියන් නූතන හෙද සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමින් හෙද වංශ කතාව තුළ නොමැකෙන සටහන් තැබූ පිරිසකි.   


 එළිසබෙත් ජෝන්ස් ඇමෙරිකාවට හෙද විද්‍යාල ක්‍රමය හඳුන්වා දෙමින් ඉන් නොනැවතී ආසියාතික රටවල්වලට ද හෙද විද්‍යාල ක්‍රමය හඳුන්වා දුණි. ඒ අතර වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම හෙදියන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ලොවට හඳුන්වා දුන්නේ නවසීලන්තයයි. ඒ 1901 වසරේදීය. මෙලෙස ලෝකය තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූ හෙද සේවය අද කොරෝනා හමුවේ බොහෝ රටවල් පරාජයට පත් වෙද්දී බුදුන්ගේ කාලයේ පටන් ගිලානෝපස්ථානය ජීවිතේ කොටසක් කරගත් ශ්‍රී ලංකාවේ හෙද සේවය කොරෝනා සටනේදී කරනා කැපවීම අතිමහත්ය.   

 

 

ගිලන්ව තමන් අබියසට එන අසරණ රෝගීන් වෙනුවෙන් අතීතයේ සිටම සියලු‍ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන අපගේ හෙද හෙදියන් අද කෝවිඩ් 19 වසංගතය හමුවේ කරන මෙහෙය සුළුපටු නැත. තමන්ගේ ජීවිතය මොහොතතකට අමතක කර, ජීවිතයේ සෑම සතුටක්ම අසරණ වූ රෝගීන් වෙනුවෙන් කැපකරමින්, නොනිදා වැඩ කරන කොරෝනා සටනේ ඉදිරිපෙළ සොල්දාදුවන් වන හෙද හෙදියන්ට මේ ගතවන සෑම තත්පරයක්ම අභියෝගයකි.   


මන්ද ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන, ලෝකයම ගිලගත් කොවිඩ් 19 වෛරසය හමුවේ ලොව බලවත්ම රාජ්‍යයන් පවා දණින් වැටී ඇති මොහොතක වෛද්‍යවරුන්, හෙද හෙදියන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරමින්, පීඩනයන් දරාගත නොහැකිව, අවශ්‍යය සනීපාරකක්ෂක පහසුකම් නොමැතිව සේවය හැරයන විදෙස් සමාජ මාධ්‍යය තුළ හඬා වැටෙන මොහොතක රාජකාරිය ඉක්මවා ගිය මානුෂීය හැඟීමෙන් ලංකාව පුරා 35000 ක හෙද හෙදියන් දිවා රෑ නොබලා අති විශිෂ්ට සේවයක යෙදෙන අයුරු අමුතුවෙන් කිවයුතු නැත.   


ඇසට නොපෙනෙන වෛරසයක් අබිමුවේ මරු කටට ගිලගන්නා මිහිතලව වෙනුවෙන් අභියෝග රැසකට මුහුණ දුන්න පැය 6 වැඩමුරයට එහා ගිය ස්වකීය රාජකාරිය දේව කාරියටත් වඩා උතුම්කොට සලකමින් රෝගීන් සුවපත් කිරීමට අපමණ වෙහෙසක් දරන වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් සමස්ත සෞඛ්‍යය ක්ෂේත්‍රයටම අප්‍රමාණ වූ හෘදයාංගම කෘතවේදීත්වයකින් අප මෙලෙස සටහන් තබන්නේ ජාත්‍යන්තර හෙද දිනය යෙදී ඇති මොහොතකය.   


වෙදකමේ සහ හෙදකමේ අගය මුළු ලෝකයටම තදින්ම දැනෙන මොහොතක පසුගිය මැයි 12 දිනට යෙදී තිබුණ ලෝක හෙද දිනයේ මෙවර තේමාව වූයේ “ගෝලීය වශයෙන් සෞඛ්‍යය නඟා සිටුවීම සඳහා හෙදියන් ලෙස ගොඩ නගමු” යන තේමාවයි. විශේෂයෙන්ම හෙද හා පවුල් සෞඛ්‍ය වර්ෂය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසර ප්‍රකාශයට පත්කර ඇත්තේ ද හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරෙන්ස් නයිටිංගේල් මහත්මියගේ 200 වන ජන්ම දිනය මෙම වසරට යෙදී තිබීම නිසාවෙනි.   


