පාතාලය අපේ සමාජයේම නිර්මාණයක්   

 

 

‘‘මගේ අම්මයි තාත්තයි පො​ෙළාන්නරුව ප්‍රදේශයේ ලු. මාව හදාගත්තේ වෙන අම්මා තාත්තා දෙන්නෙක්. තාත්තා නැති වුනාට පස්සේ නෑදෑයෝ දේපළ ගන්න පොරකෑවා. ඒ අසාධාරණයට විරුද්ධව කතා කළ මට අනාථයා කියලා සමච්චල් කළා. මම ඒ පරිසරයෙන් මිදිලා කල්ලි ගැහුණා. මුලින්ම මාව අත්අඩංගුවට ගත්තේ ! ආයුධ තියාගත්ත කෙනෙක් ළඟ හිටියා කියලා. බෝම්බයක් මගෙ අතට දාලා මාව වැරදිකාරයෙක් කළා. මගේ ජීවිතේ වෙනස් වුණේ එදා’‘. ඒ රණාලේ සමයං නමැති පාතාල කල්ලි නායකයා වෙඩිකා මියයෑමට කලකට පෙර කර තිබූ පාපෝච්චාරණයකි.   


රණාලේ සමයං සේම පාතාලේ මධුෂ්, ජුලම්පිටියේ අමරේ ආදී අයගේ නම් ද සමාජයට වරින් වර එකතු වෙයි. මේ අයගේ ජීවිතවල ද කුටුම්භය කැඩී විසිරී ගිය ඛේදනීය අවස්ථා බොහෝ විය.   


මිනී මරමින්, මත්ද්‍රව්‍ය අලෙවි කරමින්, සමාජය තුළ භීතිය වපුරණ නම් දැරූ අපරාධකාරයන් ලෙස සලකන මෙවැනිම අයගේ දිගු නම් වැලකි. එහෙත් මේ සියලු දෙනා ඉපදෙන විට ආයුධ අතට ගෙන නොආවෝය. මත්ද්‍රව්‍ය අලෙවි නොකළෝය. ඔවුන්ටද ළමා කාලයක් තිබිණි. රසවත් ආහාර, ලස්සන ඇඳුම්, හොඳ අධ්‍යාපනයක්, මව්පිය ආදරය, සමාජයේ පිළිගැනුම ඔවුනටත් අවශ්‍ය වූවෝය. එහෙත් ඒ ළමා අයිතිවාසිකම් ලබාගැනීමට තරම් ඔවුහු භාග්‍යවන්ත නොවූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ අධ්‍යාපනය හැරගිය සමාජ විරෝධි පිරිසක් ලෙස සමාජගතවීම ය.   


අද ඔවුන් සමාජයේ භීතිය වපුරණ පාතාල නායකයන් වී හමාරය. එහෙත් යළිත් සමයං, මධුෂ්. අමරේ වැනි චරිත පාතාලයට නිර්මාණය කර නොදිය යුතුය.   


අගනාකම් හා මානුෂික ගුණධර්මවලින් පිරිපුන් සමාජහිතවාදී දරු පරපුරක් නිර්මාණය කිරීම සමාජගත ඔබගේ වගකීමය. එම නිසා පාතාලය බිහිවන්නේ සමාජය නිසාද? යන්න පිළිබඳ කතා කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙරංජී විජේවර්ධන මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.   


අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙරංජී විජේවර්ධන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය   


පාතාලය කියන එක සමාජයේ ඇසෙන වචන අතර ටිකක් භීතිය දනවන්නක්. මේ කණ්ඩායම තරුණ අයගෙන් සමත්විත වූවක්. මේ තරුණ අය ඇයි පාතාලයට යන්නේ කියන එක අපි සොයා බැලිය යුතුයි.   
මානව ජීවියෙක් ඉපදීමෙන් පසු සමාජානුයෝජනයක් සිදුවෙනවා. එනම්, ජීව සත්වයෙකු වෙන දරුවා සමාජ සත්වයෙකු වීමයි සමාජානුයෝජනය කියන්නේ.   


