තම රසායනාගාරය විසින් පරීක්ෂණවලට භාජනය කළ ඇටසැකිලි සාම්පල ශ්‍රී ලංකා​ෙව් මෑතදී හමාර වූ යුද්ධයට සියවස් කිහිපයකටත් වඩා පැරණි ඒවා බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාවේ රසායනාගාරය ඔවුන් වෙත යොමු කළ ඇටසැකිලි කිහිපයෙහි කාල වකවානුව නිගමනය කරමින් නිකුත් කරනලද වාර්තාව අනුව ක්‍රි.ව. 1499-1719 පමණ තෙක් අතීතයට දිව යතැයි ද එබැවින් මන්නාරමේ සමූහ මිනී වළවල්වලින් ගොඩගත් ඇටසැකිලිවලට ශ්‍රී ලංකා යුද හමුදාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි පළ කළේ වුව ද මන්නාරමේ සමූහ මිනී වළවල් පිළිබඳ ප්‍රශ්නය නොවිසිඳුණු ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඉහත සඳහන් කාලය අයත්වනුයේ මෙරට පෘතුගීසී ඕලන්ද ජාතිකයන්ගේ පාලන සමයන්ටය.   
පෘතුගීසීන් 16 වැනි සියවස මුලදී ලංකාවට ගොඩ බැස මෙරට මුහුදුබඩ පෙදෙස් සහ අභ්‍යන්තරික පෙදෙස් යටත් කර ගැනීමට එවකට මෙරට පාලනය කළ රජවරුන් සමග වරින් වර යුද වැදුණු අවස්ථාවලදී එතරම් යුදමය ශක්තියක් නොමැති වූ දේශීය හමුදාවන් බොහෝ විට අන්ත පරාජයන්ට පත් කර ඉතා දරුණු ලෙස ඔවුනට වධ හිංසා පනවා ඇති බව ශ්‍රී ලංකා ඉතිහාසය හැදෑරුවෝ දන්නා කරුණකි. ඔවුන්ගේ අත පය ඉතා අමානුෂික ලෙස සිඳ බිඳ දමමින් වධ හිංසා පමුණුවා මරා දමනු ලැබ තිබෙනුයේ රුධිර ගංගා ඇති කරමිනි. පෘතුගීසීන් කිසියම් පෙදෙසක් නතු කරගත් පසු ඊළඟට ගත් පියවර වූයේ එම පෙදෙසෙහි වැසියන් ක්‍රිස්තියානි ආගමට බලහත්කාරයෙන් හැරවීමය. ඊට අවනත නොවූ කිසිවකු වූයේ නම් කිසිදු සමාවකින් තොරව ඔවුන් ඝාතනය කරනු ලැබ ඇත. එවැනි ව්‍යසන අවස්ථාවලදී අවාසනාවන්ත ලෙස සමූල ඝාතනයට ලක්වූවන් රාශියක්ම මිහිදන් කිරීමට සිදුවූ විට එම කුරිරු ක්‍රියා සිදු කළ ඝාතකයන් සිදු කරනුයේ මළ කඳන් ගොඩක් ගසා පුලුස්සා දැමීමය. නැතිනම් මළ කඳන් සියල්ල අැද දැමිය හැකි ප්‍රමාණයේ වළක් හාරා එයට තල්ලු කර එම සිද්ධිය අමතක කර දැමීමය. පාලකයන්ට හා අධිපතීන්ට එරෙහිවූවන් ඝාතනය කළ විටෙක ඔවුන් සියලු දෙනාගේම මළකඳන් වෙන වෙනම කැපූ වළවල්වල තැන්පත් කිරීමට තරම් ශීලාචාරකමක් හෝ මිඩංගු කළ හැකි කාල වේලාවක් ඔවුනට නැත. එබැවින් සිදු කරනුයේ කුණු වෙන මළකඳන්වලින් මතුවන දුඟඳ පැතිරී යෑම වළක්වීමට හැකි තරම් ගැඹුරට පමණක් විශාල වළක් හාරා එයට එම කඳන් ඇද දැමීමය.   


