ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අැවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

අම්පාර ගලපිටගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවකි. 


මී දෙනට කළ අපරාධය තමාටම පළදෙයි 


ගම්වල නායකත්වය දරමින් වැජඹෙන පිරිසක් එදත් අදත් ජීවත් වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනා හොඳ මෙන්ම නරක ක්‍රියාවන් කෙරෙහි නැඹුරුවීම වැළැක්වීම අපහසුය. මොවුන් ගම තුළ නිලතල දරමින් ප්‍රභූවරුන් ලෙස ජීවිතය ගත කළද නොමනා ක්‍රියාවන්වල නිරත වන්නේ කිසිඳු චකිතයකින් තොරවය. බුදු දහම මුල්කොටගෙන ඇතැම් අවස්ථාවන්හිදී කටයුතු ඇරඹුවත් එය නාමිකව සිදුවන බව නොරහසකි. 


ඔහුද ඕනෑම සභාවක පෙරමුණේ සිටි පුද්ගලයෙකි. කෘෂිකාර්මික ප්‍රදේශයක්වූ බැවින් ගමේ වෙල් විදානෙ තනතුරු ඔහුට හිමිවිය. එකල රජයේ අනු දැනුම මත ඕනෑම කෙනෙකුට තුවක්කුවක් ළඟ තබාගත හැක. මෙම තුවක්කුව ‘‘ලයිෂන් තුවක්කුව’’ යයි ගැමියන් හැඳින්වූ අතර අප කතා නායකයා සතුවද මෙවැන්නක් තිබුණි. 


තුවක්කුවකින් බොහෝවිට සිදුවන්නේ පළමුවෙනි සිල් පදය කැඩීමය. එනම් පරපණ නැසීමය. ​මොහුට පුතුන් කීපදෙනකු සිටි අතර එක් පුතෙක් ගමේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඒ සමගම කුඩා අත්ට්‍රැක්ටරයක්ද ඔවුන් සතුව පැවතුණි. ගොවිතැන් කටයුතුවලට අමතරව අත්ට්‍රැක්ට්රයෙන් ජංගම වෙළෙඳාමේ නිරතවීම වෙල් විදානේගේ සිරිතක් විය. 


ඒ අනුව සතියකට කීපවාරයක් එම කාර්යයේ යෙදේ. එසේ වෙළෙඳාමේ නිරතවී සන්ධයා කාලයේ තම පුතාගේ වෙළෙඳසලට පැමිණීම ඔහු සිරිතක් කොට​ගෙන තිබුණි. 


එදින දිනය නිමාවීමට තවත් හෝ්රා කීපයක් ඉතිරිව තිබුණි. ජංගම වෙළෙඳාම නිමා කරමින් තම ගොවිපළ ද බැලීමට සිතූ ඔහු වෙ​ෙළඳසලට නොපැමිණ ගියේ ගොවිපළට ය. ගොවිපළේ සිටින මී ගවයින් ඔහුගේ නෙත ගැටුණි. ඔහු දුටු සැණින් ගව රැල සීසී කඩ දුවන්නට වූහ. යක්‍ෂාවේශ වූ මොහුගේ නෙත ගියේ තම අතවූ තුවක්කුවටය. 


අහෝ අභාග්‍යයක තරම. ගැබ්බර මී දෙනක්ද ඉතා අපහසුවෙන් පියමනිමින් සිටියාය. තුවක්කුවෙන් පිටවූ උණ්ඩය මී දෙනගේ සිරුර වැළඳගත්තේය. මගේ දරුවා යැයි ඈ මර හඬ දෙන්නට ඇත. අඳුර කෙමෙන් පරසරය ගිල ගනිද්දී තුවක්කුවට තවත් උණ්ඩයක් ඔහු දෙපයට හිරකොට ඉසට ඉහළින් සිටින සේ තුවක්කුව තබාගෙන පුතුගේ වෙළෙඳසැලට රිය පදවාගෙන සෙමින් පැමිණෙන්නට විය. ගේට්ටුව අසලින් ට්‍රැක්ටරය හැරවූවා පමණි. පය ලිස්සා තුවක්කුව ඔහුගේ හිසටම එල්ල විය. ගම්වාසීන් කෑමොර දෙන්නට වූයේ ‘‘අන්න විදානෙට වෙඩි වැදිලා එතනමයි’’ කියමින්ය. 