මෙම මොහොතේ අද ලොව පුරා හෙද හෙදියන් කොරෝනා සටනේ පෙරමුණ ගන්නේ දැඩි සටනක නියුතු මොහොතක රාජකාරියට එහා ගිය හෙද සේවයේ මානුෂීය බව කතා කරන්නට අපි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යානී සොයිසා මහත්මිය අපි “ඉරිදා ලංකාදීප”යට සම්බන්ධ කර ගත්තෙමු.   


හෙද සේවයේ මූලාරම්භය   


මීට වසර දහස් ගණනකට පෙර ක්‍රිස්තු පූර්ව 300 දී පමණ රෝම අධිරාජ්‍යය තුළ පැවති ආරෝග්‍යය ශාලා තුළ වෘත්තීමය වශයෙන් හෙද සේවය පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නොයෙක් පරිවර්තනයන් හමුවේ ඉදිරියට පැමිණි හෙද සේවය අනතුරව නොයෙක් ආගමික නිකායන්හි පූජක පිරිස්, හමුදා සේවකයන් වෙත ද දායාද වී තිබෙනවා. ඒ අතරින් ක්‍රිස්තියානි ආගමික නිකායන්හි කන්‍යා සොහොයුරියන් කැපී පෙනෙන සේවාවක් ඉටුකර තිබෙනවා. ඒ අනූව ආරම්භක සමය තුළ සිටම සාත්තු සේවය හා රෝගීන්ට ඇප උපස්ථාන කිරීම වැනි අංශයන් පදනම් කරගනිමින් ප්‍රගතිශීලි ගමනක යෙදීමට හෙද සේවය සමත් වී තිබෙනවා.   


නූතන වෘත්තිමය හෙද සේවය ලෝකයට දුන් ෆ්ලෝරෙන්ස් නයිටිංගේල් 

 
ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් හා ෆ්‍රාන්සස් ස්මිත් යන යුවළට ඔවුන්ගේ දෙවෙනි දියණිය ලෙස ෆ්ලෝරෙන්ස් නයිටිංගේල් 1820 මැයි 12 දින උපත ලබනවා. ඇය ඉතාමත් සැපවත් ජීවිතයක් ගත කරමින් හොඳ අධ්‍යාපනයක් ලබාගත් තරුණියක්. ඇය ඉතාමත් ධනවත් පවුලක තරුණියක් වුණත් ඒ සියලු‍ම සැප සම්පත් අතහැර ඇය සිය ජීවිතය අසරණ රෝගීන් වෙනුවෙන් කැප කරනවා. එහෙත් ඇයගේ මව එම තීරණයට බොහෝ සෙයින් විරුද්ධ වුණත් ඇය ඇයගේ අරමුණ කරා යනවා.   


එකල ධනවත් තරුණියක් එවැනි ක්ෂේත්‍රයක් තෝරා ගැනීම ගැන මුළු රටම කතා වෙනවා. ඔය අතර කාලයේදී ඇයගේ හෙද ජීවිතයේ විශේෂ අවස්ථා වන්නේ ක්‍රිමියානු යුද්ධය. ක්‍රිමියානුවේ සෙබළුන් කොළරාව වැනි විවිධ වසංගත රෝග වැලඳිලා විශාල වශයෙන් මැරෙන්න ගන්නවා. ඔය අතරෙදි ඇයට පැවරෙන කර්තව්‍යය වන්නේ මේ රෝගීන්ට, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමයි.