ඓතිහාසික වාර්තා කිහිපයක් විස්තර කිහිපයක් උපුටා ගෙන මෙහි පළ කරනුයේ මන්නාරමේ සමූහ වළින් ගොඩ ගත් ඇටසැකිලි 16 වැනි සියවසෙහිදී පෘතුගීසීන් හා දේශීය හමුදාවන් අතර සිදු වූ යුද ගැටුම්වලින් සමූල ඝාතනයට පත්වූවන්ගේ ඒවා මිස දැනට දශකයකට පෙර නිමවූ යුද්ධයේ ප්‍රතිඵලයක් නොවන බවට අපක්ෂපාතී සාධාරණ සිතුම් පැතුම්වලින් යුතු යුක්තිගරුක පුරවැසියන්ටවත් අවබෝධ කරවීම සඳහාය. (මන්නාරම දිවයින තම පාලනය යටතට ගැනීම සහ රැකගැනීම පෘතුගීසීන්ට ඉතාමත් අවශ්‍ය කරුණක් වූයේ එකල වෙළෙඳ ලෝකයේ අගනා ආදායම් ලබාගත හැකි වස්තුවක් වූ මුතු බෙල්ලන් මන්නාරමේ මුහුදු තීරුවෙන් කැඩීමෙන් ලබාගත හැකි ආදායම ඉතා විශාල වූ බැවිනි.)   
පොලෝ ද ට්‍රිනිඩෑඩ් නමැති පෘතුගීසී ජාතික මිෂනාරිතුමකු විසින් පෘතුගීසී බසින් 17 වැනි සියවසේදී ලියන ලද පුරාවෘත්තයක අත්පිටපතෙන් උපුටා ගත් ඡේද කිහිපයක් ද මෙම ලිපියට ඇතුළු කර ඇත. එම පුරාවෘත්තය රචනා කර තිබෙනුයේ ක්‍රි.ව. 1636 දී පමණ වන බැවින් එනම් 16 වැනි සියවසේදී සිදු කරනලද සමූල ඝාතනවලට ඉතාම ආසන්නයේ බැවින් එහි නිරවද්‍යතාවය හා විශ්වාසනීයභාවය ගැන සැකයක් නොමැත. එබැවින් එම විස්තරයෙන් උපුටා ගත් කෙටස් අන් ඒවාට වඩා වැදගත් වේ. ලංකාවේ ක්‍රිස්තියානි ධර්මයෙහි මුල් අවදිය - 17 වැනි සියවසේ වෘත්තාන්තයක් යනුවෙන් එම පුරාවෘත්තයෙහි ඉංග්‍රීසී භාෂා පරිවර්තය නම් කර ඇත. එම පරිවර්තනය ලංකාව පිළිබඳ ලියා අැති පරිච්ඡේදවලට පමණක් සීමාවී ඇත. හලාවත බිෂොප්තුමකු වූ පඬිවරයකු වූ ආචාර්ය එඩ්මන්ඩ් පිරීස් තුමා සහ ඉන්දියාවේ සේවය කළ ගරු ඇකිලස් මීර්සමන් නමැති ප්‍රන්සිස්කානු මිෂනාරිතුමකු එම පරිවර්තනයෙහි සම කතුවරු වූහ. අපරදිග ආධ්‍යාත්මිකව ජයග්‍රහණය කිරීම යන අර්ථය ඇති එම පුරාවෘත්තය පෘතුගීසී බසින් නම් කර තිබුණේ කොන්ක්විස්ටා ස්පිරිචුවල් ඩු ඔරියන්ටේ යනුවෙනි. පිටු 1193කින් සමන්විත මෙම පුරාවෘත්තයෙහි එක අත්පිටපතක් පමණක් ඇති බවත් එය රෝම නගරයේ වතීකානුවේ පුස්තකාලයෙහි තැන්පත් කර ඇති බවත් ආචාර්ය එඩ්මන්ඩ් පීරිස් තුමා සඳහන් කර ඇත.   