ගහක් හිටෙව්වාම එය පලදරන්න, මල් පිපෙන්න එයට සාත්තු කළ යුතුයි. දරුවෙකුටත් එය පොදුයි. ඔහුටත් වැඩෙන්න ආදරය, කරුණාව පෝෂණය වැනි සාධක අවශ්‍යයි.   


සමාජ විද්‍යාවට අනුව ප්‍රාථමික සමාජානුයෝජනය යන්න හරිම වැදගත්. ඒ තමයි අම්මගේ තාත්තගේ බැඳීම, ආදරය, පවුලේ එකමුතුව, සමගිය යන මානසික බැඳීම්. පාතාලය දෙස බැලුවොත් එහි සිටින සාමාජිකයන් පවුල්වල රැකවරණය ලැබුව අයද යන්න පිළිබඳ ගැටලු මතුවෙනවා. හේතුව ඔවුන්ට පවුල කියන සංකල්පය පිළිබඳ සිහිනයක්වත් නෑ. 

 
අපේ රටේ තවමත් තිබෙන ප්‍රශ්නයක් තමයි කොළඹ නගරය අවට නිර්මාණය වී ඇති වීදි සමාජය. මේ වීදි සමාජයේ ඉන්න දරුවෝ ළමා කාලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. එයාලගේ මව්පියෝ කවුද කියලාවත් ඔවුනට අදහසක් නෑ. එයාලම එයාලගේ ජීවන වෘත්තීන් තෝරා ගන්නවා. කුසගින්න මඟ හරවා ගන්න හොරකම, කුලීවැඩ ආදී හොඳ හෝ නරක ඕනෑම දෙයක් සිදුකරනවා. ළමයෙක් කියන්නේ එහෙම කෙනෙකුට නෙවෙයි.   


අපේ වගේ රටවල දරුවන්ට විවාහයක් වෙන වයස දක්වාම මව්පිය රැකවරණය ලැබිය යුතුයි.   


මව්පියෝ තමයි දරුවන් පෝෂණය කරන්නේ. එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියට අනුව ළමයෙක් කියලා නිර්වචනය කරන්නේ අවුරුදු 18ට අඩු අයෙක්. ඒ ළමයට හිමිවිය යුතු අයිතිවාසිකම් අහිමිවෙනවිට ඒ අය තම තමන්ගේ ජීවන උපායන් සොයා යද්දී යම් යම් නීති විරෝධි කල්ලිවලට හසුවීම වළක්වන්න බැහැ.   


පාතාලය කියන්නේ මහා සමාජයේ තිබෙන එක්තරා උපසංස්කෘතික කණ්ඩායමක්. මහා සමාජයේ සියලු දෙනා අනුගත වූ පොදු සංස්කෘතියක් තිබෙනවා.   


ආගම, සිරිත් විරිත්, ආචාර ධර්ම වලින් තමයි අපි පාලනය වෙන්නේ. හැබැයි මේ පාතාලය වගේ උපසංස්කෘතික කණ්ඩායම් ගත්තහම ඒ අය මහා සමාජයේ පවතින සංස්කෘතින් සමග බද්ධ වුණ කණ්ඩායම් නොවෙයි. එයාලට අනන්‍ය වූ සංස්කෘතියට අනුවයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන් පොදු සමාජයේ නීතිය තමන් අතට අරගෙන තමන්ගේ කටයුතු කාරණා ඉටු කරගන්නවා. ඔවුන් එදිනෙදා ජීවත්වීම පමණක් අරමුණු කරගත් කෙටි කාලීන සුඛාස්වාදයට අනුව ජීවත්වෙනවා.   


​මේකට හේතුව එදිනෙදා ජීවත්වීම පමණක් අරමුණ වීමයි. රොබට් ඒ. මඩින් තමන්ගේ අනෝමීය න්‍යාය විස්තර කරනකොට කියනවා සමාජය තුළ සමාජ අසාධාරණයක් තිබෙන කොට බිඳුණු පවුල්වල දරුවෝ අපගාමී පෞරුෂයකට ගොදුරු වෙනවා. (ආදරය, කරුණාව, පිළිගැනීම, ආරක්ෂාව, පෝෂණය, රැකවරණය නොමැති වූ විට).  