පසු විපරමේදී දැනගන්නට වූයේ ගැබ්බර මීදෙන මරා දැමූ පුවතයි. පැයක් ගතවීමටත් පෙර සිදුවූ ඉරණම කෙතරම් අද්භූත සහගතද? 



මහඔය කේ.එච්.එම්. වීරසේකර මහතා ලියා එවූ කතාවක් මෙසේය 


වෛරයෙන් වෛරය නොසන්සිඳුණු හැටි 


1978 වර්​ෂ​ෙය් දිවයිනට හැමූ සුළි සුළඟ එක් රැයකින් නැගෙනහිර පළාත් හේන් ගොවිතැනින් ජීවත් වූ පවුල් සිය ගණනකගේ ජීවිත උඩු යටිකුරු කරමින් උපන්බිමේම අනාථයින් බවට පත්කළේ අනුකම්පා විරහිත අයුරිනි. 
තම ජීවනෝපාය වූ හේන් ගොවිතැන අහිමිවූ පවුල් රැසක් හේන් ගොවිතැන් කිරීමට සුදුසු ඉසව් සොයමින් ඈත ප්‍රදේශවලට ගියේ, කෙසේ හෝ තම අඹු දරුවන්ගේ බඩ කට පිරවීමට මඟක් සොයාගත යුතුව තිබුණු බැවිණි. 
නැගෙනහිර පළාතේ වනගත කුඩා ගම්මානයක පදිංචිකරුවෙකු වූ සිරිවර්ධන ද හේන් ​​​ගොවිතැනට සුදුසු බිම් සොයමින් ගමෙන් පිටමං වූයේ වසර කීපයක්ම වගාකළ තම ඉඩම අසල් වැසි ගුණපාලට පංගාර්තු කිරීමෙන් පසුවය. 


සිරිවර්ධන ආපසු ගමට ඇවිත් ඉල්ලන දවසක කුඹුර ආපසු දෙන බවට ගුණපාල කට වචනයෙන් එදා පොරොන්දුවක් දුන්නේය. 


සිරිවර්ධන ඈත ප්‍රදේශයක හේන් ගොවිතැන් කරද්දී ගුණපාල වසර හයක් එකදිගටම කුඹුරු ඉඩම වගා කළ අතර සාරවත් බිමත්, අත් ගුණයත්, නිසි කලට කල සාත්තුවත් නිසා මේ අනික් ​ගොවීන්ට වඩා හොඳ අස්වැන්නක් ඔහු ලබා ගත්තේය. සිරිවර්ධනට වඩා හොඳ අස්වැන්නක් ගුණපාල කුඹුරෙන් ගත් බව ගම්වාසීහු ද තහවුරු කළහ. 


වසර හයකට ආසන්න කාලයක් ගමෙන් පිටව ගොස් හේන් ​ෙගාවිතැන් කළ සිරිවර්ධන ආපසු ගමට ආවේය. වසර හයකට පෙර කට වචනයෙන් වගා කිරීමට භාරදුන් කුඹුර ආපසු ලබාදෙන ලෙස සිරිවර්ධන කීප වතාවක් ගුණපාලගෙන් ඉල්ලා සිටියේය. 


පසුගිය කාලය තුළ කුඹුරෙන් හොඳ ආදායමක් ලබාගත් නිසා කුඹුරු ඉඩම ආපසු දෙන්නට ගුණපාලට ලෝභ සිතක්ද පහළවී තිබුණි. 


දින කීපයක්ම කුඹුරු ඉඩම ආපසු දෙන බව පොරොන්දු වෙමන් සිටි ගුණපාල එක් දිනයක කුඹුර ආපසු නොදෙන බවත් කැමති විදිහකට කුඹුර ආපසු ලබා ගන්නා ලෙසටත් සිරිවර්ධනට තර්ජනාත්මක අභියෝගයක්ද කළේය. 


හේන් ​​ගොවිතැනත්, දුක් මහන්සියෙන් වගාකළ කුඹුරු ඉඩමත් අහිමිවීම නිසා සිරිවර්ධන දවසින් දවසම අගහිඟකම්වලට ගොදුරු වුයේ ඔහුවත් නොසිතූ අන්දමට ගෙදර අඟහිඟකම් ඇතිවනවිට සිරිවර්ධනට කලකට පෙර තම කුඹුරු ඉඩම වගාකර ගැනීමෙන් අග හිඟයකින් තොරව ගත කළ කාලය සිහිපත් වනවිට ඇතිවූයේ දැඩි වේදනාවක් සහ කෝපයකි. 