පරිච්ඡේද 56කින් යුතු ලංකාව පිළිබඳ පරිවර්තන කොටස පිටු තුන්සියයකට අධික වේ. එහි වැඩි වශයෙන් සඳහන් වනුයේ මෙරට වැසියන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට තැත් කිරීමේදී පෘතුගීසී මිෂානාරීවරුන්ට මුහුණපෑමට වූ ගැටුම් හා දුෂ්කරතා පිළිබඳවය. ආගමට හැරවීම පිළීබඳ දැඩිම විරෝධතාව මතුවී තිබෙනුයේ යාපන පටුන රාජධානියේදීය. වැසියන්ගේ ආගම වෙනස් කිරීමට තැත් කිරීම ගැන එහි රජු ඉතාම තදින් ක්‍රියා කරමින් ඔහුගේ විධානයන්ට අකීකරු වූ සියලු දෙනාට ඉතා කෲර ලෙස දඬුවම් කර අැත. සිය වැඩිමහල් සොහොයුරාගෙන් රජකම පැහැර ගෙන ඔහු ඝාතනය කිරීම ඇතුළු දරුණු ක්‍රියා රැසක් සිදු කළ නපුරු රජු ලෙස සඳහන් කර 35 පරිච්ඡේදයෙහි මෙසේ ද සඳහන් වේ.
“ඔහුගේ අණසක යටතේ වූ මන්නාරම දිවයිනෙහි ක්‍රිස්තු ආගම වැලඳගෙන සිටි සියලුම වැසියන් මරා දැමිය යුතු යයි අණ කිරීම මෙම අමානුෂික පාලකයාගේ කෲරත්වයේ උච්චම අවස්ථාව විය. පුද්ගලයන්ගේ වයස තත්ත්වය ගැන කිසිදු තැකීමක් නොකර පිරිමින් ස්ත්‍රීන් සහ ළමුන් හයසියදෙනකු කඩුවලින් කපා මරා දමන ලදී. ඔවුන් මරා දමන ලද්දේ පතින් නම් වූ ස්ථානයෙහිය. පසු කලෙකදී එම සිදුවීම අනුස්මරණය කිරීම සඳහා දෝ එම ස්ථානය; භක්තිය වෙනුවෙන් දිවි පිදූවන්ගේ මිටියාවත යනුවෙන් නම් විය” (179 පිටුව).
මෙම පරිවර්තනයෙහි 56 වැනි පරිච්ඡේදය නම් කර තිබෙනුයේ මන්නාරම් දූපත එහි වාසය කරන ක්‍රිස්තියානි වැසියන් සහ විශේෂ වැදගත්මකින් යුතු කරුණු කිහිපයක් පිළිබඳව යනුවෙනි. එහි 5 වැනි ඡේදය මෙසේය.  


