ගම භීෂණයෙන් ඇලළී ගොස්ය..... ඇතැම්හු ගම් අතැර හිස් ලූ ලූ අත ගොසිණි....

   
ඉරගල වැටෙන විටම ගම්මු නිවෙස් තුළට වැදී දොරගුළු ලාගෙනය. පිටතින් ගෙට පැනිය හැකි යැයි සිතෙන සෑම තැනක්ම මුරකාවල් ලාගෙනය.... රාත්‍රියට නිදාගත් දිනයක් මතකයේ නැති අතරම සෑම රාත්‍රියකදීමත් දිවා කාලයේදීත් නින්දත් නොනින්දත් අතර ගත කිරීමට ඔවුන්ට සිදුවිය. 
මේ නවකතාවක එන සිදුවීම් මාලාවක් නොවේ. වසර හතකට පෙර රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදුවීම් මාලාවකි. නිදිගත් බවට සැකසිතූ යක්‍ෂයා අවදිවී සිටිය දී එම ප්‍රදේශයේ දිගටම සිදුවූ  භීෂණය හේතුවෙන්  ගම්මානයට පොලිස් මුරපොළවල්, හමුදා භට කණ්ඩායම් ගමේ තැන තැන පිහිටුවීමට සිදුවිණ. පොලිසිය, හමුදාව ගම පුරා ඇවිද්දත් උන්හිටි ගමන් ගමේ කාන්තාවන් දෙන්නා, දෙන්නා බැගින් ඝාතනයට ලක්වූවේ කිසිවකුටත් හිතා ගැනීමට නොහැකි ලෙසිනි. 


කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතන රැල්ල උච්චස්ථානයට ගෙන එමින් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධිය වූයේ නයනා නිල්මිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනයට ලක්වීමයි. ඒ 2012 ජනවාරි මස 31 වැනිදාය. ඒ සිදුවීමත් සමග රත්නපුර පමණක් නොව මුළු රටම භීතියෙන් ඇළලී ගියේය. 
මෙම අපරාධයෙන් ටික දිනකට පසු රත්නපුර කොටකෙතන ගමේ පමණකුදු නොව ඝාතනයට ලක් වූ මව සහ දියණිය පදිංචිව සිටි නිවසට යාබද නිවසේ විසූ අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තිය ද ඇගේ සැමියා වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා සහ තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 
ත්‍රීරෝද රථ රියැදුරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු විභාගයක් නොපැවැත්විණි. එහෙත් ඔහුට සිදුවූ දෙයක් අදටත් කිසිවෙක් නොදනී. අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තියට සහ ඇගේ සැමියා ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය. 
මෙම සිද්ධිය සුවිශේෂී එකක් ලෙස සලකමින් නීතිපතිවරයාට ඇති බලතල මත ලඝු නොවන මූලික සාක්කි විභාගයක් නොපවත්වා කෙළින්ම රත්නපුර මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලද අතර පසුව නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව එම නඩුව කොළඹ මහාධිකරණයට මාරු කර එවන ලදී. 
2014 වසරේ දී විත්තිකාර රාජු නමැත්තාට හා ඔහුගේ බිරිඳ වන බට්ටි නමැති අඹුසැමි යුවළට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කළ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් නඩු විභාගය ආරම්භ කරන ලද අතර පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මෙම නඩු විභාගය දිගටම පවත්වාගෙන යන ලදී. 