ඒ අනුව 1854 ඔක්තෝබර් 21 වන දින තවත් හෙදියන් 38 ක් සමග ඇය ක්‍රිමියානුව බලා පිටත්වෙනවා. ක්‍රිමියාවේ රෝගීන් මියයාමට හේතුව ලෙස ඇය විශ්වාස කළේ අයහපත් රෝහල් පරිසරය. එහිදී හෙදියන්ට ඇය මනා පුහුණුවක් ලබාදුන්නා. සෙබළුන්ට යහපත් ආහාර රටා, මානසික සුවය, පිරිසිදු ඇඳුම්, හොඳ ගුණාංග පුහුණු කරා. ඕජස වැක්කෙරෙන යුද සෙබළුන්ගේ තුවාල අඛණ්ඩ පැය 8 ක්, 10 ක් දණින් නැවී පිරිසිදු කිරීමේ කටයුතු ඇය විසින්ම කළා. ඇය ලෙඩ්ඩු මත්තෙම නැහුණා. ඇය මොහොතක්වත් ඇගේ ජීවිතය ගැන හිතුවේ නෑ. ක්‍රිමියානු මරණ අනුපාතය 42% තියෙද්දි ඇයගේ කැපවීම මත මරණ අනුපාතය 2% දදක්වා අඩුකර ගැනීමට සමත් වුණා. 

 
රෝහලේ අවසාන සොල්දාදුවා තෙතක් විවේකයකින් තොරව ඇය උපස්ථාන කළා. නියම හෙදකම කියන්නේ අන්න එයටයි. කාලයක් යද්දී ඇයගේ ඇස් පෙනීම දුර්වල වෙනවා. 1907 වර්ෂයේදී හත්වන එඩ්වඩ් රජු විසින් Order of Merit සම්මානයෙන් ඇගේ සේවාව ඇගයෙන අතර එවැනි සම්මානයක් දිනාගත් ප්‍රථම කාන්තාව ද ෆ්ලොරෙන්ස් වනවා. 

 
වයස 90 දි 1910 අගෝස්තු 13 වැනි දින ඇය මෙලොවින් සමුගන්නවා. ගැහැනියක් ලෙස ඇය කළ සේවාව අමරණීය ලෙස අදටත් ඇයගේ ජන්ම දිනය ලොව පුරා සැමරීම් සිදුකරනවා. 2020 කියන්නේ ඇගේ ජන්ම දිනයට වසර 200 ක් ගතවන වසරක්. ඉතාම ඉහළින් මෙවර ඇයගේ ඡන්ම දිනය සමරන්නට සිටියත් කොවිඩ් 19 වෛරසය නිසා එය සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. එහෙත් ඇය හෙද සේවයෙන් සමාජයට දුන් පණිවිඩය ඉතාමත් ඉහළයි.   


වර්තමානයේ නයිටිංගේල් දියණියෝ   


ලංකා ඉතිහාසයේ හෙදියක් වෙන්න ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක් කොට සලකනවා. පුංචි මතකයකින් ආරම්භ කරොත් 1986 ජනවාරි 31 සිදුවූ මහ බැංකු බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනය රෝගීන් 1500 කට එකවර ප්‍රතිකාර ලබාදෙන්න සිදුවුණා. එදා මම හිටියේ රෝගීන් වර්ගීකරණ හෙදිය විදියට. වැල නොකැඩී ආපු ඒ හැම කෙනෙක්ම ඉල්ලු‍වේ ජීවිතය පමණයි. හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. ඒ මොහොතේ එක්තරා රෝගියෙක් කෙළින්ම මා ඔහු වෙත ඇදලා ගත්තා. මම ඔහු දෙස බලනකොට මගේ හිත මොහොතකට නතර වුණා. ඔහුගේ එක අතක්, පාදයක් ගැලවිලා ගිහිල්ලා. හැබැයි ඔහු ජීවතුන් අතර.   