“භක්තිය වෙනුවෙන් දිවිපිදූවන්ගේ රුධිරයෙන් තෙත්වූ පතින් නමැති ස්ථානයක් මෙම දිවයිනෙහි ඇත. තමාගේ වැසියන් බොහෝ දෙනකු ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඇති බව ක්‍රිස්තු භක්තිකයන්ගේ දැඩි සතුරකු වූ යාපන රාජධානියේ රජු​ට ආරංචි වී ඔහු භටයන් පිරිසක් සමග කපිතාන්වරයකු එහි පිටත්කර යවා ඇත. ඔවුන්ට මුණගැසුණු සියලුම ක්‍රිස්තු භක්තිකයන්ගේ වයස හෝ තත්ත්වය ගැන කිසිදු තැකීමක් නොකර ඔවුන් සියලුදෙනාම කඩුවෙන් කපා කොටා මරා දමා ඇත. අපගේ ශුද්ධ වූ භක්තිය වෙනුවෙන් දිවි පිදූ පිරිමි ස්ත්‍රීන් හා ළමුන් සංඛ්‍යාව 600 දෙනකුට වැඩිවිය. එතරම් රුධිර ප්‍රමාණයක් ගලා යාමට සැලැස්වීමෙන් තෘප්තියට පත් නොවූ ඔහු තමාගේ වෛරය මගින් දිරිගැන්වූ සියලුම උපායමාර්ග යොදා ගනිමින් සියලුම ක්‍රිස්තු භක්තිකයන් පසුපස ලුහුබැඳ ගියේය. ඇදහූ ආගම අත් හැරවීම සඳහා බල කිරීම අරමුණු කරගෙන මුණගැසුණු සියලුදෙනාම නොයෙකුත් වධ හිංසාවලට භාජනය කරන ලදී. තමා වෙනුවෙන් සිදු කළ මෙම සටනේහිදී දෙවියන් වහන්සේ ඔවුන් බොහෝදෙනකුට උපකාර කළේය. උන්වහන්සේ තමා වෙනුවෙන් පාපොච්චාරණය කළ සැම දෙනාටම පිහිට වූ බැවින් ලබ්ධිය අත්හරිනු වෙනුවට තමන්ගේ දිවි පිදීමට ඔවුන් වඩා කැමැති වූහ. දිවි පිදූ මෙම ගෞරවාන්විත වැසියන් අනුස්මරණය කිරීම සඳහා මෙම ස්ථානය ගැන අපරදිග පෙදෙස්වල සඳහන් කරනුයේ ලබ්ධිය වෙනුවෙන් දිවි පිදූවන්ගේ නගරය ලෙසය” (260 පිටුව).   
2018 වර්ෂයේදී මන්නාරම දිවයිනෙන් ගොඩ දමන ලද ඇටසැකිලි අතෙරහි කුඩා ළමුන්ගේ ඇටසැකිලි තිබූ බැවින් 16 වැනි සියවසේදී යාපන රාජධානියේ රජු විසින් මන්නාරම දිවයිනේ ඝාතනය කළ සිය ගණන් වැසියන් අතරේ කුඩා ළමුන් ද වූ බව සැලකිල්ලට ගත් විට මෙම සමූහ මිනී වළවල් පිළිබඳ වැදගත් ඉඟියක් ඉන් මතු වේ.   
තව තවත් සමූහ මිනී වළවල් අනාගතයේදී හෙළිවීමට ඉඩ ඇති බවත් එබැවින් අධිකරණ වෛද්‍ය අංශය තවදුරටත් දියුණු කළ යුතු යයි මානව අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරිය සඳහන් කර ඇති බැවින් එතුමියට ප්‍රයෝජනයක් වෙති සිතා 16 වැනි සියවසේදී තවත් සමූහ මිනී වළවල් තිබී ඇතැයි සිතිය හැකි ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත. ඒවා උපුටා ගන්නා ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 1995 වර්ෂයේදී පළ කළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය නමැති ග්‍රන්ථයේ II වැනි වෙළුමෙනි.   
“වර්ෂ 1540 මුල් කාලය වනවිට ඉන්දීය ධීවර වෙරළබඩ පෙදෙස්වල සිදු කරනලද පෘතුගීසී මිෂනාරි කටයුතු හේතුවෙන් ‘පරව’ ධීවරයන්ගේ සැලකිය යුතු සංඛ්‍යාවක්‍ ක්‍රිස්තියානි ආගමට හැරවීම සිදුවී තිබුණි. 1543 දී මන්නාරමේ පරවයන් පිරිසක් ඔවුන් අනුගමනය කළ යුතු යයි සිතා නව ආගම පිළිබඳ දේශනා කිරීම සඳහා මන්නාරමට පැමිණෙන ලෙසට ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාට ආරාධනා කළහ. සේවියර්තුමා එම ආරාධනය පිළිගෙන මන්නාරමට පැමිණ එම ගමනේදී පරව ධීවරයන් හයසියදෙනකු පමණ ක්‍රිස්තියානි ආගමට හරවන ලදී. මෙම සිද්ධිය පිළිබඳව යාපනයේ රජුට වහාම දැනුම් දී ඇත. පරව ධීවරයන් ක්‍රිස්තියානි ආගමට හැරවීම ආගම මාරු කිරීමකට පමණක් සීමා නොවූවක් බව සංකිලි රජුට පැහැදිලි විය. තමන්ගේ ආධිපත්‍යය මෙලෙස දුර්වල වීම නතර කළ යුතු යයි දැඩි ලෙස අධිෂ්ඨානය කළ සංකිලි රජු 5000ක හමුදාවක් කැටුව 1544 වර්ෂයේදී තම ආගම අතහැර දැමීමට එකඟ නොවූ සියලුම ක්‍රිස්තු භක්තිකයන් මරණයට පත් කළේය...” (108 පිටුව).


“නෞකා 43ක් හා ධීවර බෝට්ටු දෙසීයකට අධික සංඛ්‍යාවක් සමග දි මෙන්ඩොන්කා නමැති සෙන්පතියා මන්නාරමෙන් පිටත්වී 1591 ඔක්තොබර් 27 වැනි දින යාපන වරාය අසලට සේන්දු විය. පෘතුගීසීහු එදිනම කොළඹතුරේ නමැති ස්ථානයෙන් ගොඩ බැස නල්ලූර් පෙදෙසට ඉදිරියෙන් කඳවුරු බැඳ සිටි යාපන හමුදාව පරාජය කරන ලදී. රජු ද අත්අඩංගුවට ගෙන හිස ගසා දමන ලදී. රාජධානියෙහි පෘතුගීසී බලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වඩුගල්වරු 800 දෙනෙක් පමණ ද කැලිකට් සිට පැමිණ සිටි මුස්ලිම් ජාතිකයන් සංඛ්‍යාවක් ද දි මෙන්ඩොන්කා විසින් මරණයට පත් කරනලදී...” (114 පිටුව).