උදාහරණයට කිව්වොත් පාසලක මධ්‍යම පන්තික ළමයි හා පහළ පාන්තික ළමයි සිටියදී ගුරුවරයාගේ වැඩි අවධානය යොමු වන්නේ මධ්‍යම පාන්තික දරුවන්ට. කිලිටි ඇඳගෙන එන සමාජය අපරාධකාරයෝ ලෙස ලේබල් ගහලා තියෙන මව්පියෝ ඉන්න පහළ පාන්තික දරුවෝ පන්තියේ ඉන්නේ කොන්වුණු මානසිකත්වයෙන්. ඒ අය ගුරුවරයාගේ අවධානයෙන් ද බැහැරවෙනවා. මේ තුළ දී ඉච්ඡාභංගත්වය ගොඩනැගෙනවා. එහිදී ආදරය අවධානය ලබන කණ්ඩායම වේගයෙන් සමාජ ධර්මතා සමග ඉදිරියට යද්දී කොන්වීමට ලක්වූ අය ජීවත්වීමේ අරමුණ උදෙසා වැරදි මාර්ග ඔස්සේ ජීවිතය හොයාගෙන යනවා.  


අධ්‍යාපනය හැරයන එවැන්නෝ සිය ජීවන වෘත්තීන් තෝරා ගන්නේ සමාජ විරෝධී පෞරුෂයකින් යුතුව. මේ වගේ කණ්ඩායම් එකතුවුණ තැනක තමයි පාතාලය නිර්මාණය වෙන්නේ.  


අම්මා නැති, තාත්තා නැති, මව්පිය දෙදෙනාම නැති ඔවුන් වෙන්ව ගිහින් සිටියත් ගෘහීය ප්‍රචණ්ඩත්වය ඇති දරුවන් නොසලකා හරින මව්වරු විදෙස් ගත වූ මව්පියන්ගේ අනියම් සබඳතා, මත්ද්‍රව්‍ය භාවිතය හෝ ආබාධයන්ට ලක්වූ ආදී විවිධ කාරණා මත මව්පිය රැකවරණය අහිමි වූ දරුවෝ පාතාලය ගොදුරු කරගන්නවා.  


මෙවැනි තැනක හැදෙන දරුවෙක් ආදරය ලබන්නේ නැහැ. ඔවුන් අත්විඳින්නේ කටුක අත්දැකීම්. එවැනි අත්දැකීම් ඇති හැමෝම පාතාල සාමාජිකයෝ නොවුණත් යම් පිරිසක් ඊට ගොදුරු වෙනවා. මෙහිදී පවුලේ රැකවරණය නොමැති දරුවන් ඊළඟට තෝරාගන්නා සම වයස් හෝ වැඩිමල් සමාජ කණ්ඩායම්වල චර්යාධර්මත් ඔවුනගේ ජීවිත තීරණය කරන්න බලපානවා. පවුලේ සිටියදී අත්විඳි පීඩනයට ප්‍රතිඋත්තර හොයන්නේ ඒ කණ්ඩායම් සමග.   


සිග්මන් ප්‍රොයිඩ් කියනවා මුඛ අවධියේදී දරුවා කිරි උරාබීමෙන් මුඛ තෘප්තිය ලබනවා කියලා. කිරි උරාබීමෙන් පෝෂණය ලැබෙනවා පමණක් නෙවෙයි මවගේ සෙනෙහස, උණුසුම රැකවරණයත් ලැබෙනවා. මව ආදරයෙන් කතා කරන කොට, හුරතල් කරන කොට, දරුවාගේ ක්‍රියාකාරකම් අගයන කොට දරුවා හොඳ පෞරුෂයකින් යුතුව සංවර්ධනය වෙනවා. මෙය මනෝවිද්‍යාවේ යහපත් චිත්තවේගික ප්‍රතිචාර සබඳතා චක්‍රය ලෙස හඳුන්වනවා.  


ගැටලු සහිත පවුල්වල දරුවන් මේ ආදරය සෙනෙහස ලබලා නොතිබෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් මත ඇති දැඩිවෙන දරුවන් මහා සමාජයේ ගොඩනැගී තිබෙන සමාජ විරෝධී සංවිධාන සමග එකතුවෙනවා. නාගරික සමාජයේ ගොඩනැගී තිබෙන නීති විරෝධි තරුණ කල්ලි මීට උදාහරණ.  