එහිදී ඉදිරිපත් වූ සාක්කි අනුව මෙම සිද්ධියට අදාළව වසර 05ක් ඇප නැතිව රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තිය 2018 වසරේ ජුලි මස 25 වැනිදා විත්ති වාචකයක් කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කෙරිණි. 
එසේනම් අපරාධකරුවන් කෝ? රටේ කාටත් ප්‍රශ්නයක් නැගිණි. 
බට්ටි නිදහස් වුවත් ඇගේ සැමියා වූ රාජුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ තවදුරටත් නඩුව විභාග කෙරිණි. තවත් වසරක පමණ කාලයක් පුරා රාජු සිය නිදහසට ඉදිරිපත් කළ කරුණු විනිසුරුවරයා විමසූ අතර විත්තිකරු වෙනුවෙන් සාක්කි දුන් සාක්කිකරුවන් 05 දෙනෙකුගේ සාක්කි සහ අධිකරණයට ඉදිරිපත් කොට තිබූ නඩු භාණ්ඩ හා ලේඛන 23 ක් විනිසුරුවරයා විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ ඊට පෙර ද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්කි දුන් සාක්කිකරුවන් 53 දෙනෙකුගේ සාක්කි සහ නඩු භාණ්ඩ හා ලේඛන 149ක් කෙරෙහි ද සැලකිල්ල යොමු කරමිනි. 
මෙම ඝාතන සිද්ධියට අදාළව නිකුත් කළ පිටු 221 කින් යුත් තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් අධිකරණය ඇමතූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය 25 වසරක විනිශ්චයකාර ජීවිතයේ ඉතාම වෙහෙසකර වූ මෙන්ම විශාල කාලයක් මිඩංගු කිරීමට සිදුවූ නඩු තීන්දුව මෙය බව සඳහන් කළේය. 
මෙම තීන්දුව ලිවීමට පෙර මෙම නඩුවේ දී සාක්කි වශයෙන් ඉදිරිපත් වූ පිටු 3000 කට අධික සාක්කි සටහන් හතර පස් වතාවක්ම කියැවීමට සිදුවූ බවත් එම සාක්කි අනෙකුත් සාක්කි සමග සැසඳෙන්නේ ද යන්න පිළිබඳව මෙන්ම නෛතික කරුණු පිළිබඳව ද නිසි අවබෝධයකින් හා අවධානයකින් කටයුතු කළ යුතු බව ද එය විනිසුරුවරයකු වශයෙන් තමාගේ වගකීම බව ද විනිසුරුවරයා අවධාරණය කර සිටියේය. 


අති දක්‍ෂ නවකතාකරුවකු විසින් ලියන ලද එක හැල්මේ කියවාගෙන යා හැකි නවකතාවක් අන්දමින් නඩු තීන්දුව ලියා තිබූ විනිසුරුවරයා පිටු 221 කින් යුත් එම තීන්දුව පැයකට අධික කාලයක් පුරා කියවාගෙන ගියේය. 
යුක්තිය පතා අධිකරණයට පැමිණ සිටින මෙම සිද්ධියෙන් මියගිය කාන්තාවන්ගේ ඥාතීන් මෙන්ම නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය මත ජීවිතයත් මරණයත් අතර තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටින විත්තිකරුත් අතර සිට තම රාජකාරිමය වගකීම නිසි අන්දමින් ඉටු කරන බව ද අවධාරණය කරමින් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹීය. 
නයනා නිල්මිණී හා කවින්ද්‍යා චතුරංගි නමැති මව සහ දියණිය ඝාතනය කරන අයුරු ඇසින් දුටු කිසිවෙකුත් නොමැති බවත් මෙම නඩුව සම්පූර්ණයෙන්ම පරීවේශනීය සාක්කි මත පමණක් පදනම් වන බවත් සඳහන් කළ විනිසුරුවරයා යුක්තිය ඉෂ්ට කිරීම සඳහා ‘ජීන්ටෙක්’ ආයතනයේ විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවත් මෙම නඩුව සඳහා ඔහු විසින් පිටු 1000 කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් සඳහන් කරමින් ‘ජීන්ටෙක්’ ආයතනය විසින් නිකුත් කරනු ලබන වාර්තාවල ඇති සියයට සියයක නිවැරදිභාවය පිළිබඳ අධිකරණයේ විශ්වාසය පළ කළේය. 