වසර හයකට ආසන්න කාලයක් වගාකළ කුඹුරු ඉඩම තමාට අයිති බවට අවශ්‍ය ලියුම් හොර රහසේ සකස් කර ගැනීමට ගුණපාල මේ කාලය තුළදී කටයුතු කර ගත්තේය. ගමේ නිලධාරින් දෙදෙනෙකුද මෙයට උදව් කර තිබුණි. 


ගුණපාල ඔහුගේ බෑණාවන සිරිපාල සමඟ එක්ව තමාට අයිති ඉඩමේ සීමා මායිම් අලුත් කරන අයුරුත්, කුඹුරේ මුරපැල සවිමත් ලෙස ඉදිකරන අයුරුත් මේ කන්නය වගාවට පෙර සූදානම් කරන අයුරුත් සිරිවර්ධන බලා සිටියේ වේදනාවෙන් සහ කෝපයෙන් පිපිරෙමිනි.

 
තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව දිවා රාත්‍රී වෙනසක් නොමැතිව කල්පනා කරමින් සිටි සිරිවර්ධන මේ ගනුදෙනුවේ අවසානයක් දකින්නට තීරණයක් ගත්තේය. මෙ​ෙස් අවනඩුව පිිළිබඳව තම හිතවතුන් හා ඥාතීන් කීප දෙනෙකුටම කියා සහනයක් හෝ හරි වැරැද්දක් කියා දෙන ලෙස ඉල්ලා සිටියත් සිරිවර්ධනගේ ප්‍රශ්නයට උත්තරයක් සොයා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැති නිසා සිරිවර්ධන තවත් අසරණ විය. 


කන්නය ආරම්භයට පෙර වැස්සක් දෙකක් වැටෙද්දී ගුණපාලත් ඔහුගේ බෑණා සිරිපාලත්, අලුතින් මිලදී ගත් ට්‍රැක්ටරයෙන් කුඹුරේ බිම සකස් කිරීමට ගියේ ගමේ අනික් ගොවීන්ට පෙර වගාවට සුදුසු ලෙස කුඹුර සකස් කර ගැනී​ෙම් අදහසිනි.  


දුක් මහන්සියෙන් වගා කරමින් තම අඹු දරුවන්ට බත් කටක් උපයාදුන් කුඹුර අසාධාරණ ලෙස ලබාගෙන වගා කිරීමට සූදානම්වන අන්දම දුටු සිරිවර්ධන කෝපයෙන් වියරු වැටුණි. 


තුවක්කුවත් පතරොම් මල්ලත් ගත් සිරිවර්ධන කුඹුරට යන අඩිපාර දිගේ කිසිවකුගේ ඇස නොගැටී කුඹුර අසලට ගියේය. 


කුඹුරේ ඈත කෙළවරේ මඩ විසුරුවමින් ඒ මේ අත දුවන අලුත් ට්‍රැක්ටරයත්, එය පදවන සිරිපාල දෙසත් ගොදුරක් අත ළඟට එනතුරු බලා හිඳින කොටියෙකු මෙන් සිරිවර්ධන බලා සිටියේය. 


අලුතින් ඉදිකළ මුර පැලේ ලී මැස්ස මත හිඳ​ෙගන බුලත් විටක් සපමින් ගිමන් හරින ගුණපාල දුටු සිරිවර්ධන සැඟවී සිටි තැනින් නැගිට ගුණපාල ඉදිරියට ගියේය. සිරිවර්ධන මුලින්ම ඉල්ලකය ගත්තේ ගුණපාලටය. පැලේ ලී මැසිස මත හිඳ සිටි ගුණපාල වෙඩි පහර වැදී බිමට වැටෙන සැටි බලා සිටි සිරිවර්ධන නැවත පදුරට මුවාවී සැඟවුණි. 


කුඹුරේ වට කීපයක් සී සාමින් සිටි සිරිපාල ට්‍රැක්ටර් රථය පැල දෙසට පදවාගෙන ආවේ වෙහෙස මඳක් නිවසා ගැනීමේ අදහසිනි. 