‘මිස් මට වතුර ටිකක්‘‘‘   


එවැනි අසාධ්‍ය තත්ත්වයේ රෝගියෙකුට වතුර දෙන එක හොඳ නෑ. එය ඔහුගේ අවසාන ඉල්ලීම විය හැකිය කියන දේ මගේ හිතට ආවා. වේගයෙන් දුවගෙන ගිහින් වතුර ටිකක් අරගෙන එනකොටම ඔහු ඇස් ඇරගෙනම මිය ගිහින් තිබුණා. මා මැරෙන තෙක්ම අදටත් ඒ මතකය මගේ මනසේ ඇඳිලා තියෙනවා. මේ වගේ අපේ රටේ සිටින හෙද හෙදියන් 35000 ටම මේ වගේ අත්දැකීම් රාශියක් තිබෙනවා. හෙද වෘත්තියේ දුක දරාගෙන ඉන්නවා කියන එක ඇත්තටම ලොකු ආශ්චර්යයක්. හුඟක් අය හෙදියකගේ දකින්නේ බාහිරින් පේන ලක්ෂණය පමණයි.   


මේක දශක 3ක් යුද්ධය තිබුණ රටක්. වසර 30 ක් පුදුම විදියට මිනිස් ජීවිත බිලිගත්තා. ඒ කාලෙත් අපේ හෙද හෙදියන් ගෙදර යන්නේ නැතුව දරු මල්ලෝ අත හැරලා සම්පූර්ණයෙන්ම ඉස්පිරිතාලෙට කොටුවුණු ජීවිත ඔවුන්ට තිබුණා. අද ඒ වගේම කොවිඩ් වෛරසය රටම බිලිගෙන තියෙනවා. හැම රෝහලකම කොවිඩ් අවධානය තියෙනවා. කොරෝනා ආසාධිතයින් ඉන්න අයි.ඩී.එච් රෝහල ගත්තම තාමත් නිවෙස්වලට නොගිය හෙද හෙදියන් ඉන්නවා. පොලිතීන්, ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්න එක ඉතාම අපහසු කාර්යයක්. හරියට කෑමක්, බීමක්, නින්දක් නෑ. ඒ වගේ විශාල කැපකිරීම් අපේ හෙද හෙදියන් මේ වෙලාවේ කරනවා. හෙදියක් වුණොත් ඕනෑම අවදානම් තත්ත්වයකට අප මුහුණ දීමට සැකසී සිටිය යුතුයි.   


අපි මේ අත්විදින්නේ ලෝකයේ පළමු වෛරසය නොවේ. මීට වසර කිහිපයකට එහා ගියොත් 1918 උණ වසංගතයකින් ලෝකයම ගිලගත්තා. එම උණ වසංගතය වැඩිපුරම හැදුණේ හමුදා බැරැක්කවල අයට. එහිදී ලෝකයේ ලක්ෂ ගාණක් මියැදුණා. එම උණ වසංගතයට කිසිදු බෙහෙතක් සොයා ගැනීමට අසමත්ව වසර 2 ක් ලෝකය පුරා සැරි සරලා යටපත් වුණා. එදත් නිරෝධායන කටයුතු, මුඛ ආවරණ පැලඳීම බොහෝ කාලයක් සිදුවුණා. ඒ නිසා මේ දේවල් අපිට අලු‍ත් දේවල් නෙවේ. කොවිඩ් 19 වෛරසයත් වසරක පමණ කාලයක් ලොව පුරා සැරිසරලා යටපත් වේවී. ඇත්තම කියනවා නම් මට මේ රෝගය වැලඳුණත් කිසි විටකත් බියවන්නේ නැහැ. හෙද වෘත්තිය කියන්නේ දරාගන්න බැරි අවස්ථාවන් දරාගෙන කැපවිය යුතු සේවාවක්.  