ඇසින් දුටු සාක්කිකරුවන්ගේ සාක්කි මත පදනම් වන නඩුවක දී අධිකරණය හමුවේ සාක්කිකරුවන් සාක්කි දෙන අයුරු සහ ඔවුන්ගේ ඉරියව් නිරීක්‍ෂණය කිරීම මගින් සිද්ධියක විය හැකි භාවය පිළිබඳ නිගමනයකට පැමිණීමට ඇති හැකියාව මෙන්ම පරීවේෂණීය සාක්කි මත පදනම් වන නඩුවක දී ඇති විද්‍යාත්මක තත්ත්වය හේතුවෙන් කරුණු නිසි අන්දමින් ගැලපුණු විට නිසි අපරාධකරු කවුරුන් ද යන්න හඳුනාගැනීමට ඇති හැකියාව ද එහි ඇති විද්‍යාත්මකභාවය ද විනිසුරුවරයා විසින් විග්‍රහ කරන ලදී. 
2012 පෙබරවාරි මාසයේ දිනයක කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිමල් වික්‍රමනායක මහතාට ‘ඕපාත වත්තේ’ කානුවක තරුණ ගැහැනු ළමයකුගේ නිරුවත් සිරුරක් ඇති බවට තොරතුරක් ලැබිණි. 
ඔහු එහි ගොස් සිදුකළ විමර්ශනවල දී ‘ඕපාත වත්තේ’ සේවකයකු දර ඇහිඳීමට වත්තේ යන විට වත්තේ කානුවක තරුණ ගැහැනු ළමයකුගේ නිරුවත් සිරුරක් වැටී තිබෙනවා දැක ඔහු ඒ පිළිබඳව වතු අධිකාරිවරයා මාර්ගයෙන් පොලිසියට දැනුම් දී ඇත. 
ඒ අතර නිමල් වික්‍රමනායක මහතාට කතා කළ තවත් අයෙකු නයනා නිල්මිණීගේ නිවසේ විශාල ලේ පැල්ලමක් දකින්නට ඇති බවට ලබාදුන් තොරතුරකට අනුව වික්‍රමනායක මහතා එහි ගොස් සිදුකළ විමර්ශනයක දී එම නිවසේ සාලයේ විශාල ලේ පැල්ලමට අමතරව තවත් කුඩා ලේ පැල්ලමක් ද ඊට අමතරව සාලයේ සිට කාමරයක් දෙසට ඇදී ගිය තවත් ලේ පැල්ලමක් ද නිරීක්‍ෂණය කරන ලදී. 


නිමල් වික්‍රමනායක මහතා එම කාමරය තුළ බලද්දී එහි ඇඳක් උඩ නයනා නිල්මිණීගේ මෘත ශරීරය තිබෙනු දැක ඇති අතර ඇගේ ගවුම ඉරා සිරුර අඩ නිරුවත් කොට තිබිණි. 
මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්ගේ මතය වී ඇත්තේ නයනා නිල්මිණී ඇගේ නිවසේ සාලයේ දී ඝාතනය කොට පසුව කාමරයට ඇදගෙන ගොස් දමා ඇති බවකි. එහි තිබූ ඇඳ ඇතිරිල්ලක තිබූ ලේ පැල්ලම් කිහිපයක් පරීක්‍ෂාවට ලක් කළ නිලධාරීහු එහි නයනා නිල්මිණීගේ මෙන්ම ඇගේ දියණිය වන කවින්ද්‍යාගේ රුධිරය ඇති බව සනාථ කරගනු ලැබීය. 
ඒ අනුව නයනා නිල්මිණී මෙන්ම කවින්ද්‍යා ද මෙම නිවසේ දී ඝාතනය කරන ලදුව පසුව කවින්ද්‍යාගේ සිරුර වෙනත් ස්ථානයකට ගෙන ගොස් දමා ඇති බව පසක් කර ගන්නා ලදී. 
මෙම අපරාධය සිදුකිරීමට විත්තිකරු පෙළඹවීමේ හේතුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයට පැහැදිලි කරමින් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් කරනු ලැබුවාය. 
2012 ජනවාරි මාසයේ විසි ගණන්වල දිනයක අහඹු නමුත් අපූරු සිද්ධියක් විය. එම සිදුවීම මෙම අපරාධය සිදුකිරීමට පෙළඹවීමේ හේතුව බව ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නාය. 
විත්තිකාර රාජුගේ සහෝදරයා වන ධර්මසිරිගේ දියණියගේ විවාහය 2012 ජනවාරි මාසයේ සිදුවූ අතර ඒ කාලයේ දිනයක මරණකාරිය වන නයනා නිල්මිණි ධර්මසිරිගේ නිවසට ගොස් ඔහුගේ දියණියගේ කටයුතුවලට උදව් කරමින් එහි අල්මාරිය අස් කරද්දී එහි තිබී කුඩු පැකැට් කිහිපයක් අසුවීම මෙම අපරාධය කිරීමට පෙළඹවීමේ එක් හේතුවක් බව අධිකරණයට කරුණු ඉදිරිපත් විය. 
ඊට ආසන්න 2012 ජනවාරි මස 21 වැනිදා ධර්මසිරිගේ පුතා වන සම්පත් නමැත්තා මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබීය. මේ හේතුව මත පදනම් වූ විත්තිකාර රාජු නයනා නිල්මිණි ඔහුගේ නිවස පසුකර යන අවස්ථාවේ දී ගේට්ටුව අසල රැක සිට ‘උඹලා අපේ සම්පත් පුතා මත්ද්‍රව්‍යවලට පොලිසියට අසුකර දුන්නා නේද?’ කියමින් නයනා නිල්මිණි නමැත්තියට බැණ වැදිණි. 