සැඟවී සිටි සිරිවර්ධන නැගිට තුවක්කුව රැගෙන සිරිපාල ඉදිරියට ගියේය. තමා ඉදිරියට තුවක්කුවක් එල්ල කරගෙන එන සිරිවර්ධන දුටු සිරිපාල වෙනත් පැත්කකට ට්‍රැක්ටර් රථය පදවාගෙන යාමට උත්සාහ දරද්දී කුඹුරේ නියරක ගැටුණ ට්‍රැක්ටර් රථය මඩේ එරී නතර විය. සිරිවර්ධනගේ දෙවැනි ගොදුර බවට සිරිපාල පත්විය. 


පැල තුළ ඒ වනවිටත් මියගොස් සිටි ගුණපාලගේ සිරුරත්, ට්‍රැක්ටරයේ රියැදුරු අසුනින් බිමට නොවැටී රැඳී තිබුණ සිරිපාලගේ සිරුරත් ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ ට්‍රැක්ටරය මත තිබියදීම රථයට ගිනි තැබූ සිරිවර්ධන කුඹුරෙන් පිටවුණේ තමාට කුඹුරු ඉඩම අහිමි කිරීමට ගුණපාලට උපකාර කළ අනික් දෙදෙනා සොයාගැනීමේ අදහසිනි. 


සිරිවර්ධනගේ ඉඩම ගුණපාලට අයිති කරදීමට එක්තරා නිලධාරීන් දෙදෙනකු උදව් කර ඇති බව ගමේ මිනිස්සු සිරිවර්ධනට කියා තිබුණි. 


මේ ආරංචිය අනුව ඒ වනවිටත් ගමේ පදිංචිව සිටි නිලධාරී මහතා සොයාගෙන සිරිවර්ධන ගමන් කළේය. ගමේ ප්‍රධාන මාර්ගයෙන් බෙදී වෙන්වුණු අතුරු මාර්ගයක යතුරුපැදියකින් එමින් සිටි නිලධාරී මහතා තුන් වැනි බිල්ල ලෙස දඩයම් කරගත් සිරිවර්ධන ගම්මානය අසල වනාන්තරයේ ගල් කන්දට ගමට හොරෙන් ඇතුළු වී සැඟවෙන්නේ ඔහුට අවශ්‍ය හතර වැනි දඩයමද සොයා ගැනීමේ අදහසිනි. 


පැය කීපයක් ඇතුළත කුඹුරක මිනිසුන් දෙදෙනෙකු වෙඩි තබා මරා ගිනි ගන්නා ට්‍රැක්ටර් රථයක් මත දමා ඇති බවත් තවත් අයෙක් පාර අයිනක මරා දමා ඇති බවත් ගම්මානයට ආරංචිය ලැබුණි. 


මිනිස්සු වැල නොකැඩී මේ සිද්ධිය බැලීමට හතර වටින්ම පැමිණියහ. සිරිවර්ධන ගම්මානයේ කෙළවරක තිබෙන වනාන්තරයේ තුවක්කු පතරොම් රැගෙන සැඟවුණු බව ආරංචි වූ පසු ගුණපාලට කුඹුර අයිතිකර දීමට උදව් කළ අනික් පුද්ගලයා වෙනත් පළාතකට ගොස් සැඟවුණේය. 


දින තුනක් ගතවුණත් සැඟවුණ සිරිවර්ධන ගැන කිසිම අාරංචියක් ගමට ලැබුණේ නැත. 


අතේ​ තුවක්කුව සහ පතරොම් මල්ලත් රැගෙන තිදෙනෙකු අමු අමුවේ මරා දැමූ මිනීමරුවෙකු අල්ලන්නට හෝ සොයා බලන්නට ගම්වාසීන්ද එතරම් කැමැත්තක් දැක්වූයේ නැති නිසා මිනීමරුවා අත්අඩංගුවට ගැනීමේ කටයුතු මන්දගාමී වී තිබුණි. 


හතරවැනි දිනයේ දහවල් කාලයේදී ගම ආසන්නයේ කඳු වැටිය තුලින් ආ වෙඩි හඬක් නිසා සෝදිසියෙන් සිටි ගමේ තරුණ පිරිසක් කණ්ඩායම් දෙකකට බෙදී මාර්ග දෙකකින් කඳු වැටියට ගොඩවූහ. 


පැයක් දෙකක් තුළ සොයා බැලීමකදී හිසට වෙඩි තබාගෙන නොමැරී මරු විකාරයෙන් ලේ විලක දඟලමින් සිටි සිරිවර්ධන එක් පිරිසකට හමුවිය. 