පහුගිය කාලේ නම් දරාපු අපරාධ කරපු කල්ලි සාමාජිකයෝ හැම කෙනෙක්ම පාහේ බිඳුණු පවුල්වල අය. උදාහරණයට සමයං චරිතය ගන්න පුළුවන්. පොඩි කාලෙම සුජාත මව්පියෝ අහිමිවෙනවා. හදාගන්නේ වෙන ගුරු යුවලක්. දේපළ නිසා නෑදෑයෝ අනාථයා කියලා කොන් කරනවා. විවිධ පීඩන එල්ල කරනවා. අවසානයේ ඔහු කියනවා පළමු වරට හිරේ යන්නෙත් නොකළ වරදක් නිසා කියලා. එවැනි හේතු සාධක බලනකොට අපරාධකරුවෙකු නිර්මාණය වීමේ පසුබිම තේරුම් ගන්න පුළුවන්.  


මේ විදියට සමාජ අසාධාරණයට ලක්වූ අය කල්ලි ගැහිලයි සංවිධානාත්මක අපරාධ කරන්නේ. ආයුධ වෙළඳාම, ගණිකා වෘත්තීය පවත්වා​ෙගන යාම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, මිනී මැරීම් ආදි සමාජ විරෝධි බොහෝ දේ සිදු කරන්නේ. ඉන් තවත් පිරිසකට සිදුවන හානිය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිවයි.  


පුංචි කාලයේ ආදරය සෙනෙහස අත්නොවිඳි ඔවුන් සමාජයට ආදරය කරන්න දන්නේ නෑ. ආර්ථිකමය වාසිය පදනම් කරගෙන තවත් දරුවෙක්ගෙ අම්මෙක් තාත්තෙක් මරන්නේ සමාජ අගනාකම් හා ධර්මතා පිළිනොපදින නිසා. ඒ පිළිබඳ හැඟීමක් නැති නිසා. එහෙම වෙන්නේ ඇයි? ඔවුන්ට ඒවා පිළිබඳ අත්දැකීම් නැති නිසා. කියා දෙන්න කෙනෙක් නැති නිසා ඔවුන්ට යහපත් සමාජානුයෝජනයක් ලැබී නෑ.  


ෂමිල් ඩුර්කයිම් කියනවා මහා සමාජයයි පවුලයි එකට යාකරන පාලම පාසල කියලා. පවුලේ හැදෙන දරුවා සමාජයට අන්තර්ග්‍රහණය කරන්නේ පාසල. පවුලෙන් වගේම පාසලෙනුත් දරුවාට අගනාකම්, ආදරය, රැකවරණය, අගයකිරීම නොලැබෙන කොට ඔහු යන්නේ කොතැනටද? ඒ නිසයි පාසල සෑම ළමයෙකුටම සමානාත්මතාව දිය යුත්තේ.  


පාතාලය පවතින්න මේ රටේ ආර්ථිකය, දේශපාලනයයි, සමාජය හේතුපාදක වෙනවා. කුලියට මිනී මරන්න හා වෙනත් නීති විරෝධි කටයුතු සඳහා පාතාලයට ඉල්ලුමක් තිබෙනවා. සමාජ අසාධාරණයට ලක්වෙලා කල්ලි ගැහෙන මුරණ්ඩු අදහස් ඇති දරුවන්ගෙන් සේවය ලබාගන්න රටේ ඉන්න ප්‍රබල පිරිස් ක්‍රියා කරනවා. පාතාලය පවත්වාගෙන යන්නේ ඒ අය. තරුණ සම්පත තමන්ගේ ආත්මාර්ථකාමී අදහස් මුදුන් පමුණුවා ගන්න කටයුතු කරන්නේ ධනපතියන්.  


මෙහිදී අපරාධය හා දඬුවම යන සාධක පිළිබඳවත් කතා කළ යුතුයි. අද හැම අපරාධයකම පසුබිම් සාධකය වෙලා තිබෙන්නේ ආර්ථික සාධකය.  