නයනාගේ හා කවින්ද්‍යාගේ ජීවිතවලට තිත තැබීම ස්ථිර කිරීමට පෙලඹීමේ අනෙක් හේතුව එය බව ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයට සාක්කි ඉදිරිපත් කළාය. 
අල්මාරිය අස්කිරීමේ දී එහි තිබී කුඩු පැකැට් අසුවීමේ සිද්ධියක් හෝ නයනා නිල්මිණි සැකකරුගේ නිවස පසුකර යද්දී ධර්මසිරි ඇයට බැණ වැදීමේ සිද්ධියක් සිදු නොවූ බවත් පෙන්වා දීමට විත්ති පාර්ශ්වය උත්සහ කළත් එය සාර්ථක නොවූ බව විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළේය. 
නයනා නිල්මිණිගේ පුතා අධිකරණයේ සාක්කි දෙමින් ධර්මසිරි හෝ බට්ටි හෝ එම නිවසේ කිසිවකුත් අම්මාගේ හා නංගීගේ මළ ගෙවල්වලට නොපැමිණි බවත් දානේ දින බත් පාර්සලයක් ධර්මසිරිගේ නිවසට ගෙන ගොස් දුන් විට එම බත් පාර්සලය අතටවත් නොගෙන ‘මේසේ උඩින් තියන්න’ කියමින් පස්සෙන් පස්සට ගිය බව අධිකරණය හමුවේ හෙළි කළ අතර මළ ගෙයක් අවස්ථාවේ දී එය සිදුවිය හැකි තත්ත්වයක් නොවන බව විනිසුරුවරයා තීරණය කළේය. 
නයනා නිල්මිණීගේ හා කවින්ද්‍යාගේ ඝාතනයට යොදාගත් බව කියන මාරක වක් පිහිය සහ නයනා නිල්මිණී නමැත්තිය පැළඳ සිටි කරාබු ජෝඩුව මෙම නඩුවේ සුවිශේෂී සාක්කි ලෙස ඉදිරිපත් කොට ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට අයත් වක් පිහියේ මරණකාරියගේ රුධිරය ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කළේය. 
නයනා නිල්මිණීගේ හා කවින්ද්‍යාගේ ඝාතනයට යොදාගත් බව කියන මාරක වක් පිහිය විත්තිකරු පාවිච්චි කළ වක් පිහිය බව විත්තිකරුට අයත් පතලේ ඔහු සමග එකට වැඩ කළ ලලිත් ඇතුළු තවත් තිදෙනෙකු විසින් හඳුනා ගැනිණි. රාජු පාවිච්චි කළ වක් පිහියේ මිටේ වයර් කැබැල්ලක් ගැට ගසා තිබූ බව වක් පිහිය අධිකරණය හමුවේ සාක්කිකරුවන්ට පෙන්වීමට පෙර ඔවුන් පවසා තිබිණි. ලාකඩ සීල් තුළ ඉතාම සුරක්‍ෂිතව තිබූ වක් පිහිය පරීක්‍ෂාවට ලක් කිරීමේ දී සාක්කිකරුවන් පැවසූ මෙන්ම හඳුනාගත් වයර් කැබැල්ල විත්තිකරු පාවිච්චි කළ වක් පිහියේ මිටේ ගැට ගසා තිබිණි. 