ගම්වාසීන් කඩිනමින් සිරිවර්ධන රෝහලට ගෙන ආවා හිස ඉලක්ක කර තබාගත් වෙඩිල්ල නිසා මුඛයත්, නාසයත්. නිකටත්, දිවත් අහිමිවූ සිරිවර්ධන මාස හයකට වැඩි කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබා ගමට පැමිණියේ විරූපීවූ අමුතුම පුද්ගලයෙකු ලෙසිනි. 


දිගු කලක් විභාග කළ නඩුවෙන්ද දඬුවම් ලැබූ සිරිවර්ධන කලකට පසුව ගමට ආ නමුත් ගත කළේ අප්‍රසිද්ධ ජීවිතයකි. 


තිදෙනෙකුගේ දිවි තොර කරමින් අයිති කරගත් කුඹුර වගා කිරීමට සිරිවර්ධන කටයුතු කළත් ගමේ කවුරුත් ඒ පිළිබඳව අවධානයක් යොමු කෙළේ නැත. 


කන්න කීපයක් අත්හැර දමා තිබූ කුඹුර වගා කළ සිරිවර්ධන තම වගාව වන සතුන්ගෙන් රැක ගැනීමට දිනපතාම රාත්‍රී පැල් රැකීමට ගියේය. 


දිනක් කුඹුරේ පැල් රැකීමට ගිය සිරිවර්ධන ආපසු නිවසට නොපැමිණි නිසා පවු​ෙල් අය ඔහු සොයා කුඹුරට ගියහ. 


මහ පොළව ලොබ බැඳීම නිසා මිනිස් ජීවිත තුනක් කෘර ලෙස බිලිගෙන ජීවිතයේ සැඳෑ සමයේ විරූපී ගොළු පුද්ගලයකු ලෙස සමාජයෙන් වසන් වෙමින් අප්‍රසිද්ධව ජීවත්වූ සිරිවර්ධනගේ මළ සිරුර කුඹුරේ නියරක් අසල තිබී පවුලේ අයට හමුවිය. 


මියගොස් සිටි සිරිවර්ධනගේ එක අතක් වැලමිට අසලින් කපා ඉවත් කර තිබූ අතර අනික් අත මැණික් කටුව අසලින් වෙන්කර තිබූ බවත් මෙය සිදුකළ අයකු හෝ දුටු අයෙක් අද වනතුරු හෙළිදරව් ​ෙනාවූ බවත් ගම්වාසීහු කියති. 


ගමේ ඉඩම් ආරාවුලක් අැතිවන අවස්ථාවලදී මහ පොළොවට ලොබ බැඳීම නිසා ජීවිත හතරක් විනාශවීමේ මේ කතාව අදත් ගමේ වැඩිහිටි​ෙය්ා් සිහිපත් කරති.



අම්පාර. මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


මරුවැල තමන්ටම පත්තුවූ හැටි


පවුල් පහළොවක් විස්සක් පමණ ජීවත් වූ ඈත පිටිසර ගම්මානයකි. කුඹුරු ඉඩම් ඉතා අඩුවූ මෙම ගමේ හැම පවුලක්ම ජීවත් වූයේ හේන් ගොවිතැනිනි. දරුවන් තිදෙනකු සිටින පුංචිරාලට ද තමාට කුඹුරු නොතිබුණත් හේන් ​ෙගාවිතැන් කිරීමට ගියේද නැත. හේන් ​ෙගාවිතැන් කරන අයගේ භවභෝග වන සතුන්ගෙන් ආරක්‍ෂා කරදීම ඔහුගේ රාජකාරිය විය. 


ගමෙන් ඈත කැලෑවේ ගොවිතැන් කරන හේන් ​ගොවීන්ට වන සතුන්ගෙන් භෝග රැක ගැනීම එතරම් පහසු වූයේ නැත. භෝග සිටුවී​ෙම් සිට අස්වනු නෙළා ගන්නා තෙක් නිදි වරා පැල් රැක්කත් පැලේ සිටියදීම ඔහුට නොදැනෙන අයුරින් එන වල් ඌරු, ගෝන, මුව ආදී වන සතුන් හානි සිදුකොට යති. මේ නිසාම ගොවීහු කොන්දේසි කිහිපයක් මත හේන් රැකදීම පුංචිරාළට පවරති. 