 

 


පෘතුගීසීන් විසින් යාපන රාජධානිය අත්පත් කර ගැනීමට වරින් වර සිදුකළ සටන්වලදී ඝාතනය කරනලද විශාල සංඛ්‍යාවන් ගැන සිවිල් සේවකයකු මෙන්ම කීර්තිමත් ලේඛකයකු වූ ශ්‍රීමත් පෝල් පීරිස් විසින් 1913 දී රචිත පෘතුගීසී යුගය නමැති පිටු 885කින් යුතු වෙළුම් දෙකකින් සමන්විත ග්‍රන්ථයෙහි ස්ථාන කිහිපයකම සඳහන් කර ඇත. එම ග්‍රන්ථය පෘතුගීසී යුගය පිළිබඳව මෙතෙක් පළ වී ඇති එකම විස්තරාත්මක වාර්තාව වේ. පහත දැක්වෙනුයේ එම ග්‍රන්ථයේ සඳහන් එවැනි ස්ථාන කිහිපයකි.


“...දි ඔලිවේරාගේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබි කෝවිල වෙත නැවතත් ප්‍රහාරයක් දියත් කරනලදී. එහි රඳවා සිටි හමුදා සේනාංකය විසින් දිගින් දිගටම සිදු කළ වෙඩි ප්‍රහාර නිසා එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පිහිටුවා තිබි බාධකය ගෙනයෑමට කළ ප්‍රයත්නය අසාර්ථක විය. පැය කිහිපයක සටන්වලින් පසු ගේට්ටු විවෘත කර සිදුවී ඇති වෙනස දැනුම් දීම සඳහා බෙර වාදනය කරන ලෙසට දි ඔලිවේරා අණ කළේය. ඉන් පසු ඔවුන් මුණගැසීමට දෙමළ ජාතිකයන් වේගයෙන් දිව එන විට පෘතුගීසීන් තමන් රැඳී සිටි ස්ථානවල සිට එම විශාල පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ අතර මදුරුවන් මෙන් ඔවුන් මරණයට පත්විණි...” (129 පිටුව).


“වැඩිදුර නොගිය දෙමළ ජාතිකයන් නල්ලූර් ආසන්නයේ රැඳුණි. දි ඔලිවේරා කඳවුරේ නතරවී සිටි අතර පෘතුගීසී හමුදාවෙන් කොටසක් ඉදිරියට ඇදුණි... කලබලය කිමෙක් දැයි දි ඔලිවේරා දැඩි උනන්දුවෙන් විමසූ විට ගෙල සිඳ දමන ලද සමහර ඔලු ගෙඩි ඔහුගේ දෙපතුල දෙසට විසි කරනලදී... ඝාතනය කළ සංඛ්‍යාව ඉතා විශාල විය. සෑම පෘතුගීසී සොල්දාදුවකු සතුව ප්‍රදර්ශනය කිරීමට ඔළු ගෙඩි දෙකක් හෝ තුනක්වත් තිබුණි...” (136 පිටුව).


දි ඔලිවේරා සහ ඔහු සමග රැඳී සිටි සෙසු පෘතුගීසීන් සෝදිසියෙන් මෙන්ම යාඥාවන්හි යෙදෙමින් රාත්‍රිය ගත කළහ. පණිවුඩකරුවකුගේ පැමිණීමෙන් ඔවුන් ආගමික වැඳුම් පිදුම්වලට බාධා විය. පණිවුඩයෙන් කියවුණේ දෙමළ සේනාධිපතිවරයා ඝාතනය කළ බවත් 500 දෙනකුගේ හිස් ගසා දමන ලද බවත්ය... දෙවන පණිවුඩයකුත් ලැබුණි. ඒ වනවිට 800 දෙනකුගේ හිස් ගසා දමන ලද බව එහි සඳහන් විය... රාත්‍රී දහය වනවිට තෙවැනි පණිවුඩයක් ද ලැබිණි. එහි සඳහන් වූයේ හිස් 1,200ක් ගසා දමන ලද බවය...” (137 පිටුව).
“දෙමළ සේනාධිපතිගේ සිඳින ලද හිස රෙද්දකින් ඔතා ආරච්චි කෙනකු විසින් දි ඔලිවේරාගේ දෙපාමුල තබන ලදී... කෝටුවල ගසන ලද හිස් ගෙඩි 800ක් ප්‍රදර්ශනය කරනලදී. ඉතිරි ඒවා ගස්වලින් එල්ලෙමින් තිබිණි... (138 පිටුව).