මෙම අපරාධයට අදාළව රාජු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී වක් පිහිය සහ නයනා පැලඳ සිටි කරාබු ජෝඩුව තමාගේ නිවසේ අත්තිවාරමක කොන්ක්‍රීට් තට්ටුවක් යට බෙනයක් වැනි ස්ථානයක ඇති බව හෙළි කළේය. ඒ අනුව පොලිසිය සිදුකළ සෝදිසියක දී වක් පිහිය සහ නයනාගේ කරාබු ජෝඩුව විත්තිකරු හෙළි කළ ස්ථානයේ තිබී සොයා ගැනුණි. 
විත්තිකරුගේ ප්‍රකාශ අනුව සොයාගත් වක් පිහිය පරීක්‍ෂාවට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් එහි තිබී සෙන්ටිමීටර් 05ක කෙස් ගසක් හා තලයේ වියළී ගොස් තිබූ ද්‍රවයක් සොයා ගන්නා ලදී. එලෙස සොයාගත් සෙන්ටිමීටර් 05ක කෙස් ගස හා එහි තලයේ වියළී ගොස් තිබිය දී හඳුනා ගත් ද්‍රව්‍ය ‘ජීන්ටෙක්’ ආයතනයේ විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. එය පරීක්‍ෂාවට ලක් කළ විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා සෙන්ටිමීටර් 05 ක කෙස් ගස හා එහි තලයේ වියලී ගොස් තිබිය දී හඳුනාගත් ද්‍රව්‍ය නයනා නිල්මිණීගේ රුධිරය බව තහවුරු කළේය. 
යුක්තිය ඉෂ්ට කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් දැක්වූ ‘ජීන්ටෙක්’ ආයතනයේ විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා මෙම නඩුව සඳහාම පිටු 1000 කින් යුත් වාර්තාවක් සකස් කොට ඉදිරිපත් කර තිබිණි. එහි යම් පුද්ගලයකුගේ ශරීරයේ කොටසකින් ලබාගන්නා ඩී.එන්.ඒ. රටාවක් එකී පුද්ගලයා නොවන වෙනත් පුද්ගලයකුගේ ඩී.එන්.ඒ. රටාවක් සමග සර්ව සමවීමට ඇති ඉඩකඩ අතිශය විරල බවත් එසේ සිදුවනවා නම සිදුවන්නේ එකී පුද්ගලයින් දෙදෙනා සම නිවුන් සහෝදරයන් වන්නේ නම් පමණක් බවත් එම වාර්තාවේ සඳහන් කොට තිබිණි. 


සම්පූර්ණ ආගන්තුක පුද්ගලයින් දෙදෙනෙකුගේ ඩී.එන්.ඒ. රටා එක හා සමාන වීමට ඇති හැකියාව ශ්‍රී ලංකික පුද්ගලයින් සැලකූ විට අවම වශයෙන් මිනිසුන් ට්‍රිලියනයකින් එක් අයෙකු තරම් අතිශය විරල සංසිද්ධියක් බව සඳහන් කරන විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා මනුෂ්‍ය පුද්ගලයකුගේ එක් ශරීර සෛලයක් තුළ ඩී.එන්.ඒ. සහිත වර්ණ දේහ 46ක් අඩංගු වන බවත් ඉන් හරි අඩක් එනම් වර්ණ දේහ 23ක් එකී පුද්ගලයාගේ මවගෙන් ද ඉතිරි අර්ධය එම පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක පියාගෙන් ද උරුම වන බවත් සඳහන් කළේය. 
යම් කිසි පුද්ගලයකුගේ ඩී.එන්.ඒ. රටාවෙහි අඩංගු තෙරතුරුවලින් හරි අඩක් එකී පුද්ගලයාගේ මවගේ ඩී.එන්.ඒ. රටාව සමග සමාන වන අතර ඉතිරි අඩ පියාගේ ඩී.එන්.ඒ. රටාව සමග සමාන වන බව ද මේ විද්‍යාත්මක තත්ත්වය අනුව විත්තිකරුගේ නිවසේ ඔහුගේ පෞද්ගලික දැනීම යටතේ තිබූ තැනක තිබී සොයා ගත් වක් පිහියේ තිබූ ද්‍රව්‍ය මරණකාරිය වන නයනා නිල්මිණීගේ රුධිරය බවත් එහි තිබූ සෙන්ටිමීටර් 05ක කෙස් ගස ද නයනා නිල්මිණීගේම බවත් විශේෂඥ රුවන් ඉලේපෙරුම මහතා සනාථ කළේය. 
ඉදිරිපත් වූ මෙම කරුණු අනුව මෙම අපරාධය සිදුකොට ඇත්තේ විත්තිකරු විසින්ම බව මනාව ඔප්පු වන බව විනිසුරුවරයා විසින් තීන්දු කරන ලදී. 
විත්තිකරු නයනා නිල්මිණී හා කවින්ද්‍යාට මාරක වක් පිහියෙන් කිහිප වරක්ම කොටා ඇති බවත් නිවසේ පොළොවේ සිටිය දී වක් පිහි ප්‍රහාරයට ලක් වූ මෙම කාන්තාවන්ගේ රුධිරය වහලයේ සිවිලම දක්වා විද ඇතැයි නියෝගයේ සඳහන් කළ විනිසුරුවරයා මරණය සිදුවනවාටත් වඩා අධික බලයක් යොදා මරණකාරියන්ට මන්න පහර එල්ල කිරීම තුළින් ඔවුන් සමග විත්තිකරුට තිබූ වෛරය පිළිඹිබු වන බව ද සඳහන් කොට ඇත. 
මරණකාරියන්ගේ හිස් කබල කැපී මොළ කැබැලි එළියට විසි වන අන්දමින් විත්තිකරු මන්න ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සාක්කි මගින් හෙළි වී ඇති අන්දම ද විනිසුරුවරයා විසින් සිය තීන්දුවේ සඳහන් කරන ලදී. 