එක් ​ගොවියකුගෙන් කුරක්කන් මල්ලක්, බඩ ඉරිඟු මල්ලක් ඇල් වී බුසලක් ආදී වශයෙන් විවිධ භෝගවලින් ඔහුට යම් යම් ප්‍රමාණයන් ගෙවීමට පොරොන්දු වෙති. ඒ අතර පුංචිරාළ ද ​ගොවීන්ට යම් යම් කොන්දේසි පනවයි. 
ඒ අනුව හේන්වලට සියලු දෙනාම නියමකරගත් එකම මාර්ගයකින් යා යුතුය. හේන් අවට ඇති කිසිම ලඳු කැලෑවකට නොයා යුතුය. පිටස්තර කුමන පුද්ගලයකු හෝ හේන් යාය දෙසට පැමිණේද පැමිණෙන ආරංචියක් ඇද්ද ආදී වශයෙන් විමසිලිමත්ව සිට යම් තොරතුරක් ඇත්නම් වහාම තමාට ඒ බව දැන්විය යුතුය. 


ගොවීන් සහ පුංචිරාල අතර මෙවැනි කොන්දේසි ඇතිකරගෙන එකඟතාවකට පැමිණි පසු ඔහු හේන් රැකීම පටන් ගනී. හේන් යායක් රැකදීමට ඔහු ගත කරන්නේ දින දෙක තුනක් පමණි. 


නගරය ආසන්නයේ ඔහුගේ හිතවත් කම්මල්කරුවකු සිටියේය. පුංචිරාල ඔහු ලවා ජලය ලබාගැනීමට ගත්ත යකඩ පයිප්ප බට අවශ්‍ය ප්‍රමාණයට කපා එක් පැත්තක සිදුර වසා පාස්සවා තුවක්කුවක මෙන් නිපල් ඇණයක් සාදවා ගනු ලැබේ. ඉන්පසු රතිඤ්ඤා හා ගිනි පෙට්ටිවල ඇති ගෙන්දගම් උප​ෙයා්ගී කරගෙන ඔහු දන්නා මිශ්‍රණයක් සාදා ගනී. 


ඉන්පසු ඒවාගෙන් බටවලට අවශ්‍ය ප්‍රමාණයට පුරවා ඊයම් බෝල වෙනුවට යකඩ කම්බි කපා එම කෑලි පුරවා පයිප්ප බටවලට වෙඩි උණ්ඩ යොදා ගනී. එසේ උණ්ඩ පුරවන ලද පයිප්ප බට හේන්වලට වන සතුන් එන මාර්ග සියල්ල අාවරණය වන ආකාරයට මරුවැල් යොදා බඳිනු ලබයි. 


මරුවැල ඇදෙනවිට තුවක්කුවක මෙන් කෙකා ගැස්සීමක් මෙම බටවල නැති නිසා ඒ වෙනුවට වෙනත් උපාය මාර්ගයක් පුංචිරාළ සොයාගෙන තිබුණේය. එ​ෙහත් ඔහු එම උපාය ගමේ කිසිවකුටත් කියා දන්නේ නැත. එම දඩයම් ක්‍රමය බට බැඳීම යනුවෙන් හැඳින්වීම නිසා, පුංචිරාලට ‘‘බට පුංචා’’ යනුවෙන් නමක්ද පට බැඳී තිබුණේය. 


පුංචිරාල මේ ආකාරයට බට බැඳීමෙන් ගමේ අයගේ හේන් ආරක්‍ෂා වූවා වගේම, එක් හේන් කන්නයක දී අඩුතරමින් ගෝන, මුව, වල්උෟරු ආදී සතුන් හත් අට දෙනෙකු හෝ මරා ගමේ අයට මස් විකිණීමෙන්ද සෑහෙන මුදලක් උපයා ගත්තේය. 


එක් දිනක් පුංචිරාළ බටයක් බැඳීමට ගොස් සිටවන ලද කුඤ්ඤවලට බටය ගැට ගැසීමට යාමේදී වැරදීමකින් එය පත්තු වී පසු පසට විසි වූ යකඩ බටය ඔහුගේ පපුව පසාකරගෙන යාමෙන් එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්විය. මේ ආකාරයට පුංචිරාලගේ ඉරණම විසඳීම මේ ජීවිතයේදීම කළකම් පලදෙන බව විදහා පෑමක් බව අපගේ අදහසයි. 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් එ්වා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්