හෙද සේවයේ එදා සහ අද   


හෙදියන් ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ රෝගීන් වෙනුවෙන්. හෙද සේවයේ 95%ක කාන්තා නියෝජනයක්, 5%ක පිරිමි නියෝජනයක් සමග කැපවෙන හෙද සේවය තුළ පැය 6 වැඩමුරය ඉවරවෙලා ගෙදර දුවන මානසිකත්වයක් නෑ. හෙද සේවය කියන්නේ හරියට හමුදාවක් වගේ. හෙදියක් විදියට ප්‍රතිඥා දෙනකොට අපිට ඒ කැප කිරීම කරන්න සිදුවෙනවා. එදා හෙද සේවයේ පැය 12 ක සේවා වැඩමුර තිබුණා. එක දිගට දින 14 රාත්‍රී වැඩමුළු තිබුණා. මාසෙන් 2/1 ක් රැඳෙන්නේ රෝහලේ නේවාසිකාගාරය තුළ. පවුලේ අය, දරුවෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින්. රෑ 10 වැඩමුරය අවසන්වෙලා ගෙදර ගිහින් නැවත පහුවෙනිදා උදේ 6 ට සේවයට වාර්තා කරන්න ඕනේ. ඒ වගේ ඉතිහාසයක් තමා ලංකා හෙද සේවයේ තිබුණේ.   


1939 ආරම්භ කරපු හෙද සේවය 1960 කාලයේදී අතිශය බරපතළ අර්බුද රැසකට මුහුණ දෙන්න වුණා. එක දිගට දින 14 රාත්‍රී මුරසේවය, පැය 12 මුරසේවය වගේම හෙදියට රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු පවා කරන්න සිදුවුණා. ඒ කාලයේ හෙද සේවය වහල් සේවයක් බවට පත්වුණා. හෙද සේවාවට වූ අසාධාරණය වහල් සේවයක් ලෙස සලකපු එකට හෙදියන් හඬක් නැගුවා. 

 
එකල පිටකොටුවේ ගොඩනැගිල්ලක තිබූ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු අවසාන සාකච්ඡාව පරාදවීමෙන් පසුව ‍සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ හඬට කන් නොදීම නිසා එක් හෙදියක් ‍සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් පැන සිය දිවිය පවා අහිමි කරගත්තා. ලංකා ඉතිහාසයේ වෘත්තීය වෙනුවෙන් දිවි නසා ගත් එකම හෙදිය ඇයයි. 

 
අද ඇත්තටම හෙද සේවයේ ඉන්න අය වාසනාවන්තයි. සටන් කරලා බොහෝ දේවල් දිනාගෙන තියෙනවා. මේ දේවල් සටන් කරලා දිනාගන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ විශාල වශයෙන් මුල් වුණා. අද වෙනකොට හෙද සේවයේ විශාල හිඟයක් වගේම ගැටලු‍ රාශියක් තියෙනවා. අදටත් අපිට උපාධිය දෙනවාට සමහර පාර්ශ්ව විරුද්ධයි. හෙද වෘත්තියට හරියට කොනහිලිකම් තියෙනවා. ලෝකයේ හෙද සේවය ආචාර්ය උපාධිය දක්වා හැදෑරිය හැකියි. ඒත් ඒ අවස්ථාව අපිට අහිමිවෙලා. ඩිප්ලෝමා තියාගෙන විවිධ රටවල සිසුන්ට අපි අධ්‍යාපන දැනුම ලබාදෙනවා.   


මිලියන 22 කින් හෙදියන් 35000 ක් රට පුරා ඉන්නවා. ජනගහනය අනුව හෙදියන් ප්‍රමාණය බොහොම අඩුයි. රටේ ජනගහනයට ගැළපෙන ආකාරයට අප හෙදියන් පුහුණු කළ යුතුයි. හෙද සේවයට දිනයක් වෙන් වුණාට හෙද හෙදියන් කියන්නෙ 365 දවසේම රෝගීන් වෙනුවෙන් කැපවුණ පිරිසක්. කොවිඩ් වසංගතය හමුවේ මුළු මහත් ලෝකය වෙනුවෙන් යුතුකම් හා වගකීම් කාර්යභාරයක් ඉටු කරමින් කැපවෙන හෙද වෘත්තියේ සියලු‍ම දෙනාගේ අසීමිත මහන්සියට මේ වෙලාවෙ හදවතින් අපි ආශිර්වාද කරනවා.

 

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී
පුෂ්පා රම්‍යානී සොයිසා