විත්තිකරුගේ නිවසේ තිබූ කවිච්චියේ එක් පැත්තක් ගිනිගැනීම පිළිබඳ හේතු ඉදිරිපත් කළ විත්තිකරු බුදු පහන වැටී එය ගිනි ගත් බව පැවසුවත් කවිච්චිය තිබූ ආකාරය අනුව බුදු පහන වැටුණා නම් ගිනිගත යුත්තේ කවිච්චියේ ගිනිගත් පැත්ත නොව අනිත් පැත්ත බව ද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය. 
නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති අවස්ථාවක ඔහු වරදකරු බව තීරණය කොට ඔහුට දඬුවම් පැමිණවීමත්, විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොකළ අවස්ථාවක දී චෝදනාවන්ට විත්තිකරු නිවැරදිකරු බවට තීරණය කොට ඔහු නිදොස් කොට නිදහස් කිරීමත් නඩුව විභාග කළ විනිසුරුවරයා විසින් සිදුකරනු ලබයි. 
නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයේ පිහිටා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම විනිසුරුවරයා විසින් විභාගය ආරම්භ කරනු ලැබූ අතර නඩු විභාගය අවසන් කොට තීන්දු ප්‍රකාශය ලියන විට දී එම තත්ත්වය සහශුද්ධයෙන්ම වෙනස් වී තිබිණි. 


නඩුවේ සාක්කි වශයෙන් ඉදිරිපත් වූ කරුණු එකින් එක ගෙන පරීක්‍ෂා කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය. ඒ අනුව විත්තිකරු මෙම චෝදනාවන්ට වරදකරු බවට විනිසුරුවරයා වැඩිදුරටත් තීරණය කළේය. 
මෙම වරදට මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි කළ දැනුම් දීමට අනුව විත්ති කූඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකාර ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා ‘මෙම සිද්ධියට මගේ සම්බන්ධයක් නැහැ. මේක සී.අයි.ඩී. එක ගොතපු කතාවක් විතරයි’ කියා සිටියේය. එම කරුණු මරණ දඬුවම නියම නොකිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව තීරණය කළ විනිසුරුවරයා අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුලු හා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කොට සියලු දෙනා නැගී සිටි අවස්ථාවක දී විත්තිකරුට මරණීය දඬුවම නියම කොට ඊට අත්සන යෙදූ පෑන මේසයේ ඇන කඩා දැමීය. 


දැල්ල වටේ කරුකෙන පළඟැටියා අවසානයේ එම ගිනි දැල්ලේම වෙලී පිළිස්සී යන අයුරු අපි දැක ඇත්තෙමු. පිළිතුරු නැති ප්‍රශ්න බොහෝමයකට ස්වභාව ධර්මය පිළිතුරු දෙන අයුරු ද අපි දැක ඇත්තෙමු. වැරදි කොට නීතියෙන් ගැලවී සිටි බොහෝ දෙනෙකුට කාලය දඬුවම් ලබාදුන් අයුරු ද අපි දැක ඇත්තෙමු. 
ධනය, බලය, නිලය, උදෙසා නොයෙකුත් අසාධාරණකම් කරන පළඟැටියන් අවසානයේ නීතිය නමැති ගිනි දැල්ලේ වෙලී පිළිස්සී යන අයුරු අධිකරණවල දී බොහෝ අවස්ථාවන් හිදී අපි දැක ඇත්තෙමු. ඒ දහම ඊයේටත්, අදටත්, හෙටටත් එක සේ වලංගුය. 

 

 

සටහන - මනෝප්‍රිය ගුණසේකර