මේ පිළිබඳ කතා කරනකොට ග්‍රාමීය පාසල් වසාදැමීමේ ක්‍රියාදාමයත් මතක් කළ යුතුයි. ළමයි අඩුකම නිසා වසාදමන පාසල්වල ඉගෙන ගන්නේ අසරණ ග්‍රාමීය දරුවෝ. ඔවුන්ගේ අධ්‍යාපනය මගදී නැවතුණාම රැකියාවක බලාපොරොත්තුව කඩ වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය රැකියා සොයා නගරයට ඒම. එහෙම එන පිරිසෙන් යම් ප්‍රමාණයක් වැඩි මුදල් ඉපයීම සඳහා මෙවැනි අපරාධ ක්‍රියාවලට එකතු වෙනවා.  


මීළඟට පාතාලය පිළිබඳ ප්‍රශ්නයේදී සෘජුවම අතදිගුවෙන පැත්තක් තමයි විමර්ශන ක්‍රියාවලිය. පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය වගේ ආයතන තිබෙන්නේ යුක්තිය පසිඳලීමට. පොලිසියට අපරාධ පාලනය හා නිවාරණය සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබෙනවා. අධිකරණයට සහය දෙන්නේ පොලිසිය කියන ආයතනය. අද වෙනකෙට මොකද වෙලා තිබෙන්නේ? පොලිසියේ ඇතැම් අදූරදර්ශී නිලධාරීන් නීතියට පටහැනිව කටයුතු කරනවා. එය අපරාධකරුවන් වැඩිවෙන්න හේතු වෙනවා.  


ඇතැම් නිලධාරීන් අපරාධ යටපත් කරන්න අල්ලස් ගන්නවා. සමහරු අහිංසක තරුණ තරුණියන් බොරු චෝදනාවලට පටලා අත්අඩංගුවට ගන්නවා. පොලිසිය වගේ ආයතනවල සේවය කළ නිලධාරීන් බන්ධනාගාරගතවී දඬුවම් විඳිනවා දකින්න පුළුවන්. මෙය සංවර්ධනය වෙමින් පවතින රටක ශෝචනීය තත්ත්වයක්. පොලිස් නිල ඇඳුමට මුළු රටේම ජනතාව ගෞරව කරනවා. භීතියක් දක්වනවා. ඒක එහෙම විය යුතුයි. බොරු සාක්ෂි දීම, අත්අඩංගුවේදී වදහිංසා කිරීම්, අල්ලස් ගැනීම් ආදි දේවල් ඒ තත්ත්වය පහත හෙළනවා. පාතාලයේ වර්ධනයට මේවත් බලපානවා.  


සමයං වගේ චරිත ද්වේශයෙන් කතා කළේ පවුලෙන්, සමාජයෙන් හා නීතියෙන් සිදුවූ අසාධාරණකම් නිසා. විවිධ කල්ලි පිළිබඳ පර්‌යේෂණ රීමේ දී වැරදි පටවා වැරදි කරුවන් කිරීමේ අවස්ථා පිළිබඳ දැනගන්නට ලැබුණා. හේතුව පොලිස් නිලධාරීන් මාස්පතා සම්පූර්ණ කළ යුතු පැමිණිලි සංඛ්‍යාවලු. එවැනි චෝදනා එල්ලවෙන්නේ ඇයි? පාතාලය මැඬලීම සඳහා නීතියට ලොකු වගකීමක් තිබෙනවා. පවුල, ආගම, අධ්‍යාපනය, දේශපාලනය යන සංස්ථා නීත්‍යානුකූල විය යුතුයි.  


මෙම යාන්ත්‍රණය මගින් බිඳුණු පවුල් නගා සිටුවන දරුවන් රැකගැනීමේ ක්‍රමවේද ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදිය යුතුයි. කුඩා අවධියේ සිටම දරුවන්ට අවශ්‍ය ආදරය, කරුණාව, රැකවරණය, පෝෂණය, අධ්‍යාපනය යන සාධක ලැබුණොත් අපරාධකරුවන් අඩුවේවි. මේ පිළිබඳ වගකිවයුතු ආයතනවල අවධානය යොමු විය යුතුයි.  

 

 

 

සටහන - කුමාරි හේරත්