ඉහත විස්තර කර ඇති අන්දමට අමානුෂික හා කෲර ලෙස මිනිස් ඝාතන සිදුකළේ යාපනයේ රජු විසින් වේවා හෝ පෘතුගීසී ආක්‍රමණිකයන් විසින් හෝ වේවා ඝාතනයට භජානය වූවන් රාජ්‍ය ගෞරව සහිතව වෙන වෙනම මිහිදන් කරනලදැයි සිතිය හැකි ද? 2018 දී සමූහ වළෙන් ගොඩගනු ලැබූ මිනිස් අැටසැකිලි තම වැසියන් නව ලබ්ධියක් වැලඳ ගැනීම ගැන කුපිත වූ රජු විසින් ඝාතනය කළවුනට අමතරව යාපන රාජධානිය යටත් කර ගැනීම සඳහා පෘතුගීසීන් සිදු කළ සටන්වලින් ඝාතනයට ලක්වූවන්ගේ ඇටසැකිලි නොවේ යැයි අපක්ෂපාතීව සිතිය හැකි ද?   


සියවස් කිහිපයකට උඩදී සිදුවූ මෙම ඛේදජනක සිදුවීම් මෙසේ මතුකර දක්වනුයේ පැරණි තුවාල නැවතත් විවෘත කරලීමටත් මෙරටෙහි විවිධ ලබ්ධීන් අදහමින් සාමකාමීව ජීවත්වන ජනකොටස් අතරේ අාගම් භේද වැනි ප්‍රශ්න මතු කරලීම සඳහාවත් නොව ලොව ක්‍රියාත්මක වූ ඉතාම දරුණුතම කැරලි කණ්ඩායම ලෙස බටහිර රටවල් විසින් හංවඩු ගසනු ලැබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කැරැල්ල මැඩපැවැත්වූ ශ්‍රී ලංකාවේ හමුදාව මන්නාරමේ සමූහ මිනී වළවලට වගකිවයුතු බවට යුද්ධය අවසන් වී බොහෝ කලකට පසු දේශීය හා විදේශීය කණ්ඩායම් එක්වී සියුම් ලෙස ගොතන ලද අමූලික බොරුවෙහි පදනමක් නැති බව හෙළි දැක්වීම සඳහාය.   


ත්‍රස්තවාදීන්ට විරුද්ධව සිදු කළ යුද්ධය ගැන මෙනෙහි කරනවිට අසන්නට ලැබෙන එකම සමූහ මිනී වළ ඇති වූයේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක සේවය කළ පොලිස් නිලධාරීන් 600 දෙනකු යටත් වූ පසු දෑස් හා දෑත් බැඳ ඔවුන්ගේ හිස්වලට මැෂින් තුවක්කු උණ්ඩ හිස් කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 1990 ජුනි මස 11 වැනි දින ත්‍රිකුණාමලයට ආසන්න කැලෑ පෙදෙසක දී සිදු කළ අමානුෂික කෲර ක්‍රියාව හේතුවෙනි. එම ඝාතනයට ගොදුරුවූවන්ගේ සිරුරුවලට ඉන්ධන වත්කර පුලුස්සන ලදැයි වාර්තා වී ඇති බැවින් ඇතැම් මළ කඳන් අළු බවට පත්වන්නට ඇත. තව තවත් සමූහ මිනී වළවල් නුදුරු අනාගතයේදී මතුවිය හැකි යයි මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය නොබෝදා සඳහන් කරනවිට මෙම සමූහ මිනී වළ ද ඇයගේ සිතෙහි තිබුණේදැයි යනු සැක සහිතය.   

 

 

 

පී. වීරසේකර, ශ්‍රී.ලං.ප.සේ. (විශ්‍රාමික)